2023 පෙබරවාරි 19 වන ඉරිදා

ලංකාවට හොට දාන ඉන්දියාවේ බෙහෙත් මාෆියාව

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 57

ලංකාවේ මතුව ඇති ඖෂධ හිඟයට පිළියම් සෙවීම සඳහා ඉන්දිය ණය ආධාර යොදා ගැනීමේ ක්‍රියාන්විතයේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට චෝදනා දැන් නැඟෙමින් පවතී.

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධවලින් සියයට 80ක් ලංකාවේ ලියාපදිංචි ඖෂධ නොවන බවත් ඒවා සඳහා කිසිදු ඇගැයීමක් හෝ නිර්දේශයක් නොමැති බවත් මෑතකදී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේය. ඖෂධ වර්ග 36ක් ‘සේවරිට්’ නම් ආයතනයෙන් ගෙන්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද, එම ඖෂධ ලංකාවේ ලියාපදිංචි ඒවා නොවන බවත්, මෙලෙස ඖෂධ මිල දී ගැනීම සඳහා සැපැයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ නියමිත ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවත්  ඔහු කියා තිබේ.

කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර ඇත්තේ ඖෂධවල තත්ත්වය හා මිල ගණන් සාකච්ඡා කළ යුතුය යන පදනම මත බවද ඔහු සඳහන් කරයි. එසේම, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඖෂධ 270ක් ඉදිරිපත් කර ඇති නමුත් එහි අත්‍යවශ්‍ය නොවන ඖෂධ තිබෙන බවත් ලියාපදිංචියකින් තොර ඖෂධ හදිසි අවස්ථාවකට ගෙන්වීමට අධිකාරියට පනතින් බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කර තිබුණේද ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන ඖෂධවලින් 80%ක් ලියාපදිංචි කර නොමැති බවය. මෙම ගැටලුවට වගකිව යුතු බවට ඔහු චෝදනා කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙතය.

දැන් මේ ඖෂධ ගැටලුව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙතද ළඟා වී හමාරය. හදිසි අවස්ථා යටතේ ඖෂධ ගෙන්වීම, ඒ හදිසියට මුවා වී අත්‍යවශ්‍ය නොවන සහ ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම මෙන්ම ටෙන්ඩර් යටගිය හුටපටද දැන් කරළියට විත් හමාරය. මේ මගින් රටේ ජනතාවගේ මූලික අයිතිය කඩවූ බවට වූ නඩුව දැන් මහ උසාවිය හමුවේය. මෙම නඩුව ගොනු කර ඇත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනයයි. 

අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් 47 දෙනකු නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

එහි ප්‍රශ්න කර ඇති ගනුදෙනු හා සම්බන්ධ අයථා ක්‍රියා ගණනාවකි. ඒ නම්, ලියාපදිංචි නොකළ පෞද්ගලික සැපයුම්කරුවන් හරහා වෛද්‍ය සැපයුම් ලබාගැනීමේදී අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය. ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබාගැනීම සඳහා ලියාපදිංචිය අත්හැරීමක් ලබාදීමේදී NMRAහි කාර්යභාරය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල නොවීම, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ NMRA හි ප්‍රධාන විධායක නිලධාරියාගේ ක්‍රියාවලිය අපයෝජනය කිරීම යන කාරණාය.

එසේම මහජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්ම බරපතල ලෙස නොසලකා හැරීම සහ මහජන විශ්වාසය සහ මහජන මුදල් අපයෝජනය කිරීමත් සමඟ සමානාත්මතාවය සඳහා පුරවැසියන්ගේ මූලික අයිතිය සහ තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බවට TISL චෝදනා කරයි.

මෙම පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු නියෝගයක් මගින් - මෙම අනවශ්‍ය යෝජනාව මත පදනම් වූ ප්‍රසම්පාදනය සහ කිසියම් ඇණවුමක් ලබාදීම, ඖෂධ 38ක් ලියාපදිංචි කිරීම අත්හැරීම සඳහා අනුමැතිය, එම ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එවැනි ඖෂධ සඳහා ගෙවීම් කිරීම වළක්වන ලෙස ඉල්ලා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, Savorite Pharmaceuticals (Pvt) Limited, Kausikh Therapeutics (P) Limited සහ නීතිපතිවරයාද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

I සුගත් පී. කුලතුංගආරච්චි