ලංකාවේ ආර්ථික අර්බුදය තුළ කෙනකුගේ දෛනික වැටුප ඔහුගේ තුන්වේල පිරිමසා ගැනීමටත් ප්‍රමාණවත් නැත. පවුලේ එක් අයකු පමණක් රැකියාව කරන්නේ නම් ඔහුගේ දවසේ වැටුපෙන් දරු පවුල රැකගන්නට බැරි තත්ත්වයක් උදා වී තිබේ. හෙට දවසට ඉතිරියක් කෙසේ වෙතත් බඩ පිරෙන අහරක් හෝ නොමැතිකමින් දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ. දවසේ කුලීකරුවන්ගේ පමණක් නොව දැන් පෞද්ගලික හා රජයේ සේවකයන්ගේද තත්ත්වය එයමය.
යහතින් සිටි මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටුණු රටක අසරණ වූ ජනතාව අද යාචකයන්ටත් වඩා පහතට ඇද වැටී සිටිති. මේ නිසා බොහොමයක් දෙනා දැන් සිඟමනට ඇදවැටී ඇති බව නොරහසකි.
සමාජ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ දුම්රිය හා බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවල ඖෂධ ලබාගැනීම වෙනුවෙන් මුදල් ඉල්ලා සිඟමන් යදින පිරිස වැඩි වී ඇති බවකි. රජයේ රෝහල්වල පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය බරපතළ ලෙස බලපා තිබෙන බැවින් බහුතර ජනතාව අපහසුතාවට පත්ව සිටින බවද එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රෝහල්වල නැවතී සිටින රෝගීන්ට මෙන්ම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ටද අවශ්‍ය වන ඖෂධ පිටතින් ලබාගැනීමට වෛද්‍ය නිර්දේශ ලැබීම නිසා රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීහුද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මෙවැනි හේතු නිසා පොදු ප්‍රවාහන සේවා හා නාගරික ප්‍රදේශවල ඖෂධ මිලදී ගැනීමට බව පවසා සිඟමන් යදින්නෝ ඉහළ ගොස් සිටිති. මොවුන් අතර ඇතැම්හු මුසා බස් කියමින් ජනතාව මුලා කොට මුදල් උපයන්නෝ වෙති. කෙසේ වෙතත් මේ ආකාරයට සිඟමන් යදින පිරිස පෙරට වඩා ඉහළ ගොස් තිබෙන බවක් දැකිය හැකිය.
උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මාස කිහිපයකට සිට කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්ථාන හා මාර්ගවල සිඟමන් යදින යාචකයන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ තත්ත්වය ගතවූ මාස දෙකක පමණ කාලයේදී වැඩි වශයෙන් දකින්නට ලැබී තිබේ. මේ පිළිබඳව සිදු කළ විමසීමකදී කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේ පිටස්තර ප්‍රදේශවල සිට කොළඹට පැමිණ සිඟමන් යදින යාචකයන් වැඩි වී ඇති බව හඳුනාගෙන තිබෙන බවකි. එවැනි ඇතැමුන් පවුල් වශයෙන් ගැවසෙන බවටද තොරතුරු ඇතැයි වාර්තා වේ.
වාර්තා වන පරිදි බස්නාහිර පළාත ආශ්‍රිතව මේ වනවිට යාචකයන් 700ක් පමණ සිඟමනේ යෙදෙති. ඔවුන් කොළඹ, ගම්පහ, කළුතර වැනි ජනාකීර්ණ ප්‍රදේශවල රැඳී සිටිති. මේ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මාධ්‍යයට පවසා තිබුණේ කොළඹ නගරය ආශ්‍රිතව යාචකයන් 300කට අධික පිරිසක් සිඟමනේ යෙදෙන බවකි. මේ ආකාරයට කොළඹ නගරය ආශ්‍රිතව යාචකයන් රැස්වීම හරහා ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේ. එය සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සඳහා බරපතළ ලෙස බලපා තිබේ. මේ අනුව කොළඹ නගරයේ පමණක් මාසයකට යාචකයන්ගේ මරණ 10ක් පමණ වාර්තා වන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පෙන්වා දෙයි. එසේ මියගිය පිරිස අතුරින් 99% ක්ම කිසිදු ඥාතියකු හෝ නොමැති බවට තහවුරු වී ඇතැයිද ඇය පැවසීය.
දිනෙන් දින යාචකයන් වැඩිවන පසුබිමක යාචකයන් රඳවා තබන රජයට අයත් රිදියගම පිහිටි නිවර්තන නිවාසයේ තවත් ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 100 දෙනකුට පමණක් බවද එම නිවාසයේ අධිකාරිනී චාන්දනී සිරිවර්ධන මහත්මිය පැවසුවාය. දැනටමත් එම නිවාසයේ යාචකයන් 490 දෙනකු රඳවා සිටින බවත් උපරිම වශයෙන් එහි ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 590ක් සඳහා පමණක් බවත් ඇය වැඩිදුරටත් පැවසීය. මේ අනුව දැනට කොළඹ නගරයේ සිටින 670 කට අධික යාචක පිරිස සඳහා එම ස්ථානයේ ඉඩක් වෙන් කිරීම ගැටලුවක්ව පවතී. ගැහැනු වාට්ටු 12ක් සහ පිරිමි වාට්ටු 14ක් ඇතුළුව වාට්ටු 26 කින් සමන්විත එම නිවාසයේ කාර්ය මණ්ඩලය 107 දෙනකුගෙන් සමන්විත බව චාන්දනී සිරිවර්ධන මහත්මිය කීය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මානසික ආබාධ සහිත යාචකයන් හා එක්තැන් වූ යාචකයන් මෙම නිවාසය සඳහා භාර නොගන්නා බවය.
දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම නිවාසය අධිකරණ නියෝග මත අයාල පනත යටතේ තහවුරු කරන පිරිස් යොමු කරන මධ්‍යස්ථානයකි.
ඇතැම් ප්‍රදේශවල දරුවන් සමඟ පවුල් පිටින් සිඟමනේ යෙදෙන බව දකින්නට හැකිය. ඔවුන් අත පය හතර යහමින් තිබියදී කිසිදු ආබාධයක් හෝ අසනීපයක් නොමැතිව තිබියදී වෘත්තීය වශයෙන් සිඟමනේ නියැලෙන්නන් ලෙසට හඳුනාගත හැකිය. එවැනි ඇතැම් පිරිස් විවිධ ජාවාරම් හා අපචාර ක්‍රියාවල නියැලෙන බවටද වාර්තා වේ. වාර්තා වන ආකාරයට කොළඹ ප්‍රදේශයේ යාචකයකුගේ දෛනික ආදායම රුපියල් හත් අට දහසකට වැඩිය. එවැනි ප්‍රදේශවල සිටින ව්‍යාපාරවල නියුතු ව්‍යාපාරිකයන් දෛනික අවශ්‍යතාවට මාරු මුදල් කාසි හා නෝට්ටු ලබාගන්නේ බැංකුවලින් නොව යාචකයන්ගෙන් බවද කියැවේ. මොවුන් අතර පාසල් වයසේ පසුවන දරුවන් ද සිඟමන් යෙදීම හරහා එම දරුවන්ට හිමි අධ්‍යාපන අයිතිය පවා අහිමි වී තිබෙන බව දකින්නට ලැබේ.
ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී සිටින රටේ අගනුවර ආශ්‍රිතව වෙනදා නොදුටු තරම් යාචකයන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබේ. එසේ අනුන්ට අතපා ජීවත් වන යාචකයන්ට වඩා ආර්ථික අපහසුතා මැද ජීවත් වන රැකියාවේ නියුතු පිරිස්හි දුක්ඛිත කතා එමටය. එම නිසා දිනපතා රැකියාවට යන එන නගරය දකින ජනතාව මේ යාචකයන් පිළිබඳ මනා අවබෝධයකින් සිටිති.
එබැවින් කලාතුරකින් නගරයට පැමිණෙන ඔබ මෙවැනි ජාවාරම්කරුවන්ට රැවටීමට ඉඩක් පවතී. ඖෂධ ලබාගැනීමට මුදල් රැස් කිරීමත්, සැත්කම් සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමත් වැඩි වශයෙන් දකින්නට ලැබෙන හිඟාකෑම් වන අතර එහි ඇත්ත නැත්ත හඳුනා ගැනීමද අසීරුය. මේ අතර විවිධ හේතු කියමින් සංවේදී කාරණා පෙන්වා දෙමින් කිරි දාන සඳහා සම්මාදම් අයැදීම සිඟමනේ වත්මන් ප්‍රවණතාවකි.
I සමන්ත ප්‍රදීප් විල්තෙර