2023 පෙබරවාරි 26 වන ඉරිදා

නිල් තල්මසුන්ට දැන් මිරිස්ස එපාවෙලා! වරද කාගෙද?

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 48

නිල් තල්මසුන් ඉතා සමීපව නැරඹීය හැකි මුහුදු තීරයක් ලෙස මිරිස්ස දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන් දැකීමේ සම්භාවිතාව සියයට අනුවකටත් වඩා වැඩිය. ඒ නිසා මිරිස්ස  මුහුදු තීරය නිල් තල්මසුන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත්තේය. ඒ මීට වසර දෙක තුනකට පමණ ඉහතදීය. එහෙත් මේ වනවිට මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන්  මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන්ගේ ගහනය අඩුවී ඇති අතර නිල් තල්මසුන් මිරිස්ස මුහුදු තීරය හැරයමින් ඇත්තේය. ඇතැම් පුද්ගලයන් නිත්‍යානුකුල නොවන අයුරින් කුඩා බෝට්ටුවලින් විදේශිකයන් රැගෙන ගොස් තල්මසුන්ට හිංසාවන අයුරින්  කිමිදීම් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ඇතමුන් තල්මසුන් සමඟ පිහිනමින් ඔවුන් අතපතා ගාමින්, කටයුතු කිරීම නිසා තල්මසුන් බියට පත් වී මිරිස්ස මුහුදු තීරය හැරයාමේ තත්වයක් උදාවී තිබේ.

මිරිස්සේ තල්මසුන් නැරඹීමේ සමය ආරම්භ වන්නේ නොවැම්බර් මාසයේ දීය. අප්‍රේල් මාසය දක්වා තල්මසුන් නැරඹීමේ සමය පවතින අතර මෙකී කාලය තුළ තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති. මෙවර සංචාරක සමය ආරම්භ වී මාස දෙකකටත් වඩා වැඩිකාලයක් ගතවී තිබුණද දෙස් විදෙස් සංචාරකයන්ට නිල් තල්මසකු දැකබලා ගැනීමට හැකිවී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරුකිමේ සංගමය පෙන්වා දෙන ආකාරයට   මීට පෙර සංචාරක සමයන් වලදී දින 150ක් තල්මසුන් නැරඹීමට ගියහොත් අඩුම තරමේ ඉන් දින 140 කදීවත් නිල් තල්මසුන් දැකබලා ගැනීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. සැබවින්ම මේ සඳහා හේතුවී ඇත්තේ සතුන්ට හිංසාවන පරිදි සිදුවන මිනිස් ක්‍රියාකාරකම්ද නැතහොත් වෙනයම් හේතුන්ද යන්න පිළිබඳ සොයා බැලීම සමුද්‍රජිවී විශේෂඥයන්ගේ වගකීමකි.

මෙය රටට ඩොලර් උපයාදෙන ප්‍රධාන මාර්ගයකි. මිරිස්සට විදේශිකයන්  පැමිණෙන්නේ නිල් තල්මසකු දැක බලා ගැනීම සඳහාය.  විදේශිකයන්  මිරිස්ස මුහුදු තීරයට පැමිණ නිල් තල්මසකු දැකබලා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් ආපසු  තල්මසුන් බැලීමට මිරිස්සට පැමිණෙන්නේ නැත. එසේ වුවහොත් එය බරපතල තත්ත්වයකි. රටට  අහිමිවන්නේ ඩොලර්ය. අනික් කාරණය වන්නේ තල්මසුන් නැරඹීම සඳහා විදේශිකයන් රුගෙන යාමේදී යාත්‍රා හිමියා විසින් එක් විදේශිකයකු සඳහා රුපියල් 7000ක මුදලක්  වනජිවී දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. තල්මසුන් නැරඹීමට නොහැකි වුවද එම මුදල යාත්‍රා හිමියා විසින් දැරිය යුතුවේ. මෙයද බරපතල ගැටලුවකි.

''මීට පෙර තල්මසුන් බැලීම සඳහා මිරිස්සට පැමිණි අවස්ථාවේ දී නිල් තල්මසුන් රෑනක්  දැක බලාගැනීමට හැකිවුණා. ඇත්තටම මිරිස්ස සුන්දර මුහුදු තීරයක්. නමුත් මේ වතාවේ අපිට එකදු නිල් තල්මසකුවත් දැකබලා ගැනීමට බැරිවුණා. ඩොල්පින්, මිනීමරු තල්මසකු පමණයි නැරඹීමට හැකිවුණේ. නිල් තල්මසුන්ගේ ගහණය අඩුවීම පිළිබඳ සොයා බැලීම  සමුද්‍රජිවී විද්‍යාඥයන්ගේ වගකීමක්. ඇත්තටම ලංකාව සංචාරය කිරීමට සුදුසු සුන්දර රටක්'' පුවත්පත් කලාවේදියකු වන ස්විඩන් ජාතික ලාස් ස්වානෝ අප සමඟ කීවේය.

අපේ සමහරුන් කරන වැරදි වැඩ එක හේතුවක්

මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරුකීමේ සංගමයේ සභාපති රංගන මනෝජ් මහතා කීවේ මෙවැනි කථාවකි.

''දැනට වසර තුනක පමණ සිට  මිරිස්ස අවට  මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගැවසීම අඩුවෙලා තියෙනවා. නිත්‍යානුකුල නොවන අයුරින් ඇතැම් පුද්ගලයන් කුඩා බෝට්ටුවලින් විදේශිකයන් රැගෙන ගොස් තල්මසුන් සමඟ කිමිදීමට පටන් අරගෙන තියෙනවා. මේ නිසා මෙම ව්‍යාපාරය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. තල්මසුන්ට හිංසාවන අයුරින් කටයුතු කිරීම නිසා තල්මසුන් බයවෙලා මිරිස්ස අවට මුහුදු තීරය අත්හැර ගිහින් තියෙනවා. දැන්  විදේශිකයන්ට පෙන්වන්න තල්මසුන් නැහැ. ඩොල්පින් පමණයි පෙන්වීමට හැකිවෙලා තියෙන්නේ. මුහුදේ නැති තල්මසුන් වෙනුවෙන් රුපියල් 7000ක මුදලක් විදේශිකයකුගෙන් අය කිරීම හරිම අසාධාරණයි. එම මුදල අඩුකරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දියවැල් රටාව අනුව තමයි තල්මසුන් අපේ මුහුදට එන්නේ උණුසුම් වතුර, කෑම සහ ගැඹුර නිසා තමයි  තල් මසුන් මිරිස්ස අවට මුහුදු තීරයට එන්නේ. 

දැන්නම් හුඟක්ම අඩුයි

තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැගෙන යන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මිරිස්සේ චන්දි අබේවර්ධන මහත්මියද අප සමඟ මේ ගැන කතා කළාය. මිරිස්සේ පළමු වරට තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් රුගෙන යන ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුවේද ඇය විසිනි. ඒ 2006 වර්ෂයේ දීය.‍

''2011 වර්ෂයේ ඉඳලා මිරිස්ස අවට මුහුදු තීරයේදී දක්නට ලැබුණු තල් මසුන් පිළිබඳ තොරතුරු අපි සටහන් කරගන්නවා. සතුන් කිදෙනෙක් දැක්කාද ආදී කරණු අපි දිනපතා සටහන් කරගන්නවා. මෙම වර්තා දිහා බැලූවිට නිල් තල්මසුන්ගේ ගහණය විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. මෙම සංචාරක සමයේදී නිල් තල්මසුන් දකින්නට ලැබුණේ ඉතා කලාතුරකින්. නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා තමයි තල්මසුන් බැලීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රුගෙන යන්නේ. දෙසැම්බර් 21 නිල් තල්මසුන් දෙදෙනකු දැක්කා. ඊටපස්සේ නිල් තල්මසකු දැක්කේ හරියටම මාසයකට පස්සේ ජනවාරි 21 දින. මීට පෙර සීසන්වල දී දින 150ක් තල්මසුන් බැලීමට ගියහොත් දින 140 කදීවත් නිල් තල්මසකු දක්නට පුළුවන්. නමුත් දැන් නිල් තල්මසකු දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්'' යැයි ඇය කීවාය.මේ සඳහා හේතුවූ කරුණු කාරණා  ගැන සමුද්‍රජිවී විද්‍යාඥයන් විසින් ගවේෂණය කළ යුතුයි.

සුද්දො අපට බැණ බැණ යනවා

මිරිස්ස ධීවර වරායේ තල්මසුන් බැලීම සඳහා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන බෝට්ටු හිමියකු වන ආර්. රාජසිංහ මහතා මෙසේ කීවේය.

''පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා තල්මසුන් විශාල ප්‍රමාණයක් මැරිලා ගියා. නිත්‍යානුකුල නොවන අයුරින් විදේශිකයන් රුගෙන මිරිස්ස අවට මුහුදු තීරයට තල්මසුන් බැලීම සඳහා යන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් විදේශිකයන් සමඟ දියට බැහැලා තල්මසුන් සමඟ පිහිනනවා. මේ නිසා තල්මසුන් බයවෙනවා. මිරිස්ස වරාය අවට සිටි නිල් තල්මසුන් සොයාගැනීම  ඉතා අපහසු තත්වයට පත්වෙලා තියෙනවා. විදේශිකයන්ට තල්මසුන් පෙන්වීමට නොහැකි වෙලා තියෙනවා. විදේශිකයන් කියනවා මිරිස්ස අවට තල්මසුන් නැහැ. බොරු කියනවා කියලා ඔවුන් අපිට කියනවා. තල්මසුන් බැලීම සඳහා යන බෝට්ටුවලින් කෝටි ගණනක මුදලක් වනජීවි දේපාර්තමේන්තුවෙන් එකතුකරලා ඇති. නමුත් ඔවුන්ගෙන් කිසිදු සේවාවක් වෙන්නේ නැහැ.'' හෙතෙම පවසයි.

I යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද උඩුගම රවි ලියනගේ