මුදල් මුද්‍රණය කිරීමේ බලය ශ‍්‍රී ලංකා මහ බැංකුවට පවරන කැබිනට් තීරණයක් ගැනීම ගැන ‘දේශය’ පසුගිය සතියේ වාර්තා කළේය. රජයේ වියදම් පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කර හෝ ආදායම සොයා ගැනීමට මුදල් අමාත්‍යංශය දරන පියවර එයින් වැළැක්වීම අපේක්ෂා කරන බව දැක්වේ. ආර්ථිකය පාලනය සඳහා රජය අනුගමනය කළ යුතු යෝජනා හඳුන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට තුළ භාවිතය සඳහා මුදල් මුද්‍රණය පාලනය කිරීම අවශ්‍ය බව පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් දක්වන පරිදි මුදල් මුද්‍රණයට පියවර නොගැනීමෙන් තවත් වටයකින් බැංකු පොලී අනුපාත ඉහළ යන්නට ඉඩ ඇත. දේශීය වශයෙන් තවත් ණය ගැනීමට රජයට සිදුවන බව ඔවුහු පෙන්වා දෙන බවද සඳහන්වේ.
දුෂ්කර ආර්ථික තත්ත්වයක පසුවන ශ‍්‍රී ලංකාව අභ්‍යන්තරික හා ජාත්‍යන්තර වශයෙන් දෙපැත්තකින් පීඩනයකට කොටු වී සිටී. රාජ්‍ය ආදායම පහත වැටීම රට තුළ ඇති ගැටලුවකි. ආදායම් උත්පාදන පියවරක් වශයෙන් වැට් බදු වැඩිකරන ලද අතර උපයනවිට ගෙවීමේ බදුද දරුණු ප‍්‍රතිශතයකින් නංවා ඇත. රට තුළ විශාල කැළඹීමක් එයින් ඇති කර තිබේ. ආණ්ඩුවට එරෙහිව විරෝධයක් ජනතාව පළ කරමින් සිටී. ජාත්‍යන්තර වශයෙන් නැගෙන පීඩනය සමබර කරන පියවරක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් අපේක්ෂා කරන අතර ශ‍්‍රී ලංකාව ගෙවිය යුතු ජාත්‍යන්තර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක්ද සාකච්ඡා කෙරෙමින් පවතී.
♦ කළත් නොකළත් මුදල් මුද්‍රණයෙන් පීඩාවක්
රජයේ මුදල් අවශ්‍යතා සඳහා අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම අවශ්‍යය. ඕනෑම රටක එය සිදුවන කටයුත්තකි. ආර්ථිකය ගැන තක්සේරුකර මුදල් අලුතින් මුද්‍රණය කිරීමේ තීරණ ගැනීමේ වගකීම මහ බැංකුවට පැවරේ. මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වී කටයුතු සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා හා දේශපාලන තත්ත්වය ගැන සලකා තීරණ ගැනීමට මුදල් අමාත්‍යංශයට පැවරෙන වගකීමකි. මැති ඇමැතිවරු ජනතා අවශ්‍යතා සම්බන්ධ ඉල්ලීම් කරනවිට එහි බර මුදල් අමාත්‍යංශයට බරකි. භාණ්ඩාගාරයේ මුදල් හිඟ නමුත් ජනතාව දුෂ්කරතාවයකට පත්කළ නොහැක. විශේෂයෙන් රජයේ සේවක වැටුප්, රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමේ පිරිවැය අඛණ්ඩව දරන්නට සිදුවේ.
අය වැය අනුව කටයුතු කළ යුතු මුදල් අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයේ ධනය අඩුවන පසු වානිජ බැංකු වලින් ණය ගැනීම අරඹයි. එදිනෙදා ගන්නා මුදල් නැවත පියැවිය යුතු නමුත් පොලිය සමඟ ආපසු ගෙවීමට වත්කම ප‍්‍රමාණවත් නොවීම ප‍්‍රශ්නයකි. මෙවැනි තීරණාත්මක අවස්ථාවක අලුතින් මුද්‍රණය කරන ලද නෝට්ටු සංසරණයට නිදහස් කෙරේ. එය සීමාව ඉක්මවන විට අධි සැපයුමක් වන අතර උද්ධමනයට හේතුවකි. භාණ්ඩ හා සේවා අවශ්‍යතා ඉක්මවා මුදල් සැපයීම අනතුරකි.
මහ බැංකුව සතුව මුද්‍රණය කරන ලද නෝට්ටු සංචිතයක් තිබේ. විනාශවන, ඉරි අපවිත‍්‍රවන නෝට්ටු ප‍්‍රමාණය සලකා වාර්ෂිකව අලුත් නෝට්ටු නිකුත් කිරීම මහ බැංකුවක කාර්යයකි. මුදල් ඉල්ලුම හා සැපයුම පාලනය කරන අතර එය උද්ධමනකාරී තත්ත්වයක් දක්වා ගමන් කිරීම වැළැක්වීමටද මහ බැංකුව උපායශීලීව කටයුතු කරයි. වෙළඳපොළ ගැවසෙන මුදල් සංචිතය ගැන අවධානයෙන් සිටීමෙන් එය කළ හැක. කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය රජය වෙනුවෙන් කරන හදිසි ඉල්ලීම් බැහැර කළ නොහැක. එහිදී මුදණය කර ආරක්ෂකාරීව පවත්වාගෙන යන තොගවලින් කාණ්ඩ වශයෙන් මුදල් නිකුත් කෙරේ. මුදල් මුද්‍රණය කළ යුතු අතර එය සීමාවකට යටත් කිරීම අවශ්‍ය කෙරේ. විද්‍යාත්මකව සලකා බලා මුදල් නිකුතුවද වැදගත්වන අතර ශ‍්‍රී ලංකාව වැනි රටවල් අවශ්‍යතාව සලකා සීමාවකින් තොර මුදල් නිකුත් කිරීම උද්ධමන ගැටලු ඇති කර ඇති බව පෙනේ.
♦ පොළිය ඉහළ නැගීම මුදල් අවශ්‍යතාවයේ ප‍්‍රතිඵලයකි
මහ බැංකුව අලුත් මුදල් නිකුත් කරන්නට කලින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වශයෙන් වානිජ බැංකු වලින් ණය ලබාගනී. දැනට ලබාගෙන ඇති ණය ගෙවීම අරමුණු කරගෙන ඒවා ගෙවන්නට නැවතත් එම ක‍්‍රමයටම ණය ගැනීම සිදුවේ. එය අඛණ්ඩව සිදුවන චක‍්‍රයකි. ණය ගෙවන්නට ණය ගන්නා ආණ්ඩු දරුණු ණය උගුලක පැටලෙන අතර ආණ්ඩු ඉල්ලා සිටින මුදල් සැපයීම සඳහා බැංකු තැන්පත් පොලිය නංවමින් ජනතාව සතු මුදල් එකතු කරගැනීම අරඹයි. දැන් සිදුවන තත්ත්වය එබඳුය. බැංකු පොළිය ඉහළය. සියයට 18-25 අතර වාර්ෂික ස්ථිර තැන්පත් පොලියක් බැංකු නියම කරමින් සිටී. මෙම මුදල් සැපයුම අනතුරුදායක අතර ඉදිරියේදී දිනෙන් දින ණයද පොලියද ඉහළට නගින්නට හේතුවකි.
ආණ්ඩුවේ ණය ගැනීම එක්තරා අවස්ථාවක දී සීමාව ඉක්මවන අතර සංවර්ධන කටයුතු වලට ප‍්‍රාග්ධනය වශයෙන් සැපයෙන බැංකුවල ධනය ආණ්ඩුවේ පැවැත්මට හැරවෙන අතර එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. ශ‍්‍රී ලංකාවේ දැන් පවතින රාමුව දෙස බලන ව්‍යවසාය හා ස්වයං රුකියා සඳහා යෙදැවිය යුතු වානිජ බැංකුවල ඉතිරිකිරීම් ආණ්ඩුවේ වියදම් සඳහා සම්පූර්ණයෙන්ම පාහේ ගැනෙන බව නිරීක්ෂණය කළ හැක. ව්‍යවසායකත්වය අඩාල වී ඇත. වැඩි පොලියකට ණය ගෙන ව්‍යාපාර කරගෙන යන්නේ කෙසේද?
බැංකුවලින් ගන්නා මුදල් පියැවීමට මුදල් මුද්‍රණය කර අලුත් නෝට්ටු නිදහස් කරන ආණ්ඩු බැංකුවල මුදල් ලබාගෙන උත්පාදන ශක්තිය ඇති කිරීමට බාධා කරයි. එය ආර්ථිකයේ විනාශකාරී තත්ත්වයකි. ඕනෑම ආකාරයකින් මෙම විෂම චක‍්‍රය බිඳ දැමිය යුතු අතර රජයේ ආදායම නැංවීම එය කළ හැකි එකම මාර්ගය වේ. අධික බදු පනවන අතර විදුලිය, ඉන්ධන, ගෑස් වැනි සහන මත පවත්වාගෙන ගිය සේවා අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීම එහි ප‍්‍රතිපලයකි.
♦ අධික මුදල් සැපයුමෙන් අමාරුවේ වැටුණ රටවල්
ජාත්‍යන්තර වාර්තා අනුව ලෝකයේ පළමු වතාවට මුදල් අධි සැපයුමකින් උද්ධමනයක් ප‍්‍රංශ විප්ලවය කාලයේ වාර්තා වී ඇත. 1944 වසරේ දී ග‍්‍රීසියේ අධි උද්ධමනයක් හටගත් අතර එයට හේතුවද මුදල් සැපයුම පාලනය නොකිරීම බව දැක්වේ. දින හතරකට වතාවක් භාණ්ඩ මිල දෙගුණයක් වී ඇත. මුදල් වටිනාකම හීන වූ අතර 1942 දී එවකට ග‍්‍රීසියේ භාවිතා වූ ඩ‍්‍රුක්මා නෝට්ටු අතර ඉහළම වටිනාකම 50,000 ක් වූ නමුත් 1944 දී එරට රජයට ඩ‍්‍රුක්මා ටිලියන සියයක් වටිනාකමැති නෝට්ටුවක් නිකුත් කරන්නට සිදුවීමෙන් අධි මුදල් සැපයුමෙහි බරපතලකම හඳුනාගත හැකිවනු ඇත. 1923 දී ජර්මනියේද ආදායම හිඟවීමෙන් පසු මුදල් සැපයුම ඉක්මවා ගොස් තිබුණ බව වාර්තා සඳහන් කරයි. අවසානයේදී අධි උද්ධමනය පාලනය කරගත නොහැකි වූ අතර දිනක උද්ධමන වර්ධනය සියයට විසි නමයක ප‍්‍රතිශතය ඉක්මවීය. රුසියාව, යුගෝස්ලාවියාව, බ‍්‍රසීලය, හංගේරියාව සහ අප‍්‍රිකානු රටවල් විශාල ප‍්‍රමාණයක් මෙම අනතුරට මුහුණ පා ඇත.
සිම්බාබ්වේ රාජ්‍යය මෑතකදී ජාත්‍යන්තර ප‍්‍රජාවට මුදල් අධි සැපයුම හා උද්ධමනය ගැන අමතක නොවන පාඩමක් උගන්වා තිබේ. 2008 වසරේ දී මුහුණ පෑ මෙම තත්ත්වය සමග සෑම පැය විසි හතරකටම වතාවක් භාණ්ඩ මිල දෙගුණයක් වී ඇත. උද්ධමනය මැන බලන ඒකකට බිලියන ගණනක් වූ අතර පසුව ආණ්ඩුව උද්ධමනය මැන බැලීම නතර කරන ලද බව සිම්බාබ්වේ මූල්‍ය වාර්තා දක්වයි. පාන් රාත්තලක මිල එරට මුදලින් මිලියන දෙකක් දක්වා වැඩිවීම විශ්වාස කළ නොහැකි තරම් බව සඳහන් කිරීම මෙහි දී වැදගත්වනු ඇත. සිම්බාබ්වේ රාජ්‍යය 1980 දී නිදහස ලබන අතර ඔවුන්ගේ මුදල් ඒකකයක වටිනාකම ඇමරිකානු ඩොලර් 1.25 කට බර තබා තිබුණි. එහෙත් 2006 වසරේ දී එරට මහ බැංකුව රජයේ නියමය පරිදි ටි‍්‍රලියන 60 මුදල් මුද්‍රණය කළ අතර අතිරික්ත ටි‍්‍රලියන විසි එකක් රටට මහා විනාශයක් කැඳවීය. 2008 අප‍්‍රියෙල් මාසයේදී සිම්බාබ්වේ මිලියන පනහක නෝට්ටුවකට ඇමරිකානු ඩොලර් 1.20 ක් ගෙවා ඇත.
♦ සමබර ආර්ථිකයකට ගැලපෙන උද්ධමන පාලනය
භාණ්ඩ හා සේවා මිල ඉහළයෑම උද්ධමනය වශයෙන් සැලකේ. 2022 අගෝස්තු මාසයේ දී වාර්ෂික උද්ධමනය සියයට හැත්තෑව ප‍්‍රතිශතය ඉක්මවා ගියේය. භාණ්ඩ මිල දෙගුණ තෙගුණ වූ අතර ආනයනන නතර කිරීම, විනිමය අනුපාතිකය හා මුදල් සැපයුම එහිලා බලපෑවේය. ජනතාවට විශාල පඩාවකට මුහුණ දෙන්නට සිදුවිය. කොවිඩ් වසංගත තත්ත්වය හා එයින් නිදහස්වන වහා ඇති වූ මෙම අධි උද්ධමනය මහජනතාව පාරට බැස විරෝධය පළකරන තත්ත්වයට පත් කළ බව මතක් කළ යුතුය. එම වසරේ අපි‍්‍රයෙල් මාසයේ දී තාවකාලිකව විදේශ ණය ගෙවීම අත්හිටුවවන ලද අතර එමගින් පීඩනයේ යම් කොටසක් මග හැරිණි. ජාත්‍යන්තර ආධාර ලැබීම සමග ආර්ථිකය අඩමාන තත්ත්වයකින් ගැලවී ඇති බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාතිකය සියයට හැට දක්වා පහත වැටී ඇති අතර කෙසේ වෙතත් සිම්බාබ්වේ, ග‍්‍රීසිය, ජර්මනිය වැනි රටවල ඇති වූ විනාශය සමග සැසඳිය නොහැකි බවද සඳහන් කිරීම අවශ්‍යය.
නිවැරදි ආර්ථික උපාය අනුගමනය නොකළහොත් අනතුරක් ඇත. අවදානම පහව ගොස් නැත. රජයේ ආදායම වැඩි කරගත යුතු අතර ආදායම හා වියම ගලපා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයකි. 2023 අය වැය පවා විශාල හිඟයක පවතී. බදු නැංවීම පියවරක් වූ නමුත් ජනතා විරෝධය මත ඇතැම් බදු සංශෝධනය කර තිබේ. සංශෝධනය කිරීම ආදායම් ඉලක්ක මග හැරෙන්නට හේතුවකි. රජයට ආදායම් ලබාගත හැකි අලුත් මාර්ග ගැන අවධානය වැදගත්ය. දෙස් විදෙස් ආයෝජන එහිලා සලකා බැලිය යුතු අංශයකි. බදු ගෙවන්නට පොහොසත් නැති ජනතාව වෙත බර නොපැටවිය යුතු ආණ්ඩුව අලුත් ව්‍යවසාය ආරම්භ කරන්නට ඉඩ දී එයින් වත්කම් සොයා ගත යුතුව තිබේ. මුදල් මුද්‍රණය පැත්තකින් තබා රජයේ වියදම්ද පාලනය කිරීම අවශ්‍යය. අනවශ්‍ය වියදම් අඩු කිරීම රජයේ වගකීමකි. අමාත්‍යංශවල පිරිවැය අයවැයෙන් වෙන්කරන ලද සීමාවට වඩා අඩු කරන විශේෂ චක‍්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර එය අනුගමනය කිරීම මෙම මොහොතේ ඉටුකළ යුතු කරුණකි.
I සාරා කන්දෙගොඩ