මෑතක සිට රථවාහන අලෙවියේ ඉහළ පහළයාම් පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. පිරිසක් කීවේ වෙළඳපොළ යම් ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් පවතින බවකි. එසේ නොවන බව කී පිරිස් ද අපට මුණගැසුණි. ඒ අනුව මෝටර් රථ අලෙවිය සම්බන්ධ යථා තතු ඔබ වෙත සමීප කිරීමේ අරමුණින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු හා සංවාදයකට අපි එළඹියෙමු.
ගිහාන් පිලපිටිය යනු අලුත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. අප ඒ මහතාගෙන් අප වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳ විමසා සිටියෙමු.
''පහුගිය මාස හතර පහේ වෙළඳපොළ යම් කඩාවැටීමක් තිබුණා. දැන් අලුත් වාහන ආනයනය සිද්ධ වෙන්නෙ නෑ. අලුත් වාහන විදිහට තියෙන්නෙ, ලංකාවේ එකලස් කරන වාහන කිහිපයක් පමණයි. ඒ නිසා පාවිච්චි කරපු වාහන අතිනත මාරුවෙන එක තමයි සිද්ධ වුණේ. ඒත් එම වෙළෙඳපොළත් පහුගිය මාස හයක පමණ කාලය ඇතුළත කඩාවැටීමක් තිබුණා. ඒක සියයට දහයක, පහළොවක විතර කඩාවැටීමක්.''
වාහන ආනයනය නවතාලීම සමඟ, දේශීය වෙළඳපොළ තුළ අලෙවි වූයේ මෙරට දැනට භාවිතයේ පවතින වාහනයි. කෙසේ වෙතත් මිල ගණන් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් එම වාහන අලෙවියද සැලකිය යුතු ලෙස පහළ ගියේය. රට තුළ පවතින ආර්ථික දේශපාලන වටපිටාවද මීට හේතු වූ බව නොරහසකි.
වෙළෙඳපොළ වර්තමාන තත්ත්වය පිළිබඳව දිගින් දිගටම අපි ගිහාන් පිලපිටිය මහතාගෙන් විමසා සිටියෙමු.
''වෙළෙඳපොළ දැන් යම් ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ පසුගිය කඩාවැඩීම තවදුරටත්, ඒ ආකාරයෙන්ම සිද්ධවෙන්නේ නෑ. දැන් පොඩ්ඩක් මිල ගණන් ස්ථාවර වෙලා තියෙනවා.''
වෙළෙඳපොළ යම් ස්ථාවරත්වයක් කරා එළඹුණද තවදුරටත් නොවිසඳුණු ගැටලු මෙම ක්ෂේත්‍රය තුළ තිබේ. ලීසිං පොලී අනුපාතය සම්බන්ධ ගැටලුවද එවැන්නකි.
''දැන් අලුතින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නය, ගොඩක් දෙනා බලාගෙන ඉන්නවා වාහන ලීසිං පොලී අනුපාත අඩුවෙයි කියලා. දැන් 25%, 30%, 34% වගේ ඉහළට ප්‍රතිශතවලට ඒ ඒ අයත් ලීසිං පොලී අනුපාතය අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තුළ නැවතත් වෙළඳපොළ යම් සෙලවීමක් අපිට නිරීක්ෂණ වෙනවා.''
ගිහාන් පිලපිටිය මහතාගේ පැහැදිලි කිරීමට අනුව පෙනී යන්නේ, ලීසිං පොලී අනුපාතය මත පාරිභෝගිකයන් වාහන මිලදී ගැනීම පමා කරමින් සිටින බවයි. එම තත්ත්වය රථ වාහන වෙළෙඳපොළට අයහපත් ලෙස බලපෑම් කළ හැකිය. කෙසේ වෙතත් රටේ පවතින ආර්ථික වටපිටාව මත පොලී අනුපාතයන්ගේ ඉහළ පහළ යෑම් අප තවදුරටත් අපේක්ෂා කළ යුතුවේ.
නවතම බදු ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියේ බලපෑමද වාහන වෙළෙඳපොළ වෙත එල්ල වන බව හිටපු සභාපතිවරයාගේ පැහැදිලි කිරීම අනුව පෙනීයයි. ඒ මහතා පෙන්වා දෙන්නේ වාහන දෙක තුනක් පාවිච්චි කරනු ලබන පුද්ගලයන් සහ පවුල් බදුබර හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බවයි. ඒ හේතුවෙන් සිය අතිරේක වාහන විකිණීමට ඔවුහු උත්සාහ දරති.
''මේ බදු පැනවීම් එක්ක මිනිස්සුන්ගෙ පෞද්ගලික ආදායම අඩුවෙලා. ගොඩක් දෙනා වාහන දෙක තුන පාවිච්චි කරන්නෙ සල්ලි තිබෙන නිසාම නෙවෙයි. අපේ රටේ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්වලතා නිසා. බහුතරයක් දෙනා ඒ අයගේ දරුවන්ගේ පාසල් වැඩ, ගෙදර වැඩ කරගන්න තමා දෙවැනි වාහන පාවිච්චි කරන්නෙ. ඒත් වර්තමාන ආර්ථික වටපිටාවත් එක්ක මේ පිරිස, තමන්ගේ දෙවැනි වාහනය විකුණලා ඒ මුදල් යම් ආයෝජනයක් වෙනුවෙන් යොදවන්න උත්සාහ කරනවා.''
කෙසේ වෙතත් මෙවන් වටපිටාවක් මත සුපිරි වාහන මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබේ. මේ වනවිට සිය වාහනය විකිණීමේ අවශ්‍යතාවය ඇති අය කෙසේ හෝ එය සිදු කරමින් සිටී. එසේම ශ්‍රී ලංකාව හැරදා යන අයද සිය වාහන විකුණමින් සිටින බව ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරයි.
මේ අතර කෘත්‍රිම ලෙස වාහන මිල ඉහළ යාම සහ වාහන ආනයන අවස්ථා ඇහිරීම පිළිබඳවද අපි වැඩිදුරටත් සාකච්ඡා කළෙමු.
''අපි හිතුවට වාහන වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගියේ කෘතිමව කියලා. නැවත දවසක වාහන ආනයනය සිද්ධ වෙද්දී තේරුම් ගන්න පුළුවන් වෙයි තත්ත්වය. ඒ කාලේ රුපියල් 170 කට ඩොලරය තිබෙද්දී ගෙනාපු වාහන වල මිල, ඩොලරය රුපියල් 370 ක් වුණාම ඉහළ යනවා අනිවාර් යෙන්ම ''
මේ වනවිට ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම බලධාරීන් විසින් නතරකර දමනු ලැබ තිබේ. ඊට හේතුව අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයයි. රට සතු ඩොලර් පිටතට ඇදීයාම වළකා ගැනීමේ අරමුණ පෙරදැරිව පාලන අධිකාරිය මෙම තීරණයට එළඹියේය.
ඒ අනුව ගිහාන් පිලපිටිය මහතාගෙන් අප විමසා සිටියේ වාහන ආනයනය සම්බන්ධව ආනයනකරුවන්ට රජය සමඟ මේ මොහොතේ යම් සංවාදයක් පවතීද යන්නයි.
''ඇත්තටම ඒ හා සම්බන්ධ සාකච්ඡාවක් නොපැවැත්වෙන තරම්. මොකද හැම කෙනාටම මේ වෙලාවේ තේරෙනවා, රටේ අවශ්‍යතා සැලකුවම වාහන කියන්නෙ අවසාන ප්‍රමුඛතාවය කියලා.''
කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගෙන මෙම තත්ත්වය තේරුම් ගතයුතු බව පිලපිටිය මහතා කියා සිටී. වාහන ආනයනය මුළු මුලින්ම මුලින්ම නවතා දමා, පැරණි වාහන දිගින් දිගටම භාවිත කිරීම තුළින් අමතර කොටස් ආනයනයට විශාල මුදලක් වැයවන බව ඒ මහතා පෙන්වා දේ.
''පරණ වාහන දිගින් දිගටම භාවිත කිරීම නිසා, නඩත්තුවට විශාල වශයෙන් අමතර කොටස් අවශ්‍ය වෙනවා. එනිසා හැම අවුරුද්දෙම යම්කිසි අලුත් වාහන ප්‍රමාණයක් වෙළඳපොළට එකතු වෙන්න ඕනෑ කියන එක තමා මගේ නම් අදහස.''
මේ අතර පාලකයන් විසින් කලින් කලට වාහන ආනයනය සම්බන්ධව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණද රටට අයහපත් ලෙස බලපෑ බව ගිහාන් පිලපිටිය මහතා කියා සිටී. විශේෂයෙන්ම එක් අවස්ථාවක වාහනයක වටිනාකම නොසලකා, ධාරිතාව මත බදු පැනවීමට ගත් තීරණය හේතුවෙන් විශාල බදු ප්‍රමාණයක් රටට අහිමි වූ බව පිලපිටිය මහතා සඳහන් කරයි.
අවසාන වශයෙන් රථවාහන නියාමනය සහ ආනයනයේදී නිසි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම පිළිබඳවද අප සංවාද කළෙමු. පිලපිටිය මහතා පෙන්වා දෙන්නේ මෙම ක්ෂේත්‍රය සුරක්ෂිතව ඉදිරියට රුගෙන යාමට නම් නිසි නියාමන ක්‍රමවේදයන් සහ පැහැදිලි බදු ප්‍රතිපත්තීන් අවැසි බවයි.
I සංවාද සටහන: නිසල් ද සිල්වා