2023 පෙබරවාරි 19 වන ඉරිදා

විදුලියට රතු එළි දල්වන ගල්අඟුරු අර්බුදය

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 58

අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම කිහිපයක් පවතී. ජල විදුලි බලාගාර, ගල් අඟුරු බලාගාර සහ තාප විදුලි බලාගාර විදුලි නිෂ්පාදනය කරන ප්‍රධාන ක්‍රමය වේ. මේ අතරින් අවම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ ජල විදුලි බලාගාරවලිනි. නමුත් අවුරුද්ද පුරා වර්ෂාව නොලැබෙන නිසා ගල් අඟුරු හා තාප බලාගාර වෙත යොමුවීමට සිදුව ඇත. ඒ අනුව ජල විදුලි බලාගාරවලින් අනතුරුව විදුලිය නිෂ්පාදනයට මීළඟ ලාභදායී විදුලි ක්‍රමය වන්නේ ගල් අඟුරු බලාගාරය. මෙරට නිෂ්පාදනය කරන සමස්ත විදුලි ධාරිතාවෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අඟුරු බලාගාරවලිනි.

ගල් අඟුරු බලාගාරවල විදුලි ජනනය සඳහා ගල්අඟුරු ආනයනය කළ යුතු ය. ගල් අඟුරු ආනයනය කිරීමේ වගකීම පැවරෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට ය. 2022 වර්ෂයේ අගෝස්තු මස තුළ ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය පිළිබඳ 2023 වසර සඳහා වන සැලසුමට අනුව ලංකා ගල් අඟුරු සමාගම විසින් තීරණය කළේ 2022 ඔක්තෝබර් හා 2023 අප්‍රේල් අතර ගල් අඟුරු නැව් 33ක් ගෙන්විමට ය. ඒ අනුව එම ගල් අඟුරු සැපයීමට ලංකා ගල් අඟුරු සමාගම ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේය. සැපයුම්කරු තෝරාගැනීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගුණන් අවසානයේ සැපයුම්කරු බවට පත්වූයේ ස්විස් සිංගප්පූර් සමාගම ය.

ගෙන්විය යුතු ගල් අඟුරු නැව් 33න් මේ මාසය තුළ පැමිණිය යුතු ගල් අඟුරු නැව්වලින් 3ක් පුත්තලම් ජැටිය වෙත පැමිණ අවසන් වී ඇත. එහෙත් එම ගල් අඟුරු ගොඩබෑමේ අර්බුදයක් මතුව ඇත. නෞකා 3 සඳහා රු. බිලියන 15.7ක මුදලක් ගෙවීමට තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගල් අඟුරු සමාගමේ සභාපති වරයා පෙන්වා දුන්නේ, පැමිණිය යුතු නැව්වලින් 11ක් මේ වනවිට පැමිණ අවසන් බවත් 12,13 සහ 14 යන නෞකාද මේ වනවිට පුත්තලම් ජැටිය වෙත පැමිණ ඇති අතර 12 වැනි නැවේ ගල් අඟුරු ගොඩ බෑමේ කටයුතු සිදුවුවද ඒ සඳහා තවත් රු. මිලියන 700ක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බවයි.

ඒ අනුව නෞකා තුනේ ගල් අඟුරු ගොඩ බෑම සඳහා අවශ්‍ය රු. බිලියන 15.7න් ගෙවා ඇත්තේ රු. බිලියන 3.2ක වැනි මුදලකි. ඉතිරි මුදල් නොගෙව්වොත් බලාගාරවලට අවශ්‍ය ගල් අඟුරු නොමැති තත්ත්වයක් උදාවනු ඇත. මෙම නැව්වලින් ගල් අඟුරු බා ගැනීම සඳහා ඉතිරි මුදල් සපයා ගත යුතුව ඇත. ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ගල් අඟුරු ආනයනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මුදල් ලබා දී නැති බව ය. මේ හේතුවෙන් එම ක්‍රියාවලිය ඇනහිටීමේ අවදානමක් මතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය

ගල් අඟුරු මිලදී ගැනීම් ක්‍රියාවලිය අඩපණ වෙමින් පවතින බවත්, ප්‍රමාණවත් තරම් ගල් අඟුරු සපයා ගත නොහැකි වුවහොත් මාර්තු මාසය වන විට විදුලි කප්පාදුව තවත් පැය ගණනාවකින් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් අනතුරු අඟවා තිබුණි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ ප්‍රකාශයට අනුව ගල් අඟුරු අර්බුදය තිබෙන්නේ ගිනි කන්ද පුපුරන්න අත්‍යාසන්න තත්ත්වයක් වැනි අඩවියක බව නම් පැහැදිලිය. මන්ද මෙරට විදුලි කප්පාදුව ආරම්භ වීමට ප්‍රථමව ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් කළේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසිනි.

මේ වනවිට පුත්තලම ජැටියට පැමිණි ඇති ගල් අඟුරු රුගත් නෞකා අතර එක් නෞකාවක අන්තර්ගත ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 කි. එක් නැවකට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 3.2කි. නමුත් ගෙවීම් කිරීමට මුදල් නොලැබීම හේතුවෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල් අඟුරු නෞකා කිහිපයක් පුත්තලම ආසන්නයේ නැංගුරම්ලා ඇත. මේ මාසය ඇතුළත ගෙන්වීමට සැලසුම් කර ඇති නෞකා සඳහා පමණක් රුපියල් බිලියන 22ක මුදලක් අවශ්‍ය බව වේ. ලංකා ගල් අඟුරු සමාගමට මුදල් නොමැති නිසා ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් නෞකාවන්ට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමත් ජනයා මත පැටවෙන අමතර බරකි.

මෙරටට රැගෙන ඒමට නියමිත ගල් අඟුරු රුගත් නැව් 33න් 14 වැනි නැවට රුපියල් කෝටි 03කට අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇත. ඉදිරියේදී තවත් ගල් අඟුරු නෞකා කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවද පෙනෙන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා කියා සිටියේ මෙවන් අදහසකි.

“ගල් අඟුරු සමාගම විසින් මේ වනවිට ගල් අඟුරු නෞකා 11ක ගොඩබෑම් කටයුතු අවසන් කොට තිබෙනවා. 12 වැනි නෞකාවේ ගොඩබෑම් කටයුතු 13 වැනිදා දහවල් අවසන් කළා. 13 හා 14 වැනි නෞකාවට ඉකුත් බදාදා දිනයේ මුදල් ගෙවීමට අවශ්‍ය වී තිබුණා. 12 වැනි නෞකාවට දින තුනක් ප්‍රමාද වුණත් ගොඩබෑම් කටයුතු ඉතා විගසින් කරල ප්‍රමාද ගාස්තු නොගෙවා ගොඩබෑම් අවසන් කරන්නයි බලාපොරොත්තු වුණේ. 13 වැනි නෞකාවට ප්‍රමාද ගාස්තුවක් එකතු නොවෙයි කියල අපි විශ්වාස කළා. හැබැයි 14 වැනි නෞකාවට ප්‍රමාදය නිසා බලපෑමක් ඇති වීම අපි බලාපොරොත්තු වුණා. ගිවිසුමක් තියෙනවා සැපයුම්කරුවන් සමඟ. එම ගිවිසුම අනුව දළ වශයෙන් දවසකට ඩොලර් 18,000 – 24,000 අතර මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට අවශ්‍යයි. 14 වැනි නෞකාව දින 04ක් 05ක් වගේ ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා."

ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත ගල් අඟුරු නෞකා කිහිපයක් සඳහා සියයට 30ක අත්තිකාරම් මුදල පවා මේ වනවිට ගෙවා නොමැති බවයි ෂෙහාන් සුමනසේකර මහතා පෙන්වා දුන්නේ. “එන හැම නැවකටම දැන් සියයට 30ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අවශ්‍යයි. නැව වරාය තුළ දී ගල් අඟුරු නැව්ගත කිරීමට පෙර සියයට 30 ගෙවීම කරන්නට අවශ්‍යයි. ඊට යටත්ව ලංකාවට එන නැව් සියයට 70ක මුදල ගෙව්වට පස්සේ තමයි ගොඩබෑම් සිද්ධ කරන්නේ. ඉදිරියට එන නැව්වලට සියයට 30 අත්තිකාරම් මුදල් ගෙවීමත් කළ යුතුයි. දැන් එම ගෙවීමුත් ප්‍රමාද වෙලා තියෙනවා. තව ටිකක් ප්‍රමාද වුණොත් නැව්ගත කිරීම් කටයුතු අනිවාර්යයෙන් අඩපණ වෙනවා. එතකොට නැව් ලංකාවට එන එකත් පරක්කු වෙනවා. ඊටපස්සේ ගොඩබෑමත් පරක්කු වෙනවා. මේ වෙද්දි සියයට 30ක අත්තිකාරම් මුදල ගෙවල තියෙනවා 12, 13, 14,15, 16 සහ 17 වැනි නෞව්කාවලට පමණයි. එම නැව් මේ වනවිටත් පුත්තලම් ජැටිය වෙත යාත්‍රා කරමින් පවතිනවා. නෞකා දෙකක නැව්ගත කිරීම් කටයුතු සිදුවෙමින් තිබෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නය තවත් තදින් බලපාන්න පුළුවන්."

අප්‍රේල් මස වාරකන් සමය ආරම්භ වීමට පෙර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු නෞකා 33ක් ගොඩබා අවසන් කළ යුතු බව මීට පෙර පෙන්වා දුන්නෙමු. එසේ නොවුවහොත් අප්‍රේල් සිට ඉදිරි මාස 06ක කාලය තුළ මුහුදු රළ සැර වන බැවින් ගල් අඟුරු ගොඩබෑම සිදුකළ නොහැකිය. එම තත්ත්වයට මුහුණ දීමට සැලසුම් කළ පරිදි ඉකුත් ඔක්තෝබර් සිට මෙතෙක් ගෙන්වීමට හැකිව තිබෙන්නේ නෞකා 15ක් පමණි. තවත් නෞකා 18ක් ගෙන්විය යුතුව තිබුණත් ඒවාට මුදල් ගෙවීමට මුදල් සොයාගැනීමේ අභියෝගය විදුලිබල මණ්ඩලයට පැවරී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරි කාලය තුළ විදුලි කප්පාදුව නතර කර විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ දමා ඇත. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය නිසි වේලාවට ගල් අඟුරු ගෙන්වීමට මුදල් ලබා නොදෙන්නේ නම් අලුත් වටයකින් විදුලි කප්පාදුව ආරම්භ වනු ඇත.

I සකීෆ් සාම්

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03