2023 පෙබරවාරි 19 වන ඉරිදා

මාර ඔත්තුවක්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 598

එක්තරා තරුණ මවක් දරුවකුත් ඇකයේ හොවාගෙන දෑස් කඳුළින් බරව බලාගත් අත බලාගෙන සිටියි. මේ කොළඹ ප්‍රදේශයේ  එක්තරා පොලිස් ස්ථානයක දසුනකි. මෙය දුටු පොලිස් ස්ථානාධිපතිවරයා ඇයව කාර්යාලය වෙත කැඳවීය.

“මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? ඇයි ඔතන හිටගෙන ඉන්නේ" ස්ථානාධිපතිවරයා ඇසීය.

“සර් මම කොළඹ ඉන්නේ (වත්තක නමක් කියයි). මම ආවේ පැමිණිල්ලක් දාන්න. ඒත් සර් හම්බවෙලා මේක කියලා යන්න හිතුණා" ඇය කීවාය.

“මොකක්ද කියන්න තියෙන්නේ?” ස්ථානාධිපතිවරයා ඇසීය.

“සර් මගේ මහත්තයා කාලයක් කුඩු බිව්වා. හැමදේම නැති කළා. ගෙදර බඩු මුට්ටු පවා උකස් කරලා කුඩු ගැහුවේ. දැන් කුඩු ගහන්නේ නෑ. ඒත් දැන් කුඩු වෙනුවට අයිස් බොනවා. ඒකට ලොකුවට ඇබ්බැහි වෙලා" ඇය පැවසුවාය.

“ඉතින් මොකක්ද පැමිණිල්ල" ස්ථානාධිපතිවරයා ඇසීය.

“සර් අයිස් විකුණන අය ගොඩක් අපේ වත්තේ ඉන්නවා. ඒ ඔක්කොම අවුරුදු 18-25 අතර අය." ඇය හදිසියෙන් මෙන් කියාගෙන ගියාය.

“හරි තමුන් මොකක්ද දැන් කියන්නේ’" ස්ථානාධිපතිවරයා ඇසීය.

“සර් අපේ වත්තේ කොල්ලන්ට ස්වයංරුකියාවක් හැටියට දැන් කියා දෙන්නේ අයිස් විකුණන්න. කට්ටිය ගෙනල්ලා දේශන තියලා යවන්නේ" යැයි කාන්තාව පිළිතුරු දුන්නාය.

“කොහෙද යවන්නේ.. මොනවද දේශන" ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් විමසීය.

“සර් වත්තේ එකෙක් ඉන්නවා. උගේ නම චාලි (මනඃකල්පිත නමකි). චාලි තමයි ඉස්සෙල්ලම කුඩු විකුණුවෙ. ඒත් කුඩු නැතිවුණාම එයා අයිස් ගෙනල්ලා විකුණන්න ගත්තා. එයා දෙමටගොඩ අහවලාගේ ළඟම ගෝලයෙක්. වත්තේ කුඩු ගහපු උන්ට ඉස්සෙල්ලම අයිස් පෙව්වා. අයිස් අල්ලන්න ගත්තම චාලි කළේ තරුණ කොල්ලන්ට කීයක් හරි හොයාගන්න කියලා අයිස් විකුණන්න එකතු කරගත්ත එක." ඒ ඇගේ පිළිතුරයි.

“ඒ කොල්ලෝ මොකද කරන්නේ" ස්ථානාධිපතිවරයා සියල්ල අසා ගැනීමේ අරමුණෙන් විමසීය.

“සර් ගොඩක් අය ත්‍රීවිල් දුවන අය, අනෙක් අය පිටකොටුවේ වැඩ කරන අය. ඊටත් වඩා ගෑනු ළමයින් ඉන්නවා මේකට සම්බන්ධ." ඇය පිළිතුරු දුන්නාය.

“ඒ ගෑනු ළමයි මොකද කරන්නේ"

“ඒ අය කොළඹ ස්පාවල වැඩ කරන්නෙ. ගොඩක් අය ඒ අයගේ අතේ කුඩු යවනවා. මේ හැමෝම කරන්නේ ස්වයං රැකියාවක් හැටියට." ඇය කීවාය.

මෙම නාඳුනන තරුණියගේ ප්‍රකාශය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කාන්තා පොලිස් නිලධාරිනියක හරහා සටහන් කර ගත්තේය. පසුව ඇයව පිටත් කර හැරියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාය.

ඒ ආකාරයෙන්ම ස්ථානාධිපතිවරයා අදාළ කාන්තාවගේ ප්‍රකාශ මත ඇය දුන් තොරතුරු සොයා බලන්නට විය. ඒ අනුව පොලිස් කණ්ඩායමක් ආවේශන රාජකාරි සඳහා එම ප්‍රදේශයට යොදවනු ලැබිණි. ඇය කියූ පරිදි කතා බොහොමයක් නිවැරදිය. ඇය කියූ පරිදි චාලි නම් පුද්ගලයා අයිස් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයෙකි. ඔහු මහා පරිමාණයෙන් නොව සුළු පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අයෙකි. එහෙත් හොඳම සිදුවීම වන්නේ ඊට පසුවය.

පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු දුන් කාන්තාව සොයා පොලිසිය අදාළ නිවස බලා පිටත් විය. එසේ යන විටත් එම නිවසේ සිටියේ වයෝවෘද්ධ කාන්තාවක් පමණි.

“නීලා කුමාරසිංහ (මනඃකල්පිත නමක්) කියන්නේ කවුද?" පොලිසිය විමසීය.

“ඒ කවුද... මෙහේ එහෙම කෙනෙක් නෑ" කාන්තාව කීවාය.

පොලිසිය ඇගේ හැඩරුව පහදන්නට විය. ඒත් සමඟ එම කාන්තාව ඇයව හඳුනා ගත්තාය.

“ඒ අය මීට කලින් මෙහේ හිටිය අය. දැන් නෑ එයාලා. එයාලා ඉන්නේ අර වත්තේ. ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඇය විමසීය.

“නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. එයාව හොයාගෙන ආවේ.. එයා කවුද" පොලිසිය ඇසීය.

“සර් එයා තමයි ශිවා (මනඃකල්පිත නමක්) කියන කෙනාගේ නෝනා. ශිවා තමයි ගිය මාසේ කුඩු එක්ක අහුවුණේ. තවම කුඩුවලට ඇතුළේ ඉන්නේ." යැයි එම කාන්තාව පොලිසිය කිසිසේත් නොසිතූ දෙයක් හෙළි කළාය. පසුව පොලිසිය තවදුරටත් මේ පිළිබඳව විමසා මේ කාන්තාවගෙන් තොරතුරු ලබා දුන් කාන්තාව ගැන විමසන්නට විය.

 “සර් ශිවා හිරේ යන්නේ කාලි දුන්නු ඔත්තුවකට. කාලිට අයිස් බිස්නස් කරන්න ඕන නිසා ශිවාව පොලිසියට කොටු කරලා දෙන්නේ කාලි. මේ දෙන්නම එකට කුඩු බිස්නස් කළේ. ඒත් අයිස් විකුණන්න ගත්ත නිසා කාලි එක්ක තරහා වුණා. ශිවාලා හිටියේ මේ ගෙදර. ශිවා හිරේ ගියාම ඔය කෙල්ලව එළෙව්වා." දැන් එයාලා ඉන්නේ අනික් වත්තේ යැයි එම කාන්තාව පොලිසිය හමුවේ සියල්ල වමාරන්නට විය.

පොලිසියට සිදුවීම වටහාගත් අතර වහාම එම කාන්තාව සම්බන්ධයෙන් තවත් විශේෂ කණ්ඩායමක් යොදා සොයා බලන්නට විය. එහිදී අනාවරණය වුණේ අපූරු කතාවකි. එනම් මේ කාන්තාව ශිවා විසින් පොලිසියට යොමුකර ඇත්තේ කාලි සම්බන්ධයෙන් ඔත්තුව ලබාදීම සඳහාය. එය ඉතාම සංවිධානාත්මක ලෙස පලියට පලිය ගැනීමේ අරමුණෙන් සූදානම් කර ක්‍රියාත්මක කර තිබූ බවද පසුව අනාවරණය විය. එපමණක් නොව කාලිට මරණ වරෙන්තුව ලබා දීමටද ශිවා සූදානම් කර තිබුණි. ඒ සුපුරුදු පාතාලයේ ලෙයට ලෙයක් ලෙසිනි.

මේ සිදුවීම ස්ථානාධිපතිවරයා මුහුණ දුන් අපූරු අත්දැකීමක් ලෙස පැවසිය හැකිය. කෙසේ වෙතත් මෙය මේ සියල්ල පොලිස් පොතේ සටහන් කළ නොහැකි බැවින් ඔහු එම කතාව අපට කීවේ පොලිස් පොතේ සටහන් නොවූ කතාවක් ලෙසය.

 I ගයාන් ගාල්ලගේ