එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව දිරන කසළ භාවිතයෙන් නිපදවන පුනර්ජනනීය විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම පසුගියදා සිදු විය. මෙය සිදු කරනු ලබන්නේ කඩුවෙල මහ නගර සභාව මගිනි. නගරයේ එකතු වන සියලුම කැළි කසළ එකතු කොට මෙහිදී යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරයි. මෙය කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.
"2018 අවුරුද්දේ නගරාධිපති ධුරයට පත්වුණාට පසුව මෙම සංකල්පය ක්‍රියාවලියක් ලෙස ආරම්භ කළා. රටේ සියලුම පළාත් පාලන ආයතනවලට මෙම ව්‍යාපෘතිය කරන්න යැයි ආරාධනා කළා. නමුත් කිසිම පළාත් පාලන ආයතනයක් මෙම ක්‍රියාවලිය ආරම්භ කළේ නැහැ. මේ නිසා කඩුවෙල නගර සභාව මෙම ව්‍යාපෘතිය තෝරාගෙන එය සාර්ථක කර ගන්න අවශ්‍ය වටපිටාව, භූමිය සූදානම් කරල අපේ කටයුත්ත ආරම්භ කළා. අද වෙද්දි එය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙලා තියෙනවා. කසළ කියන්නෙ අපේ රටට විශාල ගැටලුවක්. කසළ නිසා කුණු කඳු නාය ගිහින් අපේ රටේ මිනිසුන්ගේ ජීවිත නැති වුණා. කසළ කඳුවලට ගිහින් දමන්නට විශාල මුදලක් වැය වෙනවා.
නමුත් මේ කසළවලින් විදුලිය නිෂ්පාදනයට අමතරව කාබනික පොහොර, දියර පොහොර නිෂ්පාදනය, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව ලැබී තියෙනවා. දෛනිකව කඩුවෙල නගර බල ප්‍රදේශයේ කසළ ධාරිතාවය ටොන් අසූවක් පමණ වෙනවා. ඒ සියල්ලම මේ වෙද්දි අපි කළමනාකරණය කරනවා. ඒවා නැවත විවිධ නිෂ්පාදන බවට පත් කරලා තියෙනවා. ඒ අනුව නොයෙක් නොයෙක් දෑ කරමින් අද වෙද්දි කඩුවෙල මහ නගර සභාව කසළ සම්පතක් බවට පත් කරගෙන තිබෙනවා." යැයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර කඩුවෙල මහ නගර සභාවට අයත් කසළ බැහැර කරන ලද්දේ කෙරවළපිටිය කසළ කන්දටය. ඒ සඳහා අමතර අති විශාල ප්‍රවාහන වියදමක් දැරීමට කඩුවෙල මහ නගර සභාවට සිදු විය. නමුත් මේ වනවිට ඒ සියලු මුදල් ඉතිරි කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. නගරාධිපති බුද්ධික මහතා පවසන පරිදි අද වනවිට කඩුවෙල මහ නගර සභාවේ ස්ථිර තැන්පත් ගිණුමෙහි කෝටි අසූවක් පමණ ගිණුම්ගතව තිබෙන අතර 2018 වසරේදී තමා මෙම ධුරය භාරගන්නා විට එහි රුපියල් කෝටි හයක බැංකු අයිරාවක් පැවති බවද ඔහු පවසයි. ඒ අනුව එකල ට්‍රුක්ටරයක ටයරයක් මාරුකර ගැනීමට, ඉන්ධන ලබාගැනීමට, ට්‍රුක්ටරයක් නැවත අලුත්වැඩියා කිරීමට හෝ මුදල් තිබී නැත. කෙසේ වුවද ඔහු පවසන්නේ කසළ කළමනාකරණය ඉතා සාර්ථක විසඳුමක් මෙන්ම එම ක්‍රියාවලිය ඔස්සේ ඉතා හොඳ ප්‍රගතියක් කඩුවෙල මහ නගර සභාව මගින් අත්පත් කරගෙන ඇති බවය.
අද වනවිට කඩුවෙල මහ නගර සභාව කසළ සම්පතක් බවට පත් කරගෙන අවසන්ය. නමුත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පළමුව කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවට නඩු දෙකක් පවරා තිබුණි. කසළ හේතුවෙන් කඩුවෙල නගරය පුරා දුර්ගන්ධයක් හැමූ අතර මැස්සන් ඇතුළු සතුන් හේතුවෙන් ඇතැම් තැන්වල ආපනශාලා, භෝජනාගාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් එකල උදා වී තිබිණි. නමුත් වර්තමානයේදී මෙම කසළ ව්‍යාපෘතිය පිළිබඳ කඩුවෙල පුරවැසියන් ඉතා සුබවාදී ආකල්පයක් දරන බව නගර සභාව කියයි. නගර සභාවට එල්ල වී තිබූ නඩු පවා ඔවුන් ඉල්ලා අස්කර ගැනීමෙන් එය පැහැදිලි වී තිබේ. මේ වනවිට නව කසළ ව්‍යාපෘතියට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. මෙම කසළ අංගනය තෙක් විහිදී ඇති මාර්ගය පවා එකල පටු මාර්ගයක් වුවද ජනතාවගේ කැමැත්තෙන් මාර්ගය ඉතා පහසුවෙන් ගමන් කිරීමට හැකිවන ලෙස පුළුල් කර ගැනීමට ඉඩ සැලසී තිබේ.
"මේ ව්‍යාපෘතිය අනුව අපි කඩුවෙල මහ නගර සභාවට අයත් ජනතාවගෙන් වර්ගීකරණය කෙරූ කසළ කොටස් දෙකක් ලබා ගන්නවා. ඒ අනුව දිරන කසළ සහ නොදිරන කසළ ලෙසට අපි වර්ගීකරණයක් කරනවා. ප්‍රවාහනයේදී කසළ ට්‍රුක්ටරයේම කොටස් දෙකකට බෙදා ගන්නවා. එය කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේදී නිෂ්පාදන ක්‍රියාවලියට යටත් වෙනවා. කඩුවෙල මහ නගර සභාව ලංකාවේ ඇති විශාලතම මහ නගර සභාවක්. වර්ග කිලෝමීටර් 87.7ක් පුරා විහිදෙන මහ නගර සභාවක්. බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 181ක් පවතිනවා. ඒ අනුව බත්තරමුල්ලට සේවාවන් ලබාගැනීමට ලක්ෂ ගණන් මිනිසුන් පැමිණෙනවා. එයද අයත් වන්නේ කඩුවෙල මහ නගර සභාවටයි. ඔවුන්ගෙන් ඉවතලන කසළ ප්‍රමාණයත් ඉතා විශාලයි. ඒ අනුව මෙය ඉතා සංකීර්ණ කටයුත්තක්. මේ ප්‍රදේශය පුරා කසළ එකතු කිරීම එතරම් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. මුලින් අපිට මේ සඳහා කසළ එකතු කරන්නට වාහන තිස් හතක් පමණයි අවශ්‍ය වුණේ. අද වෙද්දි එය වාහන හතළිස් පහ දක්වා වැඩි වී තියෙනවා. පසුගිය කාලෙදි ඉවත දැමූ වාහන කිහිපයක්ම නැවත අලුත්වැඩියා කොට අපි එයද මේ සඳහා එකතු කර ගත්තා." නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා සඳහන් කරයි.
කසළ කළමනාකරණයට ගෙන්වන සියලුම කසළවල බර කිරීමක් සිදු වේ. ඒ අනුව දිරන සහ නොදිරන කසළ වෙන වෙනම මැන බැලීමක් සිදු කරයි. කසළ බර කිරීමෙන් අනතුරුව ඒ සඳහා රිසිට් පතක් එම කසළ රැගෙන පැමිණි රථයට හිමිවේ. ඒ අනුව ට්‍රුක්ටරයෙන් රැගෙන පැමිණි කසළ ප්‍රමාණය නිසි පරිදි ගණනය වේ. අද වනවිට මේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ සේවකයන් දෙසීයකට පමණ රැකියා අවස්ථා ද හිමි වී තිබේ.
කඩුවෙල මහ නගර සභාව විසින් ඉවතලන කසළ සම්බන්ධයෙන් යෙදුමක් (App) ද හඳුන්වා දී ඇත. මෙය මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ එක්ව නිර්මාණය කෙරුණු යෙදුමකි. එමගින් තම නිවෙසට කසළ ට්‍රුක්ටරය පැමිණීමට නියමිත වේලාව, පැමිණීම නොපැමිණීම, ඒ වනවිට එම ට්‍රුක්ටරය පිහිටි ප්‍රදේශය ආදී තොරතුරු සජීවීව දැනගැනීමේ අවස්ථාව හිමි වේ. කසළ ට්‍රුක්ටර් අධීක්ෂණය කිරීම සඳහා නිලධාරියකු ද පත්කර තිබේ. එය 'Clean up App' නමින් හැඳින්වේ. අදාළ දිනයට ට්‍රුක්ටරය නොපැමිණියේ නම් ඒ සම්බන්ධව කඩුවෙල මහ නගර සභාව දැනුවත් කිරීමට හැකියාව පවතී.
"මීට අමතරව අපි කඩුවෙල මහ නගර සභාවේ 'කසළ පොළක්' පවත්වනවා. කඩුවෙල නගරයේ තැන් කිහිපයකට පෙර දැනුම් දීමක් කිරීමෙන් පසුව එම ප්‍රදේශයේ නිවෙස්වල වෙන් කරන ලද ප්ලාස්ටික්, පොල්කටු මෙන්ම වීදුරු බෝතල් ද ලබාගැනීම සිදු කරනවා. ඩෙංගු මර්දනයට වීදුරු බෝතල් විශාල ගැටලුවක්. ට්‍රුක්ටර්වලට වීදුරු බෝතල් ගන්නෙ නැති නිසා ජනතාව වීදුරු බෝතල් හිතුමතේට විසි කරලා දමනවා. එය ඩෙංගු මර්දන වැඩට විශාල තර්ජනයක්. මේ නිසා කසළ පොළ තිබෙන දිනවලදී ජනතාව සම්පූර්ණයෙන්ම ගෙවල් අස්පස් කරල දානවා. කසළ පොළ තුළින්ද කසළ කළමනාකරණය සඳහා බොහෝ කසළ ප්‍රමාණයක් එකතු වෙනවා. පාසල්වලට අපි කසළ පොළ රැගෙන ගියා. ඒ අනුව දරුවන් ගෙවල්වලින් වගේම පාසලෙන් එකතු කර අපිට බාර දෙන කසළවලට අපි යම් මුදලක් දරුවන්ට ලබා දෙනවා. ඒ සඳහා දරුවන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා ඒ ව්‍යාපෘතිය මඳක් ආපස්සට ගියා." කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ශ්‍රියානි පෙරේරා මහත්මිය දේශයට පැවසීය.
කසළ කළමනාකරණය මගින් බයෝ ගෑස් නිෂ්පාදනය හරහා විදුලිය නිපදවීම සිදු කරයි. මේ සඳහා විශාල පෙර සැකසුම් ටැංකි තුනක් යොදා ගනියි. එම ටැංකි තුනට බයෝ ගෑස් සඳහා අවශ්‍ය වන ඉඳුල් යෙදීම සිදු කරයි. දිරන කසළ වශයෙන් ඇති පොල් කටු වැනි දෑ මේ සඳහා යොදා ගැනීමක් සිදු නොවේ. පෙර සැකසුම් ටැංකියට යෙදූ කසළවලට සමාන දෙගුණයක් ජලය මේ ටැංකිවලට එක් කරනු ලබයි. මේ ජලය ලබාගන්නේ ද අසල ඇති කුඩා වැව් කොටසිනි. එම ද්‍රාවණය කුඩා ටැංකියට පොම්ප වේ. කාලයක් ගතවන විට කසළ ගතිය ඇති වැඩි කොටස ටැංකියේ ඉතුරු වන අතර දියරය පොම්ප මගින් වෙනත් කොටසට ශ්‍රාවය වේ. ටැංකියේ ඇති ඝන කොටස කොම්පෝස්ට් පොහොර සඳහා යොදා ගනියි. එයින් බයෝ ගෑස් (ජීව වායුව) නිපදවේ. ටික කලකින් මෙම ජීව වායුව බට හයක් මගින් එකතු කොට එක් බටයකට යොමු කරයි. ජීව වායු පෙරහන් පද්ධතියේ ප්‍රධාන කොටස් තුනකි. මෙම පද්ධතියේ අවසාන ක්‍රියාවලිය ලෙස උද්පාදක යන්ත්‍රය (Generator) ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය ලබාගැනීම සිදු වේ.
මෙම කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා දෛනිකව කසළ කිලෝග්‍රූම් 8000 – 10,000 අතර භාවිත වේ. එයින් දෛනික ජීව වායු උත්පාදනය ඝන මීටර් 500 – 700 අතර වේ. දෛනික දියර පොහොර ජනනය ලීටර් 5000 – 7000 අතර වේ.
මෙම නව කසළ කළමනාකරණ ව්‍යාපෘතිය කඩුවෙල නගර සභාවට පමණක් නොව සමස්තයක් ලෙස රටටම හොඳ ආදර්ශයකි. නමුත් තවමත් අනෙකුත් නගර සභා මෙවැනි සංකල්පයකට යොමු වී නැත. කෙසේ වෙතත් එවැනි ව්‍යාපෘති මගින් විශාල හිසරදයක්ව පවතින ඉවතලන කුණු කසළ මහ නගර සභාවට පමණක් නොව සමස්ත සමාජයටම සම්පතක් කර ගැනීමට හැකිවනු ඇත.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ