2023 පෙබරවාරි 19 වන ඉරිදා

කාමරේ විෂවායුව සරසවි ඇදුරා මරන්නද?

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 44

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා සේවයේ නියුතුව සිටින්නේ රුහුණු විශ්වවිද්‍යාලයේය. එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ පිහිටි සිය නිල අධ්‍යයන කාමරයට ඔහු ගොස් තිබුණේ පසුගිය 6 වැනිදාය. එහිදී ඔහුට ගෑස් කාන්දුවක් වැනි ගන්ධයක් දැනී මොහොතකින් ක්ලාන්ත ගතියක් හටගෙන තිබුණි. එබැවින් විෂ වායුවක් ආග්‍රහණය කිරීමට සලස්වා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විශ්වවිද්‍යාලය තුළදීම ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයක් තිබෙන්නට ඇතැයි බරපතළ සැකයක් මතුව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම්වත් කොට මාතර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමු කළ බවත් පොලිසිය පැමිණීමට මත්තෙන් ක්‍රියාත්මක වූ උපකුලපතිවරයා අදාළ නිල කාමරය සෝදා විෂබීජහරණය කොට තිබීම සැක සහිත බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති නදීෂ් ද සිල්වා මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැර ඇතැයි කියන සිදුවීමට අදාළව පැමිණිල්ලක් යොමුකර ඇතත් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට පොලිසිය ක්‍රියා කොට නැතැයි ද ඒ සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය ප්‍රකාශන කරන බවද එම සමිති සම්මේලනය ප්‍රකාශ කරයි. මෙම සිද්ධියට අදාළව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති, සුජීව අමරසේන මහතා ප්‍රමුඛ පරිපාලනය නිසි ක්‍රියාමාර්ගයක් හෝ විමර්ශනයක් සිදු නොකළ බවට චෝදනා කරමින් පසුගිය 13 වැනි සඳුදා රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධයක් පැවැත්විණි. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරමින් ආචාර්යවරු රුසක් මෙන්ම සරසවි සිසු සිසුවියන් රැසක් ද සහභාගි වූහ.

කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් විෂ වායුවක් ඔහුගේ නිල කාමරයට මුදාහැර තිබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් රොහාන් ලක්සිරි මහතා මෙසේ පැවසීය.

''මම පසුගිය 6 වැනිදා මගේ නිල කාමරයට ගියා. යද්දිම ගෑස්වල ගඳක් වගේ සැර ගඳක් ආවා. ඒක ඉවසන්න අමාරු සැරක්. මට විනාඩි දහයක්වත් යන්න කලින් දැඩි ඔලුවෙ කැක්කුමක් දැනුණා. ඒත් එක්කම ක්ලාන්ත ගතියක් ඇති වුණා. ඒ ගන්ධය ගැන සැකයක් ඇතිවුණු නිසා මහාචාර්ය අනුර කුමාර මහතාට දන්වලා මේක මොකක්ද කියලා හඳුනා ගත්තා. එතුමාගේ නිරීක්ෂණය වුණේ ඒක විෂ වායුවක් හා සමාන දෙයක් කියලයි. මම ඒ ගැන උපකුලපතිවරයාට දැනුම් දුන්නා. උපකුලපතිතුමා නියෝජ්‍ය උපකුලපතිතුමා එවලා මගේ කාර්යාල කාමරය සම්පූර්ණයෙන් සීල් කළා.''

වැඩිදුරටත් අදහස් දැක්වූ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා මෙසේ පැවසීය.

''සෑහෙන වෙලාවකට පසුව උපකුලපතිතුමයි සෞඛ්‍ය පරීක්ෂකතුමයි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ කිහිප දෙනෙක් ඇවිල්ලා කාමරය විවෘත කරලා ජනෙල් ඇරියා. ෆෑන් එක හයියෙන් දැම්මා. ගොඩනැගිල්ල තුළ තිබුණු එයාර් ස්ප්‍රේ එක කාමරයට දැම්මා. සැනිටයිසර් ගොඩකුත් දැම්මා. ඒක නිසා මේ වැඩේ කවුරු කළාද? මොනවද වුණේ? කියලවත් අඳුනාගන්න බැරි විදිහට සාක්ෂි විනාශ වෙලා ගියා. පොලිසියත් ඒ බව කියනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නෙ මේක මිනීමැරුමක් කරන්න කරපු සංවිධානාත්මක සැලසුමක් කියලයි.''

මෙම සැක සහිත සිදුවීම හමුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් පවසන්නේ මෙකී ක්‍රියාව රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින සාමකාමී හා සුහද බව නැති කිරීම සඳහා දරන උත්සාහයක ප්‍රතිඵලයක් බවය.

මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරන මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා මෙසේ පැවසීය.

''මහාචාර්ය සුජීව අමරසේන මහතා උපකුලපති වශයෙන් අවුරුදු හතරක කාලයක් පමණ කටයුතු කරනවා. මේ කාලසීමාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රසිද්ධ වුණා නවකවදය නැති විශ්වවිද්‍යාලයක් විදියට. ඒක වුණේ මෙතුමගේ කාලසීමාවේදි. අපි හිංසනයක් දැක්කා නම් එතනට මැදිහත් වෙලා විසඳලා තිබෙනවා. අපි එතුමාට අවශ්‍ය උදව් ලබා දුන්නා. නමුත් මෙතුමාගේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ දරුවන්ගේ නිදහස සීමාවෙලා තිබෙනවා. ළමයි මෙතන දවසින් දවස සංවිධානය වෙනවා. නමුත් සමහර සීමා නිසා ළමයින්ගේ සංවිධානය වීම නතර වුණා. ඇතැම් ඒවාට අවසර ලැබුණේ එක කමිටුවක් මත පමණයි. ඒ නිසා මෙතන ළමයින්ට දැඩි පීඩනයක් තියෙනවා. මේ අතර අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙතත් දැඩි බලපෑම් ඇතිවෙලා තිබෙනවා. මේ පරිපාලනය ඇතුළෙ ආචාර්යවරු එළියට යන එන වෙලාව පවා ලියන්න වෙලා තිබෙනවා. ඒකට ආරක්ෂක වැටවල් යොදවලා තිබෙනවා. එහෙම අවශ්‍ය නෑ. උපකුලපතිවරයා විසින් ඉතිහාසයේ නොවූ විධිවිධාන පනවා තිබෙනවා. මේ දේවල් කිසිදු විශ්වවිද්‍යාලයක කරන දේවල් නොවෙයි. මෙතුමා යටතේ ආචාර්යවරුන්ගේ අදහස් ක්‍රියාත්මක වීමක් නෑ. කවුරු හරි කතා කළොත් කෑගහලා කටවල් වහනවා. මේ අතර සිසු දරුවන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, පන්ති තහනම් කිරීම සිදුවෙලා තිබෙනවා. මේ නිසා ආචාර්යවරුන්ගේ විරෝධතා මතු වුණා. මේකට මානුෂිකව පියවර ගැනීම අවශ්‍යයි. මේ කතාව එළියට එන්නෙ රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුසු කිරීමත් එක්ක. මේක සුළු දෙයක් නොවේ. උපකුලපතිවරයා කාමරය සීල් කරන්න නියෝග කළා. හැමෝම කීවා කාමරයේ අසාමාන්‍ය තත්ත්වයක් තිබෙනවා කියලා. ඒකට ඇහුම්කන් දුන්නෙ නෑ. මෙතනදි රොහාන් ලක්සිරි මහතාගේ මානව හිමිකම් කඩවෙලා තිබෙනවා. මේ දේ කරපු සැකකරුවන් හඳුනා ගන්න තිබුණු සාක්ෂි පවා විනාශ වෙලා තිබෙන්නෙ අත්තනෝමතික පාලනය නිසයි.''

ගැටලුව පිළිබඳව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අසතුට පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු සංගම් 6ක් ලිපියක් මගින් උපකුලපතිවරයා දැනුම්වත් කර තිබිණ. ඒ සඳහා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් ඵලක් නොවූ බව එම සංගම් පෙන්වා දෙයි. මේ ආකාරයට රුහුණු විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය හරහා දැඩි පීඩනයක් එල්ල වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා මෙසේ පැවසීය.

''මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වෙනවා. ඒ පිළිබඳ කතා නොකොට පරිපාලන තත්ත්වය පිළිබඳ කියන්නම්. ඕනම තැනක අඩුපාඩු තියෙනවා. ඒවා කොතනත් පොදුයි. අඩුපාඩු වගේම හොඳත් තිබෙනවා. ඒ ගැන මම අවධානය යොමු කරනවා. අධ්‍යාපනය නොකඩවාම පවත්වාගෙන යන්න මම කැප වෙනවා. 2019 මාර්තු 9 වැනිදා මම මේ තනතුර බාරගත්තෙ. එදා ඉඳන් භෞතිකව වගේම ඔන්ලයින් මගිනුත් නොකඩවාම අධ්‍යාපනය සිදු කළා. 2019 සිට 2022 දක්වා නොකඩවාම උපාධි ප්‍රදානෝත්සව සිදු කළා. ඒක ජයග්‍රහණයක්. සමහර වෙලාවට පරිපාලනයේදී දැඩි තීන්දු ගන්න වෙනවා. වෙනත් සරසවිවල මහාචාර්යවරු පස්දෙනකුගේ කමිටුවක් විසින් රුහුණු සරසවිය %ඒ^ ශ්‍රේණියේ සරසවියක් බවට නම් කරලා තිබෙනවා. 2020 වසරේදි ඒක සිදු වුණේ හැමෝගෙම එකමුතුව නිසයි. මේ සරසවියේ මූල්‍ය විනයක් හා විගණනයක් සිදු වෙනවා. තවමත් 100෴ පරිපූර්ණ නෑ. නමුත් ළමයින්ට යටිතල පහසුකම් ලබා දීමට පියවර අරන් තිබෙනවා. වැඩ කරගෙන යද්දි ආචාර්යවරු දින ගණන් සරසවියට එන්නෙ නෑ. ආපු බවට සටහනක් නෑ. එහෙම අයකුට එරෙහිව නොදන්වා සේවයට නොපැමිණීම මත දින තුනක වැටුප අහිමි වුණා. ඒ හරහා සිදුවීම සංවාදයට මතු වුණා. මේ නිසා පැමිණීම විධිමත් වුණා. ඒකට ආචාර්යවරු කැමති නෑ. පසුගිය දවසක උද්ඝෝෂණයක් පැවැත්වුවා. ආචාර්යවරු 650ක් ඉන්න තැන 30ක් සහභාගි වෙලා තිබුණා. ඉතුරු 620 දෙනා ඇවිත් නෑ. ළමයි 11976 දෙනෙක් ඉන්නවා. ඒත් ළමයි 500 ක්වත් සහභාගි වෙලා නෑ. දැන් මට චෝදනා කරනවා මිනී මරන්න හදනවා කියලා. විමර්ශනවලින් පස්සෙ ඒක නිවැරදි වෙයි.''

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02