2023 පෙබරවාරි 26 වන ඉරිදා

පුංචි ඡන්දය කල් ගියාම වෙනදේ

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 71

පළාත් පාලන ආයතනයක සභිකයන්ගේ ධුර කාලය වසර 4කි. එම කාලය අවසන් වීමට පෙර, ඡන්දයක් පැවැත්විය යුතුය. සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය මේවන විට අවසන්වී ඇති අතර දැනට ඒවා පවත්වාගෙන යන්නේ නිල කාලය වසරකින් දීර්ඝ කිරීමෙනි. එම කාලය ලබන මාර්තු 19 වැනිදායින් අවසන් වීමට නියමිතය. ඒ අනුව පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය. පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන කාලය තවත් දීර්ඝ කළ නොහැකිය. ලබන මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම දින නියම කළේ ඒ අනුවය.

ජනාධිපතිවරයා ඇතුළු වර්තමාන ආණ්ඩුව විවිධ අවස්ථාවන්හි පළාත්පාලන මැතිවරණය කල් දැමීමට විවිධ උපක්‍රම යොදන බවට විපක්ෂය චෝදනා කළේය.. එලෙස ප්‍රකාශ කිරීමට විවිධ සාධකද බලපෑවේය. මුලින්ම මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වූ පී.එස්.එම්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වූවාය. පවතින මූල්‍ය අර්බුදය මත මැතිවරණයට මුදල් ලබාදීම දුෂ්කර බව භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. රජයේ මුද්‍රණාලය වෙතින් තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් තැපැල් ඡන්දය 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම අනාවරණය කළේය. රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ ප්‍රමාණවත් තරම් මුදල් ලබාදී නොමැති නිසා තම ආයතනයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වී ඇති බවටය. ඉන් පසු ඇය වෙනත් ප්‍රකාශයක් කළාය. ඒ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නොමැති බවටය. ඒ සඳහා පොලිස් නිලධාරින් 65 දෙනකු අවශ්‍ය යැයි ඇය ප්‍රකාශ කර තිබුණාය. එහෙත් ඒ වන විටත් පොලිස් ආරක්ෂාව නොමැතිව දිස්ත්‍රික් 17ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබිණි. ඉතිරි ප්‍රමාණය මුද්‍රණය කිරීම සඳහා ගතවන්නේ දින පහක පමණ කාලයක් බවද ඇය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණාය. රජයේ මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දීම සඳහා දීර්ඝ කාලයක් පොලිස් නිලධාරින් එහි රැඳවීමට සිදුවන බවත් ඒ සඳහා නිලධාරින් සොයාගත යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබිණි. රජයේ මුද්‍රණාලයට පොලිස් නිලධාරින් 65 දෙනකු ලබා දීමට අපොහොසත් පොලිස් දෙපාර්තමේන්තුව ජනරජ පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ යෙදවූ බවට වාර්තා විය. 

මේ අතර මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සහ රජයේ මුද්‍රණාලයෙන් ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බවටය. භාණ්ඩාගාර ලේකම්වරයා පළාත් පාලන මැතිවරණය සංවිධානය කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදා නොහැරි බවද, රුපියල් මිලියන 410..6ක මුදලක් ගෙවන තෙක් මුද්‍රිත ඡන්ද පත්‍රිකා ලබා දිය නොහැකි බවට රජයේ ම්‍රද්‍රණාලයාධිපතිනිය දැනුම් දුන් බවද එය මින් ඉහත පැවැති මැතිවරණවලදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය නොවන බවද මැතිවරණ කොමිසම එහි සඳහන් කර තිබිණි.. එමෙන්ම පොලිස්පතිවරයා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට අපොහොසත්ව ඇති අතර සිය රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ. ඒ සඳහා වන ගාස්තුවද තුන් ගුණයකින් ඉහළ දමා තිබිණි. මැතිවරණ රාජකාරි සඳහා යොදාගන්නා වාහනවලට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩිකරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් එයට පිළිතුරක් ලැබී නොමැති බවද එහි සඳහන්ය. මේ අතර පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ සමගි ජනබලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ''රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. 2023 අයවැයෙන් මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කළා. පාර්ලිමේන්තුව එවැනි තීරණයක් අරන් තියෙද්දි, මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට තිබියදී භාණ්ඩාගාර ලේකම්වරයා මේ කරන ඒකාධිපති ක්‍රියාව සාධාරණද? යනුවෙන් විමසා සිටියේය. මැතිවරණයට අයවැයෙන් වෙන් කළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට නිකුත් නොකිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සජබ මහලේකම්වරයා ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබිණි. 

පසුගිය 23දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඡන්දය කල් දමා නොමැති බවත් කල් දැමීමට ඡන්දයක් නොමැති බවත්ය. තමන් දන්නා පරිදි මේ වන තෙක් ඡන්දය සඳහා දිනයක් නොමැති බවත් ඇතැමුන් මාර්තු 9 එය පැවැත්වෙන බව සඳහන් කළද දිනය සම්බන්ධයෙන් නීත්‍යානුකූල දිනයක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පක්ෂව සහ විපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට  ඉදිරිපත්ව ඇති පෙත්සම් තුනද 23 වැනිදා විභාගයට ගැනිණි. රට ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවේ මැතිවරණයක් නොපවත්වන ලෙසට විශ්‍රමික යුදහමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් රිට් පෙත්සමක්ද, මැතිවරණයට අවශ්‍ය අරමුදල් හා ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් මාර්තු 9 දාට ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය පවසමින් මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ මෝසම හා පළාත් පාලන මැතිවරණයට රාජ්‍ය නිලධාරින් සිදුකරන බාධාකිරීම් වළක්වාලීමේ නියෝගයක් ඉල්ලා සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් විසින් ඉදිරිපත් කළ පෙත්සමද 23දා විභාගයට ගැනිණි. කර්නල් වරයාගේ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබා දීම මැයි 11 දිනට කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පැවැත්විය නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්දැයි අප විමසා සිටියේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාගෙනි.
''නියමිත දිනයට ඡන්දය පැවැත්විය නොහැකි වුණොත් නීතිමය ප්‍රතිපාදන අනුව මාර්තු 9දා සිට  දින 21කට පසු මැතිවරණ කොමිෂන් සභාවට වෙනත් දිනයක් ප්‍රකාශ කළ හැකියි. එහෙත් එලෙස දිනයක් ප්‍රකාශ කිරීමෙන් පසුවත් නැවත වරක් මුදල් නොමැති බව පැවසුවොත් කුමක්ද සිදුවන්නේ? මැතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුවට ප්‍රතිපාදන අනිවාර්යෙන්ම තිබෙනවා. ලංකාවේ කිසිම දවසක සමෘද්ධිමත් ආර්ථිකයක් තිබුණු පසුබිමක් තුළ නොවෙයි මැතිවරණ පැවැත්වුණේ. 1970 සිටම ලංකාවේ මැතිවරණ පැවැත්වුණේ විශාල අයවැය පරතරයක් පැවති වාතාවරණයක් තුළයි. ලංකාවේ තියෙන්නේ බිලියන 5838ක අයවැයක්. මැතිවරණයකට වැය වන්නේ බිලියන 10යි. ඒ කියන්නේ 1.03෴යි. බිලියන 10ක් වැය කළා කියා රට බංකොලොත් වෙන්නේ නැහැ.  මැතිවරණයක් කල් දැමිය හැක්කේ හදිසි අවස්ථාවක් හෝ ජාතික ආපදාවක් පවතින්නේ නම් පමණයි. ඒ නිසා ආණ්ඩුවේ වගකීම වන්නේ හැකිනම් 9 වැනිදාටම මැතිවරණය පැවැත්වීමයි. මෙයට එකම විසඳුමයි තිබෙන්නේ. මැතිවරණය පැවැත්වීම සඳහා විධායකයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අධිකරණ නියෝගයක් ලබා ගැනීමයි. එසේ නොමැති වුවහොත් මේ විධායකය කිසි විටෙක මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ. මැතිවරණය පවත්වන්නෙත් නැහැ. එය නරක පූර්වාදර්ශක් මෙන්ම බරපතල අර්බුදයක්ද නිර්මාණය කරන්නක්. ඉදිරියේදී ඕනෑම මැතිවරණයකට මෙය  ආදේශ කළ හැකියි. අතීතයේ මෙවැනි අර්බුද නිර්මාණය වූ අවස්ථාවන්හි ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා විධායකයේ වැරදි තීන්දු නිවැරදි කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමිය නොහැකියි. ශ්‍රී ලංකාව විධායකයට අසීමිත බලතල පැවරෑ රටක්. ඒ නිසා විධායකය යම් දුරකට මැතිවරණ කල් දැමීමට කටයුතු කරාවි. එය ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මෙවර පළාත් පාලන මැතිවරණය යම් හෙයකින් කල් ගියහොත් ඒ සඳහා නෛතික ක්‍රියාමාර්ගවලට එළඹිය හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම තමයි මෙය විසඳාගත හැක්කේ. ඡන්ද අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බව 2001, 2016, 2017 වැනි කාලවල ශ්‍රේෂ්ඨාධිකරණය තම නඩු තීන්දු මගින් සනාථ කර තිබෙනවා යම් හෙයකින් මැතිවරණය නොපැවත්තුවොත් ජනතාව වීදි බසීවි. පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණ ඇතිවේවි. ඇතැම් විට අනීතික ක්‍රියාමාර්ගවලටත් පෙළඹේවි.'' යනුවෙන් සඳහන් කළේය.

මැතිවරණ කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ මෝසමේ සඳහන් වන පරිදි මැතිවරණය නිසි දිනයට පැවැත්වීමට බාධා එල්ලවී ඇත්තේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම, ඡන්ද පත්‍රිකා නිසි වෙලාවට ලබා නොදීම සහ අවශ්‍ය ඉන්ධන ලබා නොදීම යන කරුණුය. එලෙස මැතිවරණය පැවැත්වීමට බාධා කළ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත හැකිදැයි අප මංජුල ගජනායක මහතාගෙන් විමසා සිටියෙමු.

''ඒ සම්බන්ධයෙන් ගතහැකි මූලිකම ක්‍රියාමාර්ගය වන්නේ දැනට ශ්‍රී ලංකාවේ බලපවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන උල්ලංඝණය කළ බවට පවසමින් මැතිවරණ කොමිෂන් සභාව වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීම හා අධිකරණයට වාර්තා කිරීමයි එය ඔප්පු වුණොත් වසර තුනක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් එම නිලධාරින්ට පැනවිය හැකියි.''

පළාත් පාලන මැතිවරණය නියමිත දිනට නොපැවැත්වීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙලෙස සඳහන් කළේය. ''ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘතිය සඳහා මේ රටේ ජනතාවගේ මුදල් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් මේ වන විට වැය කර තිබෙනවා. යම් හෙයකින් මේ නාම යෝජනා අවලංගු කොට නව සීමා නිර්ණයට අනුව මැතිවරණය පැවැත්වීමට තීන්දු වුණොත් නැවත නාම යෝජනා කැඳවීමටත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදු වෙනවා. සැලකිය යුතු මුදලක් වියදම් කළාට පසු මැතිවරණය හකුලනවා නම් ඒ වියදම් සඳහා දේශපාලන නායකයන් සහ මැතිවරණයට බාධා කළ රාජ්‍ය සේවකයන් වගකිව යුතුයි.'' යනුවෙන් සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ යම් හෙයකින් මැතිවරණය නියමිත දිනට පැවැත්විය නොහැකි වුවහොත් දැනට භාරගෙන ඇති නාමයෝජනා මැතිවරණය පැවැත්වෙන තෙක් වලංගු වන බවටය. 2020 වසරේ මහ මැතිවරණය කැඳවීමෙන් පසු කොවිඩ් වසංගතය හේතුවෙන් මැතිවරණය කල් ගිය අතර පසුව එම නාමයෝජනා අනුවම මැතිවරණය පැවැත්වූ බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02