2023 පෙබරවාරි 26 වන ඉරිදා

කටුනායකට එන ගුවන් නගරය

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 76

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට යෝජිත ''ගුවන් නගරය'' පිළිබඳව සංවර්ධන සැලසුම් කෙටුම්පත ඉකුත් 02/17 දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පාර්ශ්වකරුවන්ගේ අදහස් සඳහා මෙන්ම මහජන අදහස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම සිදුවිය. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම සංවර්ධන සැලසුම සකස්කර ඉදිරිපත් කර තිබේ.

''ගෝලීය ගුවන් පුරය හා බැඳි සුව පහසු නාගරික පුරවරය'' යන තේමා දැක්ම සහිත මෙම සංවර්ධන සැලසුම කටාන ප්‍රාදේශීය සභා සහ කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම සැලසුම කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර ප්‍රනාන්දු, කටුනායක - සීදුව නගර සභාවේ සභාපති චමිත් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු එම පළාත් පාලන ආයතන දෙකෙහි මන්ත්‍රීවරුන් වෙත ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් මහජනතාවගේ අදහස් සහ යෝජනා දැනගැනීම පිණිස ඉදිරිපත් කර තිබුණි.

මෙම අවස්ථාවට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිශ්චන්ද්‍ර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද යන මහත්වරුද සහභාගී වී සිටියහ. මෙසේ මහජන අදහස් සහ යෝජනා දැන ගැනීමෙන් පසුව, මෙම සැලසුම ඉදිරිපත් කර දින 60ක කාලයකට පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දැනට ගැසට් කරන ලද සංවර්ධන සැලසුමක් නොමැති වීම, සංචාරක සේවා ආර්ථිකය කෙරෙහි වූ සංවර්ධනය සහ ජාතික සහ ප්‍රාදේශීය ප්‍රමුඛතාවය ලබාදීම මෙම සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත් කිරීමට හේතු වී තිබේ. ඒ අනුව මෙම සැලසුම 2023 වසරේ සිට 2033 වසර දක්වා වසර 10 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 107.6ක වපසරියකින් යුක්ත වන අතර ඒ වනවිට මෙම ප්‍රදේශයේ නේවාසික ජනගහනය 296,129 වන බවට ඇස්තමේන්තු කර තිබේ.

එසේම මෙම ප්‍රදේශය තුළ අතිශය වැදගත් සුවිශේෂීත්වයන් ගණනාවක්ම හඳුනාගෙන තිබේ. ඒවා අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අන්තර්ජාතික ප්‍රවාහන මධ්‍යස්ථානයක් වීම, A - 3 කොළඹ - පුත්තලම මහා මාර්ගය, E- 03 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, රාගම - පුත්තලම දුම්රිය මාර්ගය ඇතුළු අන්තර් පළාත් සම්බන්ධතා ප්‍රවර්ධක නගරයක් වීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් වෙළෙඳ කලාපය කටුනායක පිහිටා තිබීම, ශ්‍රී ලංකාවේ විශාලතම මෝය කළපුව මීගමුව ආශ්‍රිතව පිහිටා තිබීම මෙන්ම මෙරට විශාලතම නාගරික තෙත් බිම මුතුරාජවෙල ප්‍රදේශයේ පිහිටා තිබීමද වේ.

ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අවස්ථා සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ සම්මිශ්‍රණය වන සියලු විභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර, කාර්යක්ෂම හා මනා සම්බන්ධිත හා ගෝලීය ගුවන් පුරයක් සංවර්ධනය කිරීමත්, ප්‍රාදේශීය ජනතාවට උසස් සහ පහසු ජීවන නගරයක් සපයාදීමත් මෙම සැලසුමේ දැක්ම තුළින් බලාපොරොත්තු වේ. මේ සඳහා මෙම සැලසුම අරමුණු දෙකක් ඔස්සේ ඉලක්ක ගතකර තිබේ. ඉන් පළමු අරමුණ නගරයෙහි ප්‍රතිරෑපය ප්‍රවාහන, ගුවන් භාණ්ඩ සහ සංචාරක සේවාවන් සපයන නිසි අවකාශීය ව්‍යුහයක් සහිත ලොව පිළිගත් ගුවන් පුරයක් බවට ප්‍රති නිර්මාණය කිරීමයි.

ඒ සඳහා 2033 වසර වනවිට ගුවන් තොටුපළ, බස් නැවතුම්පොළ, අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව, දුම්රිය ස්ථාන සහ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයන් සම්බන්ධ කරමින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, දැනට පවතින හෝටල් සහ විනෝදාස්වාද ප්‍රදේශ, බහාලුම් සහ කර්මාන්ත කළාප, වෛද්‍ය පහසුකම් සහිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා ප්‍රදානය කළ හැකි ව්‍යාපෘති විවෘත කරමින් ප්‍රදේශයේ ආර්ථික වටිනාකම ඉහළ නැංවීම , 2033 වසර වනවිට සංචාරක ආර්ථිකය තුළ ඇති ක්‍රියාකාරකම්, සේවා පහසුකම් සංවර්ධනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය මත පදනම් වූ ආර්ථික දායකත්වයක් වර්ධනය කිරීම, සැලසුම් ප්‍රදේශය තුළ සංවර්ධනය කළ හැකි ඉඩම් භාවිත කරමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන පද්ධතියට සහාය විය හැකි සැපයුම් සහ පරිසර හිතකාමී කාර්මික කටයුතු සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ මා - ඔය තෙත් බිම් සංරක්ෂණ ප්‍රදේශය සහ මීගමුව කළපුව වැනි ස්වභාවික ආකර්ෂණීය ස්ථාන, පරිසර හිතකාමී සංචාරක කටයුතු සඳහා විවෘත කිරීම යන ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබේ.

මෙම ගුවන් නගර සැලසුමේ දෙවැනි අරමුණ වන්නේ ප්‍රාදේශීය ජනතාව සඳහා ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත සුවපහසු ජීවන රටාවක් සහිත නාගරික අවකාශයක් නිර්මාණය කිරීමයි. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා 2033 වසර වනවිට කෘෂිකාර්මික නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කරමින් පොල් වගාව සහ අනෙකුත් වගාවන් මත පදනම් වූ ස්වයංපෝෂිත ''කෘෂිකාර්මික කලාප'' සංවර්ධනය කිරීම, රද්දොළුගම සහ අක්කර පනහ යන ප්‍රදේශ පදනම් කර ගනිමින් මූලික අවශ්‍යතා සහ පහසුකම් සහිත ප්‍රධාන සුවපහසු නේවාසික උද්‍යාන නිර්මාණය කිරීම සහ නාගරික සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, කෘෂි ආශ්‍රිත කර්මාන්ත, කෘෂි සංචාරක ක්‍රියාකාරකම් හරහා රුකියා අවස්ථා විවෘත කර, වත්මන් ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, මැටි කර්මාන්තය, රතිඤ්ඤා කර්මාන්තය, මල් පෝච්චි ඇතුළු සිමෙන්ති නිෂ්පාදන, රෙදිපිළි ආශ්‍රිත ගෘහාශ්‍රිත කුඩා කර්මාන්ත විදේශීය වෙළෙඳපළ සමග සම්බන්ධ කළ හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ දැනට පවතින විවෘත ඉඩම් සහ අවකාශයන් ආකර්ෂණීය ලෙස සංවර්ධනය කෙරෙන අතර, පවතින භූමි ප්‍රමාණය හෙක්ටයාර් 352 දක්වා වැඩි කිරීම යන ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබේ.

I කටුනායක ටී.කේ.ජී. කපිල