2023 පෙබරවාරි 19 වන ඉරිදා

සල්ලිවලට වී අරන් නිකම් දෙන සහල්!

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 51

කර ගැනීම යන වැදගත් අංශ දෙක එකක සේ යා කරන්නට ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා යෝජනා කරන පරිදි ගොවි ජනතාවගෙන් වී මිල දී ගෙන ලැබිය යුතු ජන කොටස්වලට සහල් නොමිලේ සැපයිය යුතුය. අඩු ආදායම්ලාභී කිසිවකු මග නොහැර සහල් බෙදා හැරිය යුතු අතර විනිවිද පෙනෙන ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ජනාධිපතිවරයාගේ අවධාරණය වී ඇත

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ජීවන වියදම සලකා බලන විට ආධාර අහිමිවිය යුතු නිවෙසක් නැත. සෑම දරු පවුලක්ම තිබුණු තත්ත්වයෙන් පහත තැනකය. වසර ගණනක් ආර්ථිකය දුබල තැනක පවතින නිසා හිස ඔසවන්නට අවකාශයක් නැත. සියලුම දෙනාගේ ආදායම පිරිහී තිබේ. විශේෂයෙන් මැදි ආදායම් ලැබූ ජන කොටස වඩාත් ඛේදජනක ඉරණමකට මුහුණ පා සිටී. තමන්ගේ ආදායමෙන් ජීවත් වෙමින් සිටි ඔවුන්ගේ වැටුපට බදු පනවා ඇති අතර එතැනට එන්නට ලබාගත් ආයෝජනය සංකීර්ණ ප‍්‍රශ්න ඇති කර තිබේ. සෑම මධ්‍යම පාන්තිකයකුම ඉඩමක් මිල දී ගෙන නිවෙස තනා ගැනීමටත්, වාහනයක් මිල දී ගැනීමටත් ණය ගෙන ඇති අතර ඔවුහු වැඩි දෙනෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෝ වෙති. ණය වාරිකවල පොලිය වැඩි කර ඇති අතර දරුවන්ගේ ඉගෙන ගැනීමත්, ආහාරපාන හා ප‍්‍රවාහන වියදම් දැරීමත් එක හා සමානව කළ නොහැකි අභාග්‍ය සම්පන්න තැනක පසුවේ. අඩු ආදායම්ලාභීන් හා සමානව මැදි ආදායම් ජන කොටස ද ආර්ථික ප‍්‍රශ්න හමුවේ විශාල පීඩනයක පසුවන බව සඳහන් කළ යුතුය.

අඩු මුදලකට පොහොර සහ සහල් 

මෙම කන්නයේ අස්වැන්න ලැබෙමින් පවතින අතර කාබනික වගාවකට පොළඹවා ගැටලුවලට මුහුණ දීමෙන් ඉනික්බිතිව ලැබෙන වාසි සහගත තැනක බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව වහාම රසායනික පොහොර ආනයනය කරන ලද අතර ඉන්දියාව ඒ සඳහා සිය ණය සහනාධාරය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන පනස් පහක මුදලක් සැපයීය. ඉන්දියාව පොහොර අපනයනය තහනම් කර තිබුණු අතර මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය රාජ්‍ය ප‍්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඉන්දියාව වෙනත් රටකින් ඇණවුම් කර තිබුණු පොහොර නැව් දෙකක් ශ‍්‍රී ලංකාවට හරවා එවන්නට සමත් විය. ආණ්ඩුව එම යූරියා පොහොර සහන මිලකට ගොවියන්ට නිකුත් කළ අතර ගොවිතැන කරගෙන යා හැකි විය. සහන පොහොරවලින් ලැබුණු වී ආණ්ඩුව යළි මිල දී ගෙන සහන මිලකට අඩු ආදායම් ලබන ජනතාවට නිකුත් කිරීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි පරිමාණය මැනවින් දක්වයි. 

ආණ්ඩුව කළ යුත්තේ හැම පැත්තටම සහන සැපයීම නොවේ. මෙම සහන වෙනුවෙන් ධනය උත්පාදනය කරන්නේ කොතැනින්ද? නැවත නැවතත් බදු අය කරන්නට සිදු වේ. 2023 අයවැය මගින් විශාල බදු ප‍්‍රමාණයක් අලුතින් පැනවීය. මැදි ආදායම් ලබන ජනතාවට ඉහිලිය නොහැකි වී ඇත. ජනවාරි වැටුප අතට ගත් වැඩ කරන ජනතාව විරෝධතා පළ කරන ලද ආකාරය අමතක කළ යුතු නැත. සිය වැටුප අලුත් බදු ක‍්‍රමයට යටත් කළ යුතු නැති බව ප‍්‍රකාශ කර අධිකරණයට ගිය එම පිරිස් එහි වාසි ලබාගත් අතර අය කරගත් බදුවලින් කොටසක් සංශෝධනය කරන්නට ආණ්ඩුවට සිදු වී තිබේ. 

මෙහි අනෙක් පැත්ත ඉලක්ක කළ ආදායම මගහැරීම බව පෙන්වා දිය යුතුය. ආදායම් ඉලක්ක ගිලිහී ගිය පසු නැවත වතාවක් සහන යෝජනා කිරීමෙන් ඇතිවන අනාගත අභාග්‍ය ගැන නොතැකීම පුදුම සහගත කරුණකි. දුප්පත් ජනතාවට සහල් නොමිලේ පිරිනැමීම නරක බව මෙයින් අදහස් නොකෙරේ. මුළු රටටම වියදම දැනී ඇති අවස්ථාවක මොනවා හෝ ක‍්‍රමයකින් සහන ලැබීම ඉතා ප‍්‍රයෝජනවත්ය. එහෙත් ජනතාවගෙන්ම බදු උදුරාගෙන ජනතාවට බෙදන ක‍්‍රමය වෙනුවට අලුත් ධනෝපායන මාර්ග සොයාගෙන ජනතාවගේ අතට ලැබෙන ආදායම තර කිරීමට සැලසුම් හැදීම ආණ්ඩුවේ වගකීමකි.

 බිලියන විස්සක මුදල් අච්චු ගැසීමට හේතු

ගොවි ජනතාවගේ වී මිල දී ගෙන සහල් බවට පත් කර බෙදා දීමේ වැඩපිළිවෙළ අනුව පවුල් මිලියන 2.85 කට සහල් කිලෝ දහයක් බැගින් සැපයෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා පමණක් රුපියල් බිලියන විස්සක් වැය කෙරේ. වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් 200 - 250 අතර වේ. එහිදී පවුලකට රුපියල් දෙදහස් පන්සියයක පමණ මුදලක සහල් ලැබෙනු ඇත. එය සෑහෙන උපකාරයකි. ආහාර සුරක්ෂිතතාව රට තුළ පවත්වාගෙන යා යුතු ප‍්‍රතිපත්තියකි. ශ‍්‍රී ලංකාව බත බුලතින් අගහිඟ වූ රටක් නොවේ, ක‍්‍රමය විකෘති කිරීමෙන් පසු ගොවියන්ට ගොවිතැන එපා විය. තරුණ පෙළ කෘෂිකර්මයෙන් ඉවත් වූ අතර නගර කරා සංක‍්‍රමණය විය. ගොවිතැනට සහන දී එම නිෂ්පාදන මිල දී ගෙන පාරිභෝගිකයන් අතට සහන වශයෙන් බෙදා දෙන තැන දක්වා එය පරිවර්තනය වී තිබේ.

පාරිභෝගිකයන් අතට නොමිලේ දෙන සහල් නැවත විකිණිය නොහැකි පරිදි රෙගුලාසි පනවන සේ ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන් කරුණු දක්වා ඇත. බදු රහිතව ලැබෙන වාහනය යළි විකුණා දැමිය හැකි පරිදි නීති හදාගන්නා පිරිස් ජනතාවගේ අතට දෙන සහල් කිලෝ දහය විකුණන්නට නොහැකි පරිදි ආරක්ෂා කරන්නට වියදම් කරන්නට සූදානම් වීම විහිළුවකි. තවත් නොබෝ දිනකින් නොමිලේ නිකුත් කළ සහල් විකුණන, වංචා මැඩලන නීති පනවන්නට ඉඩ තිබේ. සහල් කිලෝ දහයක් අලෙවි කරමින් සිටි පුද්ගලයකුට දඩ නියම කළ පුවතක් අධිකරණයෙන් වාර්තා වුවහොත් පුදුමයක් නොවේ. තමන්ට ලැබෙන සහල් සඳහා මුදලක් ලබාගැනීමට හෝ එයින් ආර්ථිකයක් තනන්නට දුප්පත් ජනතාවට අයිතියක් ඇත. සහල් නොමිලේ දෙන අතර එයට කොන්දේසි පැනවීම සුදුසු ක‍්‍රියාවක් නොවේ.

වගකිව යුතු නිලධාරීන් වශයෙන් රට නගා සිටුවන්නට උර දිය යුතුය. වී මිල දී ගෙන සහල් නොමිලේ නිකුත් කරන ප‍්‍රතිපත්තිය දක්වන පසු රටේ ආර්ථිකය හා දේශපාලන රාමුව ගැන අවධානය යොමු කිරීම නිලධාරීන්ගේ වගකීමකි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන විස්සක් වැය කෙරේ. කැබිනට් අනුමැතිය ලැබී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැති අතර එය මැතිවරණ කොමිසම ඉල්ලන මුදලෙන් අඩකි. අවසානයේ දී නැවත මුදල් මුද්‍රණය කර මෙම වියදම පියවා ගැනීම වෙනුවට ආර්ථික ප‍්‍රබෝධයකට ඉඩ පාදා ගත යුතුය.

විනිවිද පෙනෙන ක‍්‍රියාමාර්ග 

ශ‍්‍රී ලංකාවේ ආධාර බෙදා දීම ගැන විවිධ විවේචන ඇත. නොබෝදා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ආධාර තොගයක් බෙදාගත් ආකාරය ගැන කරුණු වාර්තා කොට තිබුණි. එම ආධාර ගොවිතැන් හානි වූ ගොවි ජනතාවට බෙදා හැරීමට නියමිත වූ අතර රුපියල් මිලියන 8,000 ක මුදලක් බව දැක්වේ. නිලධාරී වාර්තා අනුව දැනට බෙදා ඇති ප‍්‍රමාණය රුපියල් මිලියන 6,500 කි. හෙක්ටයාරයක ගොවිතැන් කළ ගොවියකුට රුපියල් දස දහස බැගින් ලබා දී තිබේ. වාර්තා වන තොරතුරු සත්‍ය නම් මෙම ආධාරවලින් රුපියල් මිලියන 1,300 ක් ආපසු හැරී පැමිණ ඇත. ගොවියන්ගේ බැංකු ගිණුම් වැරදි ලෙස සටහන් කර ඇති බව කියැවේ. තවත් රුපියල් මිලියන 1,500 ක් බෙදා දෙන්නට මෙතෙක් කටයුතු කර නැත. නිලධාරීන්ගේ අතපසුවීම් හා තාක්ෂණික දෝෂ අවහිර වීමට හේතු බව දැක්වේ. මෙම ආධාර ලැබුණේ රටට බත සපයන ගොවියන්ට බෙදා දීමට වන අතර බෙදාගත නොහැකි වූයේ රජයෙන් වැටුප් සහ වරප‍්‍රසාද ලබන නිලධාරීන්ට බව මෙහිදී අවධාරණය කොට දැක්වීම වැදගත්ය.
දුකට පත් ජනතාවට බෙදා දීම සඳහා විදේශයන්ගෙන් ලැබෙන ආධාරවලට සිදුවන්නේ කුමක්ද? ආණ්ඩුව සහන දිය යුතු ගොවියන්ටම මෙම අකටයුත්තට ද මුහුණ පාන්නට සිදුවීම වරදකි. මෙයට කලින් පාසල් දරුවන්ට බෙදා දෙන්නට ලැබුණු නිලඇඳුම්, චීනයෙන් ලැබුණු සහල් තොගයක්, ඉන්දියාවෙන් ලැබුණු ආහාර බෙදාහැරියේ මෙම නිලධාරීන් කණ්ඩායම අතර පිරිසක්ම බව පැහැදිලිය.

රජය හෝ වෙනත් තැනකින් ලැබෙන ආධාර බෙදන විට ඒවාට කරන වියදම ගැන තක්සේරු කළ යුතුය. අවසානයේ දී මහජනතාව විසින්ම ගෙවන වන්දියක් බව සඳහන් කරන්නට අවශ්‍යය. වී මිල දී ගෙන සහල් බෙදාහැරීම හොඳ අදහසකි. කෙසේ වෙතත් මෙම වියදම අනෙක් ජන කොටසකට හිරිහැරයක් විය යුතු නැත. ආණ්ඩුව රුපියල් මිලියන දෙසියක් සොයා ගන්නේ කෙසේද? දැනටමත් බැංකු පොලිය ඉහළ මට්ටමක පවතී. බැංකුවලින් ණය ගෙන එයින් ගොවියන්ට හා ජනතාවට සහනයක් වශයෙන් සහල් බෙදාහැරීමෙන් පසුව එක සහල් කිලෝවක මිල වෙළෙඳපොළ මිලට වඩා දෙගුණයකි. නිලධාරීන්ගේ දීමනා ප‍්‍රවාහන වැය ද එකතු වූ පසු මහත් පිරිවැයකි. මේ හා සමානව සහල් මිල දී ගත හැකි ආර්ථිකයක් සහිත රටක් නිර්මාණයට වෙර දැරීම වැදගත්ය.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02