2023 පෙබරවාරි 26 වන ඉරිදා

ටික ටික ගිනියම් වෙන මාර්තුව

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 196

ශ්‍රී ලංකාවේ වසන්තයට පෙර උදාවන මාර්තු මාසය වෙනදාට නම් සුන්දර මාසයකි. එහෙත් මෙවර මාර්තුව ගිනියම් මාසයක් බවට පත්වන බව නම් සහතිකය. මාර්තු මාසය විරෝධතා, වැඩවර්ජන, වැසි වසින මාසයක් බවට ඉඟි පළවෙමින් තිබේ. මහජන කැළඹීම්, වෘත්තීය සටන්, මැතිවරණ උණුසුම මාර්තුව ගිනියම් වීමට හේතුවයි.

බදු සංශෝධනයට එරෙහි සටන්, මැතිවරණය ඉල්ලා කරන සටන්, ජල, විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි සටන් මාර්තුවේදී ප්‍රබලව නැඟෙනු ඇති බව පෙනී යයි. මේ වනවිටත් බොහෝ වෘත්තීය කණ්ඩායම් මාර්තු මාසය පිළිබඳ ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. ගෙවී යන පෙබරවාරි අවසන් සතිය ජාතික විරෝධතා සතියක් ලෙස වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව නම් කොට තිබේ.

ඒ අනුව වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාද කියා සිටින්නේ මෙම සතිය තුළ ආණ්ඩුව සිය පණිවිඩය තේරුම් ගතයුතු බවයි. ආණ්ඩුව විරෝධතා සතිය පණිවිඩය තේරුම් නොගන්නේ නම් එළඹෙන මාර්තු පළමුවැනිදා සිට ඉතා දැවැන්ත විරෝධතා වෙත යන බව වෛද්‍ය විජේසිංහ මහතා කියා සිටී.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කියා සිටින්නේ  සියලුම වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් මාර්තුවේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවයි. සංශෝධනය හැකිලීමට අමතරව මෙම වෘත්තීය අරගල ජීවනබර වියදම අඩු කිරීම, විදුලිබිල පහත හෙළීම ආදිය මෙම වෘත්තීය සටන්වල තේමාවන් වනු ඇත.

මේ අතර මාර්තු විරෝධතා පිළිබඳ තවත් වෘත්තීය සමීති ගණනාවක් ඉකුත්දා අනතුරු ඇඟවූයේය. ඔවුන් සියලුදෙනාම ආණ්ඩුවට රතු එළි දල්වා සිටිති.

පසුගියදා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කියා සිටියේ බදු පනතේ සංශෝධනය වහාම හකුලා නොගතහොත් මාර්තු පළමුවැනිදා මෙරට සියලු ක්ෂේත්‍රවල වෘත්තීය ආයතන වසා දමා පාරට බසින බවයි.
ආණ්ඩුව ඉල්ලා සිටින්නේ වැඩවර්ජනයක් නම් මෙරට ආර්ථික මර්මස්ථාන වන විදුලිබල, වරාය, ජල, ඉන්ධන සියලු පාර්ශ්ව ඉදිරියේ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. 

නිසැක වශයෙන්ම පළවැනිදායින් පසුව උත්තර ලබාදෙන බවත්, ඒ වැඩේ හිතන තරම් ලේසි නොවෙනු ඇති බවත් කියා සිටියේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතාය. පළවැනිදා වන විට පිළිතුරු නොලැබුණහොත් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පිළිතුර ආණ්ඩුවට ලබාදෙනවා ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දැනට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටින වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන ආකාරයට අත්‍යවශ්‍ය සේවා සපයන බොහෝ වෘත්තිය කණ්ඩායම් මාර්තු පළවැනිදායින් පසුව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙනු ඇත. මේ හරහා මුළු රටම අකර්මණ්‍ය වීමටද ඉඩ තිබේ. මෙම තත්ත්වය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක.

මෙම වෘත්තීය සටන්වලට අමතරව විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ මහජන විරෝධතාද මාර්තු මාසයේ වර්ධනය විය හැකිය. ඉහළ දැමූ ගාස්තු සහිත බිල්පත් ජනතාව වෙත ලැබුණු පසු මෙම විරෝධතා තීව්‍ර වෙතැයි කියෑවේ. මේ සඳහා දේශපාලන පක්ෂවලද මැදිහත් වීමක් සිදුවිය හැකිය. විදුලි බිලට එරෙහිව මහජන විරෝධය මහමඟට ගමන් කිරීම මාර්තු මාසයේ විරෝධතා ගිනියම තවදුරටත් උත්සන්න කරනු ඇත.

මැතිවරණ සම්බන්ධ පවතින බාධාවන් හේතුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් මැතිවරණය ඉල්ලා මේ වනවිටත් විරෝධතා සංවිධානය කරමින් සිටිති. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව පෙනී යයි. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ගෙවී ගිය සතියේ මැතිවරණය කල් දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග කිහිපයක්ද ගෙන තිබුණි.

ඉදිරියේදී මැතිවරණය කල්දැමීමට එරෙහිව සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය එක්ව දැවැන්ත විරෝධතාවක් පවත්වනු ඇති බවටද ආරංචි පැතිර යමින් තිබේ. ඒ අනුව විපක්ෂයේ එම පොදු විරෝධතාද මාර්තු මුල් සතියේ සංවිධානය විය හැකිය. ඊට අමතරව මැතිවරණය ඉල්ලා රටපුරා බොහෝ නගරවල දේශපාලන පක්ෂ විරෝධතා ආරම්භ වී තිබේ. එම විරෝධතා මාර්තු මාසය පුරා පවතිනු ඇත.

යම් හෙයකින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිමක නිර්මාණය වුවද, මාර්තුවේ උණුසුම අඩු දැනෙනු ඇත. එවිට පක්ෂ දේශපාලන ගැටුම් මාර්තු මාසයේ දැක ගැනීමට අපට අවකාශ උදාවේ. දේශපාලන රුලි විරෝධතා සහ එදිරිවාදිකම් හේතුවෙන් මාර්තු මාසය උණුසුම් වනු ඇත. ඒ අනුව මැතිවරණ පැවැත්වුවද නොපැවැත්වුවද මාර්තු මාසේ දේශපාලන උණුසුමේ වෙනසක් නොවන බව සහතිකය.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02