2023 පෙබරවාරි 19 වන ඉරිදා

රට හැර යන ස්නායු විශේෂඥ දොස්තරලා

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 137
ගිනියම් අව්වේ මහ වරුසාවේ අකුරට ගිය හද්දා පිටිසර ගම්වල කොල්ලන් කුරුට්ටන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන්නේ දහසක් පැතුම් සිත්වල දරාගෙනය. ඒ කවරදාහරි ලොකු වෙලා අම්මා තාත්තා ගොඩ ගන්නවා යන සිතිවිල්ලෙනි. වෛද්‍ය උපාධිය ලබනවිට ‘ඉන්න හිතෙන රට උපාධිය ලබා ටික දිනක් යනවිට ‘යන්න හිතෙන රටක් බවට ඒ සිත්සතන්වල පත්වීම කනගාටුදායකය. 

මේ වනවිට රටේ තිබෙන දරුණු ආර්ථික අර්බුදය සමග බොහෝ වෘත්තිකයෝ උපන් බිම අතහැර විදෙස්ගත වෙති. ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් ඇතුළු විවිධ වෘත්තිකයෝ විශාල පිරිසක් ලංකාව අතහැර මේ වනවිට විදෙස්ගත වෙමින් සිටිති. ඒ අතර වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුද සිටිති. මේ ආකාරයට වෛද්‍යවරුන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් කතාබහක් යොමුවන්නේ වෛද්‍ය වෘත්තියේ ඇති වෘත්තියකට එහා ගිය සමාජ වගකීම හේතුවෙනි. මෙලෙස විදෙස්ගත වන වෛද්‍යවරුන් අතර කොළඹ හතේ ඩග්ලස්ලාගේ පොඩි බේබිලා වගේම මහඉලුප්පල්ලම බණ්ඩයියාගේ ලොකු කොලුවා, තිස්සමහාරාමයේ සිරියලතාගේ පොඩි කෙල්ලත් සිටින්නට පුළුවන.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූයේ අක්ෂි ස්නායු පටක විශේෂඥ වෛද්‍යවරුන්ද මේ වනවිට රට හැර යමින් සිටින බවයි. එම ප්‍රකාශයේ දෑස් ඇරවන රතු එළිය වනුයේ මුළු රටටම සිටින අක්ෂි ස්නායු පටක විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනාගෙන් 10 දෙනකු පමණ මේ වනවිට විදෙස්ගත වී සිටින බවයි. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනටත් ඇතැම් විෂයයවලට වෛද්‍යවරුන් විශාල පිරිසකගේ හිඟයක් පවතී. මේ ආකාරයට දැනටත් පුරප්පාඩු මැද වෘත්තීන්වල නිරත වන වෛද්‍යවරුන් පිරිසත් අනාගතයේදී නොමැති වීම මෙරට ජනතාව මුහුණ දෙන බරපතළම ඛේදවාචකය වන්නේය. එහි පාඩුව ගණනය කළ නොහැකිය. 

නව පත්වීම් ලබන වෛද්‍යවරුන් පවා සේවයට වාර්තා නොකර විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේය. එසේම  පුහුණුව අවසන් කරන වෛද්‍යවරුන්ගෙන් සියයට 30ක් පමණ විදේශගත වීමේ ප්‍රවණතාවක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කීය. රජය විසින් අලුතෙන් පැනවූ බදු හේතුවෙන් මෙලෙස වෛද්‍යවරුන් රට හැර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. 

අක්ෂි ස්නායු පටක වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විදෙස්ගත වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිවැරුදි තොරතුරු විමසීමට සෞඛ්‍ය අමාත්‍යංශය දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම මත එහි අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස් මහතා සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළෙමු. එම අවස්ථාවේදී නිලධාරිනියක් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළාය. නිසි බලධාරීන් ලෙස කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පමණින් පුවත්පත් ලිපිය පළ නොවේ යැයි යමකු සිතනවා නම් ඔහු හෝ ඇය සතු දැනුම පිළිබඳ අපි කනගාටු වන්නෙමු. 

පුහුණුව සඳහා විදෙස්ගත වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යළි මෙරටට පැමිණෙන්නේද සීමිත පිරිසකි. සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත මත පදනම් වෙමින් මේ සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන සමගින් කුමුදුනී හෙට්ට්ආරච්චි ලියූ විස්තර වාර්තාවක් සන්ඩේ ටයිම්ස් ඉංග්‍රීසි පුවත්පතේ මෑතකදී පළවිය.  

එම වාර්තාවට අනුව 2024 - 25 වනවිට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටිය යුතු බවට නිගමනය කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000ක් පමණ වුවද මේ වනවිට සේවයේ යෙදී සිටිනුයේ 2203 කි. මේ වනවිට සමස්ත රෝහල් පද්ධතියේම විශේෂඥ වෛද්‍යවරුන් 333ක හිඟයක් පවතී.  

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 302 කගෙන් මේ වනවිට සේවයේ සිටිනුයේ 169ක් පමණකි. කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් 249 කගෙන් මේ වනවිට සිටිනුයේ 148 දෙනෙකි.  

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 138 කින් සිටින්ෙන් 57ක් වන අතර අක්ෂි පටක විශේෂඥ 17න් මේ වනවිට සිටිනුයේ 13කි. සායනික පෝෂණවේදී 100 කින් මේ වනවිට සිටිනුයේ  8 දෙනකු වන අතර හෘද රෝග විශේෂඥයන් 103න් මේ වනවිට සිටිනුයේ 62 කි. වකුගඩු රෝග විශේෂඥයන් 127න් 33ක්ද, මනෝ වෛද්‍ය විශේෂඥයන් 134න් 67ක්ද, ළමා මනෝ විශේෂඥයන් 25න් 11ක්ද, විකිරණවේදී 242න් 73ක්ද, අධිකරණ වෛද්‍ය නිලධාරීන් 71න් 45ක්ද මේ වනවිට සේවයේ යෙදී සිටිති. එසේම ස්නායු විශේෂඥයන්  77න් මේ වනවිට සිටිනුයේ 33කි. උගුර කන නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥයන්  83න් මේ වනවිට සිටිනුයේ 46කි.  

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ යටතේ වෛද්‍යවරයකු බිහිකිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැයකරයි. එසේම අනිවාර්ය විදේශ පුහුණුව සඳහා වසරකට වෛද්‍යවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට පිටත් කර හරින අතර ගුවන් ටිකට් පතේ සිට දීමනා රැසක්ද ඔවුන්ට සපයයි. විදේශ ගතවීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගත විය යුතු අතර පුහුණුවෙන් පසු වසර 8ක් අනිවාර්යයෙන් සේවය කළ යුතුය. එසේම වෛද්‍යවරයකුගේ පත්වීම් ලිපියේද සඳහන් වන්නේ ඔවුන් 1961 අනිවාර්ය සේවා පනතට යටත් බවයි. පසුගිය කාලයේ මෙරට ඇතිවූ ඩොලර් අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශේෂඥ පුහුණුව තාවකාලිකව නවතා දැමූ අතර එය පෞද්ගලික වියදමින් සිදුකරගෙන යාමට හැකි ලෙස සංශෝධනය සිදුකර ඇත.

මේ ආකාරයට වෛද්‍යවරුන් රට හැර යාමට සහ පුහුණුවට ගිය වෛද්‍යවරුන් නැවත ලංකාවට නොඒමට පොදු සාධක කිහිපයක් තිබිය හැකිය. එහි ප්‍රධාන ගැටලුව වනුයේ වර්තමානයේ රටේ පවතින අයහපත් ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ප්‍රශ්නයයි. පවතින උපයන විට අය බදු ක්‍රමය දරාගත නොහැකිවීම, රටේ පවතින සෞඛ්‍ය පහසුකම්වල හිඟය, සිය පවුල්වලට යහපත් ජීවන රටාවක අපේක්ෂාව සහ සිය දරුවන්ගේ අනාගතයේ සුබ සිහින උදෙසා මෙම විදෙස්ගත වීම ඒ අතර වෙයි. කුලී කම්කරුවාගේ පටන් ඉහළම වෘත්තිකයා දක්වා ඕනෑම කෙනකුගේ අපේක්ෂාවත් යහපත් ජීවිත අපේක්ෂාවය. එහි වරදක් නැත. එහෙත් ගැටලුව ඇත්තේ වෙන තැනකය. සමස්ත රටම පත් වී සිටින අමාරු අවස්ථාවකදී රට හැරදා සිය පෞද්ගලික අපේක්ෂාව වෙනුවෙන් නැව් නැගීම කෙතරම් මානුෂිකද යන්න පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු යැයි අපි සිතමු. එය වෘත්තීය ආචාරධර්ම උල්ලංඝණයකි. පණ ගැහෙන හදවත් රෝහල් ගේට්ටු අසලම අතහැරලා වැනිය. එහෙත් මිහිපිට දෙවිවරුන් බඳු වෙදවරු මේ මිහිපිට තවමත් ජීවමානව වැඩ වසති. වීරයන් බිහි වන්නේ ප්‍රශ්නයෙන් පළා ගිය තැන නොව ප්‍රශ්නය ඉදිරියේ සිට ගත් විටය. එය සෑම වෘත්තියකටම අදාළ නම් දොස්තරලාට අදාළ නොවන්නේ කෙසේද? 

උගතුන් බුද්ධිමතුන් උපන් බිම හැරදා යාම යන බුද්ධි ගලනයට මහා පොදු සාධකය බවට පත් වන්නේ ආර්ථික බෙලහීනතාවයි. දහදිය සුවඳින් උගෙන නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළාගත් ඔවුන් අධ්‍යාපනයේ හිනිපෙත්තටම ගිය ඉනිමගට පයින් ගසනුයේ උපන් මවුබිම, පන්තිය අමතක කරමිනි. ඈත අහස් කුස වරල් සැලී දිදුලන පාට සව්කොළයෙන් පිරුණු සරුංගලය ලස්සනට නිමවූයේ අන් කිසිවකින් නොව මෙරට පීඩිත ජනතාවගේ හයියෙනි. ඒ සරුංගලය අද වනවිට සත් සමුදුරෙන් එහා ඈත අහස් ගව්ව සොයමින් ඉගෙන ගත් දැනුම විකුණති. අසූව දශකයේත් කළු ජූලියත් සමග රටේ උගත් බුද්ධිමත් තරුණ විද්‍යාර්ථීහු රට හැර ගියහ. මහැදුරු සුනිල් ආරියරත්නයන් දශක ගණනාවකට පෙර කියූ අනාගත වාක්‍යය වර්තමානයේදීත් යථාර්ථයක් බවට පත්වී තිබේ.

 
“සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ       අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ             අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ            අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන         අපේ ළමයි”
 
I සසංක චලන ගිම්හාන