2023 පෙබරවාරි 26 වන ඉරිදා

ජගුවාර් ජෝඩුවකට අතපැන් වත්කළ සතුන්වත්තේ සෙනෙහසේ සතිය

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 90

පෙබරවාරි 14 වැනිදාට යෙදුණු "පෙම්වතුන්ගේ දිනය" නිමිති කොටගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය පුරා සතියක් විවිධ වැඩසටහන් දියත් කිරීමට තීරණය කර තිබිණි. ඒ අනුව එම සතිය පුරාවට දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා දේශීය විදේශීය සංචාරකයෝ බොහෝ පිරිසක් පැමිණ සිටියහ. විශේෂයෙන් මෙම විශේෂ සතියේදී දේශීය හා විදේශීය සත්ව ලෝලීන් බොහෝමයක් සත්වෝද්‍යානයට පැමිණ මෙම විශේෂ වැඩසටහන්වලට සහභාගී වූහ.

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් සත්වෝද්‍යානය පැවැත්වූ සුවිශේෂීම වැඩසටහනක් වූයේ ජාතික සත්වෝද්‍යානයේ වසර කිහිපයක් තනිකඩව දිවි ගෙවූ කළු ජගුවර් ගැහැනු සතා සමඟ නෙදර්ලන්තයෙන් සත්ව හුවමාරු වැඩසටහන යටතේ ලැබුණු පිරිමි ජගුවර් සතා එකතු කිරීමය. එමෙන්ම එම පිරිමි ජගුවාර් සතාට නම් තැබීමය.

"ජාතික සත්වෝද්‍යානයේ හිටපු කළු ජගුවාර් ගැහැනු සතාට නෙදර්ලන්තයෙන් ජගුවර් පිරිමි සතෙක් ගෙනාවා. මේ වෙද්දී ඒ සතා නිරෝධායන කාල සීමාව යටතේයි පසුවන්නේ. තව දින කිහිපයකින් අපි ඒ සතුන් දෙදෙනාව එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. කොවිඩ් කාලයේදී නිසා මේ සතාව ගෙන්වීම වසර කිහිපයක් කල් ගියා. ඒ නිසා මේ දිනවල ඒ සතා පසුවන්නේ නිරෝධායන කාල සීමාවෙයි. ඒ අනුව තනිකඩව සිටි අපේ ජගුවර් ගැහැනු සතාට සහකරුවෙන් ගෙන්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් තමයි "පෙම්වතුන්ගේ දිනයට" සමගාමීව මෙම සතිය අපි "ආදරය" වෙනුවෙන් වෙන් කළේ.යැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරි ශාමල් සමරනායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව මෙම සතිය හඳුන්වන ලද්දේ "සතුන් සමඟ සෙනෙහසේ සතිය" නමිනි. සත්වෝද්‍යානය නැරඹීමට එන නරඹන්නන් බොහෝවිට සිතනුයේ සත්වෝද්‍යානයක් යනු සතුන් පමණක් නරඹා යන තැනක්, සතුන් බලා කෑම බීම කා යා හැකි තැනක්" කියාය. ඊටත් වැඩි රසාස්වාදයක් ලබාදීමට ජාතික සත්වෝද්‍යානය නිරන්තරයෙන් උත්සාහ ගනිමින් සිටී. සංරක්ෂණය වන සතුන් සහ වඳ වීගෙන යන සතුන් ආරක්ෂා කිරීමට ඔවුහු බැඳී සිටිති. මෙරට පුරවැසියන්ට ලෝකයේ ජීවත්වන අනෙක් සතුන් නැරඹිය හැකි ලංකාවේ ඇති එකම ස්ථානය ලෙසින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය හැඳින්විය හැකිය.

"සතුන් රැකබලා ගැනීම, සතුන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා. ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය සහ උසස් අධ්‍යාපනය ලබන සැමටම සතුන් සම්බන්ධයෙන් අවශ්‍ය අධ්‍යාපන දැනුම ලබාගැනීමට හොඳම ස්ථානය ලෙසින් ජාතික සත්වෝද්‍යානය හඳුන්වන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් ජනතාවට අපි නිසි අවබෝධයක් ලබාදිය යුතු වෙනවා. මේ අවස්ථාවේදී සතුන්ට ළංවෙන්නට සහ ඔවුන්ට කෑම ලබාදීමට අවස්ථාවද අපි ලබාදෙනවා. හැබැයි ඒ අපේ අධීක්ෂණය යටතේදීයි. මේ ආදරවන්තයන්ගේ දිනයේදී නිමිත්තෙන් සෙනෙහසේ සතිය තුළදීත් ඒ අවස්ථාව අපි ඔවුන්ට ලබාදී තිබෙනවා." ශාමල් සමරනායක මහතා වැඩිදුරටත් කියයි.

සත්වෝද්‍යානය නැරඹීමට එන නරඹන්නන්ගෙන් සමහරු කිසිදු අවසරයකින් තොරව සතුන්ට කෑම දැමීමට පුරුදුව සිටිති. තමන් විසින් කෑමට ගෙනා බිස්කට් පැකට්ටුවෙන් බිස්කට් එකක්, අයිස්ක්‍රීම් ටිකක්, කෙසෙල්ගෙඩියක් ඇතුළු කෑම සතුන්ට දීමට, ඔවුන්ගේ කූඩුවලට විසි කිරීමට ඇතැම්හු පුරුදුව සිටිති. ඒ අතරේ ඇතැමුන් බිස්කට් පැකැට්ටුවේ ඉවත දැමූ කොළය, අයිස්ක්‍රීම් කොළය, ඉටි කවරය පවා කූඩුවලට දමති. මේ සියල්ල නොකළ යුතු ක්‍රියාවන්ය. මෙය සතුන්ගේ ජීවිතවලට පවා තර්ජනයකි. මේ සෑම සතෙකුටම සත්වෝද්‍යානය විසින් අවශ්‍ය කෑම ලබාදෙනු ලබන්නේ ඉතා ප්‍රමිතියකින්, අවශ්‍ය ප්‍රමාණයකට අනුවය. එයද පෝෂණවේදීන්ගේ අධීක්ෂණයද ඇතැතිවය. මේ අනුව මෙලෙස සතුන්ට කෑම ලබාදීම කිසිසේත් නොකළ යුතුය. නමුත් ඒ සඳහා හොඳම අවස්ථාවක් උදා වී ඇත. සතුන්ගේ සමීපයටම ගොස් ඔවුන්ටම කෑම ලබාදීමට අවස්ථාව මේ වෙද්දී සත්වෝද්‍යානයෙන් සකසා දී තිබේ. ඒ සත්වෝද්‍යානයේ නිලධාරීන් විසින් ඔවුන්ට ලබාදීමට නියමිත තෝරාගත් ආහාර වන අතර නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ දිනවලදී ජිරාෆ්, අලින්ට, හිපෝ, මැකෝ ගිරවුන්ට ආහාර කැවීමට හැකියාව ලැබුණි.

මේ අතරේ ජාතික සත්වෝද්‍යානය නිරන්තරයෙන් නැරඹීමට කැමැති සත්ත්ව ලෝලීහු සිටිති. ඔවුන්ට මේ සතියේ ඉතා වටිනා වැඩසටහනක් ක්‍රියාත්මක වන සතියක් විය. මෙම සතිය තුළදී දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු අනිකුත් අනුබද්ධ ආයතන නැරඹීම සඳහා වසරකට කිහිපවතාවක් පැමිණෙන නරඹන්නන් හට විශේෂ කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර තිබිණි. ඒ අනුව සත්ත්ව ලෝලීන්ට යම් සහනදායී මුදලක් ගෙවා මෙම විශේෂ කාඩ්පත මිලදී ගැනීමෙන් ඕනෑම දිනයකදී නොමිලේ සත්වෝද්‍යානයට පැමිණ සතුන් නැරඹීමේ හැකියාව ලැබේ. පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සත්ව ලෝලියකු වන තම පෙම්වතාට හෝ පෙම්වතියට මෙම විශේෂ කාඩ්පත මිලදී ගෙන තෑගි දීමද සුවිශේෂී තෑග්ගක් ලෙස හැඳින්විය හැකිය.

මේ සෙනෙහසේ සතිය පුරාවට සත්වෝද්‍යානයට පැමිණෙන සත්ත්ව ලෝලීන්ට උරගයන් සමඟ ඡායාරූප ගැනීමේ අවස්ථාව උදා වී තිබිණි. ඒ වගේම මැකෝ සහ කොකටු කුරුල්ලන් සමඟද ඡායාරූප ගැනීමේ අවස්ථාවද උදා වීය. තරුණ සත්වවේදීන්ගේ සංගමය විසින් මේ සතිය පුරා ඇරඹූ "සතුන්ගේ රූප ඇඳීමේ" වැඩසටහනටද ඉතා හොඳ ඉල්ලුමක් පවතී. ලංකාවේ බොහෝ දෙනෙක් සර්පයන් මරති. විස නැති සර්පයන් පවා මිනිසුන්ගේ හිරිහැරවලට ලක්ව මරණයට පත්වෙති. මේ නිසා උරගයකු අතින් අල්ලලාවත් නැති, උරගයකු දුටු පමණින් බියට පත්ව සත්ව ලෝලීන්ට ඇනකොණ්ඩා, පිඹුරා වැනි විෂ සහිත උරගයකු ඇල්ලීමට සලස්වා දීමෙන් සතුන්ට ආදරය කිරීමට උරගයන් සම්බන්ධයෙන් ඇති බය මඳකට හෝ නැති කිරීමට හැකියාව ලැබේ. මේ කිසිදු උරගයකුගේ විෂ දළ කඩා නැත.

මේ අනුව සතුන් සමඟ සෙනෙහසේ සතිය වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණු සත්ව ලෝලීන්ට ඉතා අපූරු වැඩසටහනකි.


විශේෂ ස්තූතිය
දිනුෂිකා මානවඩු මෙනවිය (නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ජාතික සත්වෝද්‍යානය)
ශාමල් සමරනායක මහතා (සංවර්ධන නිලධාරි)

දිශානි ජයමාලි කරුණාරත්න  
සේයාරූ - සුමුදු හේවාපතිරණ