"වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල පුරාණයේ සෑම ගමකම සහ වැවක්ම ආශ්‍රිතව විහාර ආරාම තිබී තිබෙනවා. අද ඒ අතරින් විශාල ප්‍රමාණයක් වනයට යටවෙලා. ඒ වගේම පසුකාලයකදී මේ විහාර විනාශවීමෙන් පසුව ගොවිතැන ආරම්භ කිරීමෙන් පසුව භූමිය වගාවලට යොදාගැනීම නිසා විහාර නටබුන් රාශියක්ද විනාශ වී තිබෙනවා. පසුගියදා නිදන් හොරුන්ගේ විනාශයට ලක්වුණු පෙරිය උට්ටිකුලම පුරාවිද්‍යා බිමත් එවැනි ගමක පැවති විහාරයක් සේ සිතිය හැකියි."
අප සමඟ එලෙස පැවසුවේ වවුනියාව සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආර්. ජී. ජයතිලකයි.
පසුගිය ජනවාරියේ වවුනියාව පෙරිය- උට්ටිකුලම පුරාවිද්‍යා නටබුන් සහිත පෙදෙස නිදන් හොරුන් විසින් හාරා විනාශ කර දමා තිබුණි. මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබෙන්නේ වවුනියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වෙඩිවට්ටකල්ලු ග්‍රාම සේවා වසමේ පෙරිය උට්ටිකුලම් නම් ස්ථානයේ වනාන්තර පෙදෙසකය. මෙම ස්ථානයට යාමට නම් වව්නියාව නගරයේ සිට බෝගස්වැව දක්වා පාරේ කි.මී. 30ක් පමණ පැමිණ කැලෑ බෝගස්වැව මාර්ගයේ කි.මී. 4ක් පමණ ගමන් කළ යුතුය. එම පාරේදී හමුවන වෙල්යාය කෙළවරින් වන රක්ෂිතය තුළට කි.මී. බාගයක් පමණ පියමං කළ විට කළුගල් නටබුන්, ගඩොල් කැබලි සහිත මෙම ස්ථානයට ළඟා විය හැකිය. මෙම නටබුන් බිම පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් කර තිබූ එකක් නොවේ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මාරක වාර්තා අතරට ඇතුළත්ව නොතිබුණි. එසේ වුවත් පුරාවිද්‍යා නටබන් සහිත බිමක් විනාශ කිරීමට කිසිවකුට නීතියෙන් ඉඩක් නැත.
වවුනියාව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ මේ සිද්ධිය ගැන බෝගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පොලීසිය එම ස්ථානයේ තිබී නිදන් හොරු පැහැරගත් කළුගල් බෝධිසත්ව ප්‍රතිමාවක් වනයේ දමාගොස් තිබියදී සොයාගත් බවය. විනාශ වූ ස්ථානයේ ස්වභාවය ගැන පුරාවිද්‍යා නිලධාරින් වාර්තාවක් ද සකස් කර තිබේ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ඉදිරියටත් සිදුවේ. නමුත් මේ වනතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
සපුමල්ගස්කඩ පබ්බතාරාමය ඇතුළුව මේ අවට පවතින පුරාවිද්‍යා ස්ථාන බොහොමයකි. මාමඩුව මූල ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියකි. ක්‍රි. පූර්ව යුගවලට අයත් පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ඒරුපොතාන කිඹුලාගල, වෙඩික්කින්නරිමලේ, කොන්ග්‍රායන්කුලම් වැනි ලෙන් ආරාම සංකීර්ණ සහිත ස්ථානද අවට හමුවේ.
ප්‍රතිමා, සෙල්ලිපි සහ ගොඩනැගිලි ඉදිකිරීම්වල ස්වරූපය අනුව මේවා අනුරාධපුර යුගයේ දියුණුම කාලයට එනම්, ක්‍රි.ව. 8-10 කාලයට අයත්ය. පෙරියඋට්ටිකුලම නටබුන් බිම පිහිටා ඇත්තේ මෑතකදී සංරක්ෂණය කළ සපුමල්ගස්කඩ ආරාම පරිහ්‍රයට කි.මී. 2ක් පමණ නැගෙනහිර දෙසිනි. මෙහි පුරාණ නාමය කුමක්දැයි සඳහන් නොවේ. මෙම විනාශකර දමන ලද පුරාවිද්‍යා ස්ථානයද අනුරාධපුර යුගයට අයත් බව එහි හමුවන අවශේෂ අනුව පැහැදිලි වේ.
මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශකරමින් සිදුව ඇති නිධන්වස්තු සෙවීමක් පිළිබඳව මුලින්ම අනාවරණය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසිනි. ඉන් පසුදින වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ හානි වාර්තාගත කිරීම සඳහා එම ස්ථානයට පැමිණ තිබේ. ඒ සමඟ සපුමල්ගස්කඩ විහාරාධිපති ගල්ගමුවේ සාන්තබෝධි හිමි, බෝගස්වැව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරී පිරිසක්ද පැමිණියහ.
විහාරයේ පිළිමගෙය තිබූ ස්ථානයේ මැද මීටර් තුනක් පමණ ගැඹුරු වළක් හරා නිදන් සොයා තිබේ. පිළිමගෙයි තිබූ යන්ත්‍රගල්ද කැණිම් කර ගොඩගැනීමට නිදන් හොරු ක්‍රියාකර තිබුණි. හිස සහ අත් කැඩී ගිය පාද ප්‍රදේශයෙන් දෙකට කඩා දමා තිබූ බුද්ධ ප්‍රතිමාවක්, පිළිම පිහිටා තිබූ ශෛලමය පාදම්, සිරිපතුල්ගල්, පැරණි උළු, මැටි බඳුන් කොටස් අවටින් හමුවේ. විහාරයට අයත් දාගැබ පස්ගොඩැල්ලක් වශයෙන් තිබෙන අතර එය කලකට පෙර නිදන් හොරුන්ගේ අතවරයට ගොදුරුව තිබේ.
මෙම පුරාවිද්‍යා ස්ථාන වනගතව අනාරක්ෂිතව පිහිටා තිබීම මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙවැනි ස්ථානවල ආරක්ෂාවක් සැපයීමට තරම් ප්‍රමාණවත් මුරකරුවන් සහ නඩත්තු කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම ප්‍රධාන ගැටලුවකි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල සතුව සේවක නිලධාරී අතිරික්ත පවතින නමුත් ඔවුන් මෙවැනි ප්‍රදේශවලට යොමුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන් අසමත් වීම කණගාටුවට කරුණකි
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පුරාවස්තු විනාශය ගැන මාධ්‍යවලට පවසා සිටින්නේ මෙවන් අදහසකි:
"ඇතැම් ආගම්වල පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ හේතු මත හානිකරන පිරිස්ද අපට දකික්න ලැබෙනවා. තවත් පිරිසකට මෙවැනි ප්‍රදේශවල බෞද්ධ බලය වැඩි වීම සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබෙනවා. පුරාවස්තුවලට හානි කිරීමෙන් ඒ උරුමය නැති වී යනු ඇතැයි යන මතයේ සිටිමින් මේ විනාශයන් සිදුකිරීමත් දකින්න පුළුවන්. අනුරාධපුරය අවට පමණක් කල්ලි විස්සක් පමණ සංවිධානාත්මකව මේ විනාශය කරනු ලබන බව පැවසෙනවා. රට පුරාම විවිධ මට්ටම්වල පිරිස් මේ විනාශයට යොමුවී සිටිනවා.
මෑතකාලීනව ප්‍රචාරය කෙරෙන මිථ්‍යා මත පුරාවස්තුවල පමණක් නොව රටේ ම පැවැත්මටත් තර්ජනයක් වෙලා. පුරාවස්තු ආරක්‍ෂා කිරීමට ඇති ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන හිඟවීම සහ මිනිස් සම්පත්වල ඌනතාවන්ද විශාල ගැටලුවක්. සමාජයේ ආකල්පමය අඩුපාඩුද මේ සඳහා බලපානවා."
වවුනියාව, මුලතිව් සහ මන්නාරම යන පුරාවිද්‍යා කලාපවලට බලපා ඇති ප්‍රධානම ගැටලුව නම් අවශ්‍ය තරම් මානව සම්පත් නැතිවීමයි. වනගතව මෙන්ම ගම්මාන ආශ්‍රිතවද විශාල පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාවක් හමුවේ. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් තවමත් ආරක්ෂිත ස්මාරක ලෙස ගැසට් කිරීම ද සිදුව නැත. පුරාණ ස්මාරක සහිත තැන් ආරක්ෂා කිරීමට මුරකරුවන් ප්‍රමාණවත් නැත. කම්කරු හිඟය ද ප්‍රධාන ගැටලුවක් වී ඇත. මේ නිසා වනගතව පවතින නටබුන් ස්ථාන නිදන් හොරුන්ට බාධාවකින් තොරව විනාශ කිරීමේ අවස්ථාව උදාවී තිබේ. මේ නිසා රටේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ගැන නිතර පවසන බලධාරින් ඒ ගැන කඩිනම් අවධානය යොමුකළ යුතුව ඇත.
I කුසුම්සිරි විජයවර්ධන