මෙවර පළාත් පාලන ඡන්දය පැවැත්වීමට දින නියම වී තිබුණේ එළඹෙන මාර්තු 9 වැනිදාටය. ඒ සඳහා ස්වාධීන කොමිෂන් සභාව සියල්ල සූදානම් කර තිබුණේය. එහෙත් ආණ්ඩුව හිතාමතාම කොමිසම වෙත මුදල් ලබා නොදී වංගු ගැසීම නිසා ප්‍රථමයෙන් නියම කරගත් පරිදි පෙබරවාරි 22,23,24 සහ 28 යන දිනයන්වල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය. තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් අවශ්‍ය බව කිවු මුද්‍රණාලයාධිපතිනිය ඉතිහාස ගතවෙන්නේ අත්පිට මුදලට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ එකම අධිපතිනිය ලෙසය. සම්ප්‍රදාය වන්නෙ මුද්‍රණයෙන් පසුව මුදල් ලබාදීම වුවත් මෙවර එසේ සිදුවූයේ නැත.
කෙසේ වෙතත් සම්ප්‍රදාය අනුව ඉක්මනින් මුදල් ලබාදෙන පොරොන්දුව මත ඇය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානම් වුවත් අදාළ මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව සැපයීම පොලීසිය විසින් මග හැරීය. මේ නිසා මුද්‍රණාලයාධිපතිනිය දෙවැනි හේතුව ලෙස එය ගත්තේය. එහෙත් පුදුමය මුද්‍රණාලය වෙනුවට අවසානයේ මුද්‍රණාලයාධිපතිනියගේ නිවෙස ආරක්ෂා කිරීමට පොලීසිය යෙදවීමය. ඒ අනුව බැලූ බැල්මට ඡන්දයට ආණ්ඩුව හතර අතින් බාල්දි පෙරලුවේ මේ රටේ ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසමිනි. එය තව තවත් තහවුරු වන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රකාශය හරහාය. එනම් ඡන්දයක් කල්දමා නොමැති බවත් එසේ කල්දැමීමට ඡන්දයක් නැති බවත්ය. එසේ කියන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය කොක් හඬලා සිනාසුණේය. එය සැබවින්ම ජනතාපරමාධිපත්‍යට හිනාවීමක් හා සමානය.
කෙසේ වෙතත් මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂයට ඇඟිල්ල දිගුකරමින් කීවේ ඡන්දය කල්දැමීමට ඔවුන්ද යෝජනා කළ බවය. ඒ සම්බන්ධයෙන් විපක්ෂය ඍජුව පිළිතුරක් ලබාදුන්නේද නැත. ඒ නිසා ඇත්ත මොකක්ද යන්න තවම දන්නේ නැත. කෙසේ වෙතත් මේ ලිපිය ලියන්නේ අහිමි ඡන්දයට දේශපාලන භූමියේ කුමක් සිදුවන්නේ කියා දැනුවත් කිරීම සඳහාය.
දැනටමත් විපක්ෂය විසින් ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් ජනතා උද්ඝෝෂණ රුසක් රටපුරා ආරම්භ කර ඇත. ඔවුන් විසින් ආරම්භ කරන ලද රුස්වීම්වලට අමතරව මෙලෙස උද්ඝෝෂණයක් නගරයෙන් නගරය සිදුකරගෙන යන අයුරු දැකගන්නට ඇත. සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් මේ ආකාරයෙන් උද්ඝෝෂණ සිදුකරන්නේ කරට කර සටන් වදිමිනි. විශේෂයෙන් ඔවුන් පැහැදිලිවම ඡන්දය කල්දැමීමට එරෙහිව පෙනී සිටින කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බව කිවයුතුමය. එනම් ආණ්ඩුව ඡන්දය කල්දැමීම සඳහා පිඹුරුපත් සකසන්න ලෑස්තිවූ මොහොතේ පටන් ඔවුහු අධිකරණය වෙත පවා ගොස් මැතිවරණය පවත්වන ලෙසට පෙත්සම් පවා ඉදිරිපත් කළහ.
කෙසේ වෙතත් මේ වනවිට මාර්තු 9 ප්‍රායෝගිකව මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ ගිලිහි ගොස් අවසන්ය. ඒ නිසා ඒ වෙනුවෙන් කුමක් කරන්නේද යන්න අපි විපක්ෂයේ බලවේගවලින් ඇසුවෙමු. විපක්ෂයේ සියලුදෙනාම මේ වනවිට සූදානම් වෙමින් සිටින්නේ ඡන්දය ඉල්ලා ජනතාව සමඟ පාරට බැසීම සඳහාය. ඒ සඳහා සමගි ජනබලවේගය දැනටමත් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සූදානම් කර ඇතැයි සඳහන් කළේය. එසේම අනුර කුමාර සිය වේදිකාවේ සඳහන් කළේ ඔවුන් කියන දවසට රටම පාරට බහින ලෙසය. ඒ සඳහා දැනටමත් කුඩා වශයෙන් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමින් ඇත. දැනගන්නට ඇති පරිදි විපක්ෂයේ බලවේග විසින් දැවැන්ත උද්ඝෝෂණයක් එක් දිනක සූදානම් කිරීමට සැලසුම් කර ඇති අතර එදින සියලු දෙනාම ගාලුමුවදොර වෙත රුගෙන ඒම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඒ සඳහා ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත් එක් කිරීම සඳහා පිරිසක් සූදානම් වන බවද දැනගන්නට තිබේ. ඒ තවත් බාහිර කණ්ඩායමක් විසින්ය.
මේ අතර අරගලයේ පිරිසද තවත් උද්ඝෝෂණ රුසක් ඡන්දය කල් යාම සම්බන්ධයෙන් උද්ඝෝෂණ දියත් කිරීමට සූදානම්ව සිටිති. ඔවුන් දැනටමත් අරගලය නියෝජනය කරන කණ්ඩායම් එක්ව සන්ධානයක් සකස් කර ඇති අතර ඒ හරහා උද්ඝෝෂණ මාලාවක් රටපුරා එකම දින ක්‍රියාත්මක කිරීමට සූදානම්ව තිබේ. කෙසේ වෙතත් එය කුමනාකාරයෙන් සිදුකරන්නේද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් තවම කිසිදු පක්ෂයක් අධිකරණයේ සහාය පැතීම සඳහා නොයන්නේ තවමත් ඡන්දය සම්බන්ධයෙන් නඩුවක් ක්‍රියාත්මක වන නිසාය. එම නඩුවේ තීන්දුව ලබන මැයි 11දා දක්වා කල් ගියේය. ඒ හේතුවෙන් අධිකරණයට යාමට තවම කිසිදු පක්ෂයක් තීරණය කර නැත. මේ අතර ස්වාධීන කණ්ඩායම්ද විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සිදුකිරීම ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් අවසන් තීන්දුව ගැනීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසම වෙතය. පවතින මුදල් හිඟකම සහ ඊට ආණ්ඩුව සහාය නොදීම මත මැතිවරණය මාර්තු 9දා පැවැත්වීමට ප්‍රායෝගිකව නොහැකි වී ඇත. ඒ සඳහා කොමිසම සූදානම් වුවත් ආණ්ඩුවෙන් ඊට සහායක් නැත. ඒ මුදල් නැති බව කියාය. විපක්ෂය පවසන්නේ ඒ නිසා මේ ඡන්දය කෙසේ හෝ දිනා ගතයුතු බවත්ය. එසේ දිනා නොගතහොත් මහමැතිවරණයත් ජනාධිපතිවරණයත් කල් යා හැකි බවත් ඔවුන්ගේ මතය වී ඇත. එයට හේතුව වී ඇත්තේ මුදල් නොමැති බවට සිදුකරන ප්‍රකාශය එම මැතිවරණවලට පවා ආණ්ඩුව විසින් යොදා ගනු ඇතැයි කියාය. ඒ නිසා මෙම මැතිවරණය සටන් කර හෝ ලබාගතයුතු බව විපක්ෂය අයගේ අරමුණ වී ඇත.
විපක්ෂය විසින් මැතිවරණය ඉල්ලා ජනතාව සමඟ සටන් කරන්නා සේම ඉදිරියේදී පාර්ලිමේන්තුව වර්ජනය කිරීමටද තීරණය කර ඇත. විශේෂයෙන් ආණ්ඩුවේ විශේෂ අවස්ථාවත් ජනධිපතිවරයා පැමිණෙන විටත් එම විරෝධයන් පෑමට තීන්දු කර තිබේ. එසේම තවත් කණ්ඩායමක් මැතිවරණයට මුදල් ලබාදීම සඳහා මනිඕඩර් යැවීමටද කටයුතු කර තිබේ. මේ සියල්ල මැතිවරණය කල්දැමීමට එරෙහිව සිදුකරන විරෝධතාවන්ය. ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ජනතාවට එසේ පාරට බැසීමේ අයිතිය ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මැතිවරණය සඳහා මුදල් වෙන් නොකළත් දැනට ආණ්ඩුව විසින් විවිධ උත්සව සඳහා වෙන්කර ඇති මුදල කෝටි ගණනකි. ඒ නිසා ආණ්ඩුව පවසන ඇතැම් කාරණ සත්‍ය නොවන බව බැලූ බැල්මට පෙනෙන දෙයකි.
I ගයාන් ගාල්ලගේ