“සර් අපිට නියම එකෙක් අහුවුණා. මූ කුඩු බිස්නස් කරන්නෙ. ග්‍රෑම් 15ක් එක්ක අහුවුණේ. ඒත් සර් මූ මාර කතාවක් කියනවනෙ. මූ කියනවා සම්පත් මන්ත්‍රීතුමාගේ (මනඃකල්පිත නමකි) ගෝලයෙක්. ඒ නිසා අපිට අමාරුවේ වැටෙන්න වෙයි කියලා" යැයි සැකකරුව අත්අඩංගුවට ගත් සාජන්, පොලිස් ස්ථානාධිපතිවරයාට කීය.
කොළඹ ප්‍රදේශයට අලුතින් පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සාජන් ඇඟට පතට නොදැනී කීවේ සම්පත් මන්ත්‍රීවරයාගේ තත්ත්වය රටම දන්නා බැවිනි. ඊටත් වඩා මන්ත්‍රීවරයාගේ ඇමැතුමට සැකකරු නිදහස් කරන්න යැයි කීවොත් අමාරුවේ වැටෙන්නේ තමන් බවද ඔහු දැන සිටියේය. එම පොලිස් ස්ථානයට පැමිණි බොහෝ දෙනකුට සිදුවූයේ සම්පත් මන්ත්‍රීවරයා සමඟ හැප්පෙන්නට ගොස් ආ පයින් ගෙදර යාමටය. මේ සියල්ලම දන්නා නිසා ඇඟ බේරාගැනීමට සාජන් තත්ත්වය ස්ථානාධිපතිවරයාට පහදා දුන්නේය.
“සර්... මූව යවන්නද..?"
නිහඬව සිටි ස්ථානාධිපතිවරයා දෙස බලා සාජන් ඇසීය.
“මූ.... කොහෙද ඉන්නේ...? ස්ථානාධිපතිවරයා ඇසීය.
“සර් මූ ඉන්නේ ....... ඒ වත්තේ..." සාජන් කොළඹ වත්තක් ගැන කීය.
ස්ථානාධිපතිවරයා තම දුරකථනයෙන් ඇමැතුමක් ගෙන එස්.අයි. මුණසිංහ (මනඃකල්පිත නමකි) හට තම කාමරය වෙත එන ලෙස දැනුම් දුන්නේය. කාමරය වෙත පැමිණි මුණසිංහ ගරුසරුව ස්ථානාධිපතිවරයා ඉදිරියේ හිටගත්තේය.
“මුණේ... ඔයාගේ ටීම් එකකුත් එක්ක මේ සාජන් ගාව ඉන්න ඇකියුස්වත් අරන් ගිහින් ඒ පැත්ත සර්ච් කරලා කුඩු බිස්නස් කරන මහ එකාව අරන් එන්න.." ස්ථානාධිපතිවරයා කීය.
සාජන්ගේ ඇස් උඩ ගියේය. ඕ.අයි.සී මහත්තයා කළු ගලේ ඔලුව ගසාගැනීමට යන බවත්, ඒ ගලේම තමන්ගේ ඔලුවත් ගැසීමට යන බවත් සාජන්ට වැටහිණි. නියත වශයෙන්ම වන්නියට මාරුවක් බව සාජන් දැන සිටියේය. ඒත් බෑ කියන්නට බැරිය. ඒ නිසා කට පියාගෙන සාජන් එස්.අයි. සමඟ කාමරයෙන් එළියට යන්නට හැරුණේය.
“ආහ් මුණේ... යනකොට වෙපන් අරන් යන්න... මොකක් හරි වුණොත් අවශ්‍ය පියවර ගන්න. ඕඩර් එක දෙන්නෙ මම" ස්ථානාධිපතිවරයා කීය.
එස් අයි මුණේ සහ සාජන් මුහුණට මුහුණ බලා ගත්හ.
පැය දෙකක පමණ මෙහෙයුමකින් පසුව එස්.අයි. මුණසිංහ ඇතුළු කණ්ඩායම පොලිසිය වෙත ආහ. ඒ පැමිණියේ ලොකු කුඩු මෝරකුද සමඟය. රැගෙන ආ කුඩු මුදලාලි පොලිසිය සත පහකට මායිම් නොකර බැණ වදින්නට විය. ඒත් ඒ කිසිවක් කතා නොකර අත්අඩංගුවට ගත් අය කූඩුවට දැම්මේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහාය.
පළාත භාර ඩී.අයි.ජී මහතාගේ රුස්වීමකට ගොසින් එමින් සිටි ස්ථානාධිපතිවරයාට ඇමැතුමක් ලැබිණි. නන්නාඳුනන අංකයක් වුවත් ස්ථානාධිපතිවරයා ඇමැතුමට ප්‍රතිචාර දැක්වීය.
“ආයුබෝවන්..." කියන්නට කට ගත්තා පමණි.
“මේ මම කතා කරන්නෙ සම්පත්... තමුන් මගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ඇරස්ට් කරලා තියෙනවා. අන්න ඌව නිදහස් කරනවා..." ඇමැතුම මන්ත්‍රීවරයාගෙනි.
“මන්ත්‍රීතුමා... මොකටද ඇරෙස්ට් කරලා තියෙන්නේ..." ස්ථානාධිපතිවරයා ඇසීය.
“ඔය උන් කුඩු ගහනවා තමා. විකුණන්නෙ නෑ අයිසේ..."
“හරි මම පොලිසියට යන ගමන් ඉන්නෙ. ඔබතුමා තව පැයකින් ගන්නකො." ස්ථානාධිපතිවරයා කීය.
විනාඩි දහයකින් පොලිසියට පැමිණි ස්ථානාධිපතිවරයා ක්ෂණයකින් එස්.අයි. මුණසිංහ කැඳවා ප්‍රශ්න ඇසීය. එහිදී මුණසිංහ කීවේ සැකකරු කුඩු ග්‍රෑම් 150 ක් සහ සල්ලි ලක්ෂ 8 ක් සමඟ අත්අඩංගුවට ගත් බවය. ස්ථානාධිපතිවරයා වහාම සැකකරුට රැඳවුම් නියෝග ලබාගන්නා ලෙස එස්.අයි.ට උපදෙස් දුන්නේය. ඒ අනුව අදාළ වැඩ කටයුතු සඳහා එස්.අයි පිටව ගියේය.
පැය එකහමාරකට පසුව ස්ථානාධිපතිවරයාට නැවතත් ඇමැතුමක් ලැබෙන්නට විය.
“ඕ.අයි.සී මහත්තයා... මම සම්පත් මන්ත්‍රීතුමාගේ ලේකම් කතා කරන්නෙ... මන්ත්‍රීතුමා අහන්න කිව්වා අර වැඩේ මොකද කියලා..."
“කොයි වැඩේද" ස්ථානාධිපතිවරයා නොදන්නා සේ ඇසීය.
“අර අපේ එකෙක් අල්ලලා තියෙන්නෙ... අන්න ඒ කේස් එක" ලේකම්වරයා කීය.
“මේ මිස්ටර්... ඒ යකා කුඩු ග්‍රෑම් 150 ක් එක්ක අහුවෙලා තියෙන්නෙ. ඌව යවන්න බෑ. අන්න ඌට ඩී.ඕ ගැහුවා... උසාවි දාපුවම බේරගන්න. මන්ත්‍රීතුමාට කියන්න සොරි කියලා." ස්ථානාධිපතිවරයා ඇඟට පතට නොදැනී කීවේය.
අලුත් ස්ථානාධිපතිවරයාගේ හැසිරීම මන්ත්‍රීවරයාට නොරිස්සුවේය. මන්ත්‍රීවරයා දැඩි ලෙස කෝපයට පත් විය. මන්ත්‍රීවරයාගේ ගජ මිතුරකු ද වන පොලිසියේ ලොකුම පුටුවකට ඇමැතුමක් ගෙන ස්ථානාධිපතිවරයාට තමන් ගැන කියා දී ඔහුව තමන් හා මිතුරු කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. ඒ මන්ත්‍රීවරයාගේ ගෝලයන් විසින් සිදු කරන නීති විරෝධී වැඩ කටයුතුවලින් ඔවුන් බේරාගැනීම සඳහාය.
“අයිසේ බණ්ඩාර (මනඃකල්පිත නමක්)... තමුසේ කොහෙද ඉන්නෙ?” එලෙස ස්ථානාධිපතිවරයා දුරකථන ඇමැතුමක් දුන්නේ මන්ත්‍රීවරයාගේ මිත්‍රයකු මෙන්ම පොලිසියේ ලොකු පුටුවක අයෙකි.
“ගුඩාෆ්ටර්නූන් සර්... මම මේ පොලිසියට යන ගමන්... සර් කතා කළේ?” ඔහු පිළිතුරු දුන්නේය.
“මම තමුසෙව දන්නේ අද ඊයෙද... මම ඒ.එස්.පී කාලේ ඉඳලා තමුසෙව දන්නෙ. හැබැයි ගොයියෝ කොළඹ වැඩ කරන එක ලේසි නෑ. මම පෞද්ගලිකවම හොයලා බලලා තමුසෙව ගත්තෙත් අමාරු වැඩ කරන්න තමුසේ දක්ෂයා නිසා..." ලොක්කා කීය.
“තැන්කියු සර්... ඉතින් සර් හොඳින් ඉන්නවද? සර්ට පොලිසියෙම ප්‍රශ්නනේ..." ස්ථානාධිපතිවරයා කීය.
“ඔව් ඔව්... මේ ඒක නෙමේ... එනවා ඉක්මනින් මගේ බන්ග්ලෝ එක පැත්තට..." යැයි කියමින් ලොක්කා දුරකථනය විසන්ධි කළේය.
ඔහුගේ අණට කීකරු වූ බණ්ඩාර පැය භාගයක් තුළ ඔහුගේ නිවාසය වෙත පැමිණියේය. බණ්ඩාරව දුටු සරමක් ඇඳ සිටි පොලිස් ලොක්කා දොරකඩටම පැමිණ ස්ථානාධිපතිවරයාව පිළිගත්තේය. ස්ථානාධිපතිවරයා විමතියට පත් විය. ඒ වෙන කිසිවක් නිසා නොව ලොක්කා ලොක්කන්ගේ ද ලොක්කකු බැවිනි.
“අම්මේ බණ්ඩාර තමුසේ වෙනස් වෙලානේ... එනවා... එනවා..." ලොක්කා ස්ථානාධිපතිවරයාව බොහොම සුහදව පිළිගත්තේය.
නිවෙසට ඇතුළු වන විටම සාලය මැද ටිපෝවක බ්ලැක් ලේබල් බෝතලයක්, කජු පීරිසියක් හා සෝඩා තබා ඇති අයුරු බණ්ඩාර දුටුවේය. බණ්ඩාරට සැටියෙන් වාඩිවෙන ලෙස ලොක්කා ආරාධනා කළේය. දෙදෙනාම එකිනෙකාට මුහුණලා වාඩි වූහ. ලොක්කා කතාවට මුල පිරුවේය.
“බණ්ඩාර ඔයා හොඳට වැඩ කරනවා මම දැක්කා. හොඳයි... හොඳයි... ඒත් සමහර ප්‍රශ්න තියෙනවා බණ්ඩාර අපි මොළෙන් වැඩ කරන්න ඕන. මේවා අපි දාලා යන ඒවනෙ. යාළුකම් නැති කරගන්න බෑ. තේරුණාද?" ලොක්කා පැවසීය.
“ඔව් සර්... ස්ථානාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
හිස් වීදුරුවක් දික් කරමින් ලොක්කා බණ්ඩාර වෙත බ්ලැක් ලේබල් බෝතලය දිගු කළේ අඩියක් ගසන ලෙස ආරාධනා කරමිනි.
“අනේ මමත් ආසයි සර් එක්ක බොන්න. ඒත් සර් මම යුනිෆෝම් ඉන්නෙ. වෙන වෙලාවක එන්නම්..." බණ්ඩාර කීවේය.
“අනේ අනේ... විකාර නැතුව ගන්නව අයිසේ... අපි ඔහොමද බීලා තියෙන්නෙ..." ලොක්කා කීය.
“අනේ නෑ සර්. දැන් කට්ටියක් එනවා හම්බවෙන්න... ඒ නිසා බොන්න බෑ..." බණ්ඩාර පැවසීය.
ලොක්කා ඒ කතා තඹයකට මායිම් කළේ නැත. හිස් වීදුරුවට විස්කි ෂොට් එකක් හැළුවේය.
“ආහ් බණ්ඩාර මට තමුසෙට විශේෂ අමුත්තෙක් හඳුන්වලා දෙන්න ඕන. ඔයාගේ ඒරියා එකේ කෙනෙක්. රටටම වටිනා කෙනෙක්..." යැයි කියමින් ලොක්කා "සර්... එන්නකෝ" යැයි ලොක්කාගේ නිවෙසේ සිටි අයකුට ආරාධනා කළේය.
බණ්ඩාරගේ ඇස් උඩ ගියේය. ඒ නිවෙසේ සිට පැමිණි පුද්ගලයා දැකීමෙනි. ඔහු අන් කවරකු නොව සම්පත් මන්ත්‍රීවරයාය.
“හලෝ මිස්ටර් බණ්ඩාර... කොහොමද?" යැයි කියමින් සම්පත් මන්ත්‍රීවරයා බණ්ඩාර වෙත පැමිණියේය. බණ්ඩාර සිනාසී "මන්ත්‍රීතුමා" යැයි කීවේය.
සම්පත් මන්ත්‍රීවරයා බණ්ඩාර අසලින් වාඩිවෙමින්, ලොක්කා වෙත අත දිගු කරමින් "අයියේ මෙයා මාර පොලිස්කාරයෙක්... මම කියලත් අපේ එකෙක්ව එළියට දැම්මේ නෑ..." යැයි කියමින් සිනාසුණේය.
“ඔව්... ඔව්... මම මෙයා ගැන දන්නවා" යැයි ලොක්කා කීවේය.
කිසිදු ආරාධනාවකින් තොරව ඒ අසල තිබූ වීදුරුවක් ගෙන සම්පත් මන්ත්‍රීවරයා විස්කි පුරවා ගත්තේය. එසේ පුරවාගත් වීදුරුව ඉහළට ඔසවමින් "එහෙනම් අපේ යාළුකමට ජය වේවා... චියර්ස්" යැයි කියමින් බණ්ඩාර වෙත වීදුරු වද්දන්නට උත්සාහ කළේය. බණ්ඩාර වීදුරුව අතට ගත්තේ නැත.
“කෝ බණ්ඩාර ගන්නකෝ..." යැයි සම්පත් කීය.
“අනේ මන්ත්‍රීතුමා මම ඩියුටියකට යන ගමන් ඉන්නෙ. ඒ නිසා බොන්න බෑ..." බණ්ඩාර කීවේය.
“ආහ් හරි හරි... එහෙනම් අයියේ චියර්ස් කියමින් ලොක්කා සමඟ වීදුරුව හප්පාගත් සම්පත් විස්කි උගුරක් කටේ හලා ගත්තේය.
“සර් මම දැන් යන්නම්... වෙන වෙලාවක එන්නම්..." යැයි ස්ථානාධිපතිවරයා කීය.
“ඉන්නවා අයිසේ අඩියක් ගහලා යමු. ඕක කැන්සල් කරනවකෝ..."
“අනේ සොරි සර්... වෙන දවසක අනිවාර්යයෙන් එනවා." කියමින් බණ්ඩාර නැගිට්ටේය.
බණ්ඩාර සමඟ ලොක්කා හා මන්ත්‍රීවරයා මිදුල වෙත ආහ. එසේ පැමිණෙමින් වෙන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ලොක්කා තම අදහස එළියට දැමීය.
“බණ්ඩාර... ඔන්න දැන් දෙන්නා යාළුයි. සම්පත් මන්ත්‍රීතුමාට උදව් කරන්න. අනික කුඩුකාරයෝ අල්ලලා ඒක නවත්තන්න බෑ බණ්ඩාර... ඒ නිසා ෂේප් එකේ වැඩක් කරන් ඉන්නවා." කියමින් ඔහු හයියෙන් සිනාසුණේය.
බණ්ඩාර "හරි සර්" කියමින් යන්න හැරුණේය. සම්පත් බණ්ඩාරට අතට අත දීමට සැරසෙනවාත් සමඟ බණ්ඩාර එය නොදැක්කා සේ මගහැරියේය.
බණ්ඩාර එසේ හැරුණේ පොලිසියේ ලොක්කන් ගැන ඉතාම බරපතළ කලකිරීමෙනි. ඒ කලකිරීම බණ්ඩාර පිට කළේ එකදිගට සම්පත්ගේ ගෝලයන් අත්අඩංගුවට ගනිමිනි. බණ්ඩාරගේ මේ ක්‍රියාව අවට ජනතාව අගය කළ අතර ඒ සඳහා බණ්ඩාරට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු ත්‍යාගය වූයේ කොළඹ සිට සබරගමුවට මාරුවක් ලැබීමය. සම්පත් ඒ ගමනද ගියේ ඉතාම සතුටෙනි. එලෙස ගිය බණ්ඩාර එම ප්‍රදේශයේ දරුණු පාතාලයකු මෙල්ල කර සිරගත කළේය. එය ආන්දෝලනාත්මක සිදුවීමකි.
ඉහත කී කතාවේ ප්‍රධාන චරිතයක් වූ ලොක්කා අද වනවිට ජීවිතයෙන් සමුගෙන අවසන්ය. බණ්ඩාර සහකාර පොලිස් අධිකාරිවරයකු වී විශ්‍රාම ගොසිනි. මන්ත්‍රීවරයා අද දේශපාලනයෙන් ඉවත් වී සිටී. එහෙත් තවම ඔහු මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් රැසක චූදිතයෙකි.
I ගායන් ගාල්ලගේ