"හැමෝම කැමැති හෝටලයකින් රස කෑමක් කන්න. නාගරික වැඩි පිරිසක් කාර්යබහුලත්වය නිසා නිතර කෑම කඩවලින් කන්න පුරුදු වෙලා තියෙනවා. සමහර රස්සා කරන අයට ගෙදර කෑම කන්න ලැබෙන්නේ දවස් දෙකකට තුනකට වරක්. ඉතිරි වේල් අනිවාර්යයෙන් කඩෙන් කන්නම වෙනවා. එහෙම බලද්දි අපේ රටේ ආපන ශාලා කියන්නේ හොඳ රස්සාවක්. පාරිභෝගිකයෝ අඩුවෙන්නෙම නැති තැනක්. ඒ වුණාට ආපන ශාලාවල පිරිසුදුකම නම් අන්තිමයි කියන්නෙත් නිතර කඩෙන් කන පාරිභෝගිකයන්මයි. ආපන ශාලා පාරිභෝගිකයන් හැම කෙනෙක්ටම එක් වතාවක් හෝ තමන් ආපන ශාලාවකින් ගත්ත ආහාරවල මැස්සෝ, කැරපොත්තො, හූනො වගේ සත්තු දැකලා ඇති. එහෙම නැත්නම් පිළිණු වුණු ආහාර, පරණ වඩේ පැටිස් වැනි කෙටි ආහාර ලැබිලා ඇති. ආපන ශාලා විතරක් නෙවෙයි. බේකරිවල තත්ත්වයත් එමමයි. පරණ පාන් ඇඟේ ගහන බේකරි ඕන තරම්. සල්ලි දීලා පරණ පාන් නොකාපු ගෙදරකින් අබ ඇටයක් ගේන්න කිව්වොත් අබ ඇට හොයාගන්න නම් වෙන්නෙ නෑ. ඒ තරම් අන්තිම සවුත්තු තත්ත්වයක් ආපන ශාලා සහ බේකරිවල දක්නට පුළුවන්."
පසුගිය දිනක ආපන ශාලා හිමියන්ගේ සභාපතිවරයා එලෙස පවසා තිබිණි.
මෙරට ආපන ශාලා අතුරින් 11000ක් ඉතා අපිරිසුදු තත්ත්වයක පවතින බවද ඒ මහතා පවසා තිබිණි. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා පවසන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. ආපන ශාලා අතුරින් 18%ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ඔහු පවසයි.
මීට දින කිහිපයකට පෙර හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සංචාරක හෝටල්, ආපන ශාලා, බේකරි සහ ආයෝජන කලාපයට ආහාර සැපයුම් ආයතන ඇතුළු ස්ථාන 28කදී කළ පරීක්ෂාවකදී ස්ථාන 18කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තවත් ස්ථාන දහයකට රතු නිවේදන නිකුත් කිරීමටත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබුණි. එහිදී ශීතකරණවල අමු මාංස වර්ග සමඟ ශීත කළ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම, අපජලය නිසි ලෙස බැහැර නොකිරීම, කල් ඉකුත් වූ ආහාර ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය කිරීම, සේවකයන්ගේ වෛද්‍ය වාර්තා නොතිබීම, කැලි කසළ අක්‍රමවත් ලෙස ගොඩගසා තිබීම ඇතුළු චෝදනා යටතේ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පවරනු ලැබීය.
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ආපන ශාලා හා හෝටල් නවීනත්වයට ගැලපෙන ලෙස සැකසිය යුතුව බවය. ආපන ශාලා සහ හෝටල් ක්ෂේත්රයේ කලක් තිස්සේ නිරත වන අසේල මහතා එම විෂය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වඩාත් යෝග්‍ය පුද්ගලයාය. එබැවින් හෝටල් කර්මාන්තයේ පිරිසුදුභාවය පිළිබඳ වත්මන් තත්ත්වය අපි ඔහුගෙන් විමසීමු.
"අපේ රටේ ආහාරපාන සේවා සපයන ක්රියාදාමයේ කිසිදු ආකාරයේ නියාමන වැඩපිළිවෙළක් නැහැ. දැනටත් ක්‍රියාත්මක වන්නේ 1980 සකසන ලද ආහාරපාන විධිවිධාන. ආපන ශාලාවල මුළුතැන්ගේ අපිරිසුදුයි. ඒ බව කිසිම හෝටල් හිමියෙක් කියන්නෙ නෑ. කුස්සියකට යන්න බෑ. සම්පූර්ණයෙන් ටයිල් කැඩිලා. හිරමනේ පොල් ගෑවට ඒක වහන්නෙ නෑ. වංගඩිය වහන්නෙ නෑ. මීයෝ ඉන්නවා. එක්ස්හෝස් ෆෑන් එකක් නෑ. මේ නිසා තමයි මුළුතැන්ගෙට ඇතුල්වීම තහනම් කියල බෝඩ් ගහල තියෙන්නේ. එහෙම බෝඩ් ගහන්න අයිතියක් නෑ. තමන්ට හදන ආහාරය බලන්න ඕනම පාරිභෝගිකයෙක්ට අයිතියක් තියෙනවා. ඒ වගේම බොහෝමයක් හෝටල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කරන්න ඕන. ඒවායේ වැසිකිළියකට යන්න බෑ. දුර්ගඳයි. අපිරිසුදුයි.
සේවකයෝ ගත්තම තාම ප්ලේන්ටි දාන මනුස්සයා වැරහැලි ඇඳගෙන වැඩ කරන්නේ. එහෙම නෙවෙයි. සේවකයන්ගේ ආකර්ශනීය බවක් තියෙන්න ඕන. ඔවුන් ඉන්නේ හොටු පෙරාගෙන, නාටු පෙරාගෙන. සේවකයන්ට නිදාගන්න තැනක් නෑ. නිදාගන්නේ මෙසේ උඩ. නැත්තම් බිම කාඩ්බෝඩ් එකක් දාගෙන. ඔහුට නිදාගන්න පුළුවන් වෙන්න ඕන නිල මැස්සෝ මදුරුවෝ නැතුව. එතකොට තමයි ඊළඟ දවසේ ප්‍රබෝධමත්ව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. සමහර තැන්වල අයිතිකාරයා කැෂියර් එක යට නිදාගන්නේ. අනික අධික රස්නෙ තියෙන තැන් තමයි කොත්තු ගහන සහ එළවළු රොටී දාන තැන්. එතැන අනිවාර්යයෙන් එක්ස්හෝස් ෆෑන් එකක් තියෙන්න ඕන. එතකොට වැඩ කරන කෙනාට දාඩිය දාන ප්‍රමාණය අඩුයි. පිරිසුදු බව රැකෙනවා. බේකරිවල ගෝනි කෑලිවලින් තමයි තැටි බාන්නේ. ඒවට තියෙනව හොඳ ග්ලව්ස්. ඒවා දෙන්න පුළුවන්.
ඒ නිසා හෝටල් සහ බේකරි සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් රජයේ මැදිහත්වීමෙන් තිබිය යුතුයි. හෝටල් සේවකයෙන් පිරිසුදු බව රැකිය යුතුයි. මසකට වරක් ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි. පිරිසුදු ඇඳුම් අදින්න ඕන. මේවා හදන්න මහජන පරීක්ෂවරුන්ට බලය තිබුණට ඒ අය කැෂියර් එකෙන් එහාට යන්නෙ නෑ. මේ සියලු කාරණා නිසා අද වැඩි පාරිභෝගිකයන් යන්නේ ඒසී කරපු පිරිසුදු ආපන ශාලාවලට විතරයි. සුපිරි වෙළෙඳසලුත් ආහාරපාන විකුණන්න පටන්ගෙන තියෙන්නෙත් ඒකයි. ඒ නිසා හෝටල් කර්මාන්තය නවීනත්වයට ගැලපෙන විදිහට මාරු නොවුණොත් කඩා වැටෙනවා." අසේල මහතා පැවසීය.
ආපන ශාලාවල සෞඛ්යාරක්ෂිත තත්ත්වය කනගාටුදායක තැනක පවතින බව ඕනම පොදු පුරවැසියකුට දැනුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය එතරම් නරක තත්ත්වයක නොමැති බවය. ඔහු පවසන පරිදි ලංකාවේ සියලුම ආපන ශාලා සහ බේකරි සියල්ල ආහාර පනත යටතේ නියාමනයකට යටත් වේ. බේකරි 20%ක් ඒ ප්‍රමිතියේ පවතින බවද ඒවා හොඳ තත්ත්වයේ පවතින බවද උපුල් රෝහණ මහතා පවසයි. 30%ක් බී වර්ගීකරණයට වැටෙන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ මිනිස් පරිභෝජනය නුසුදුසු තත්ත්වයේ පවතින්නේ 18%ක් තරම් අඩු ප්‍රමාණයක් බවය. ඒවා ඉහළ නැංවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් සිටින බව ඔහු කියයි.
ඉතා වේගයෙන් දියුණු වීමට හෝ වියදම් කප්පාදු කිරීමට අවම වියදම් යටතේ අඩු පහසුකම් යටතේ පිරිසුදුකම නොතකා කරන ව්‍යාපාර ඕනෑ තරම්ය. හබරාදුව ප්‍රදේශයේ කරන ලද වැටලීම් 28න් 28ම අවුල් තැන් බව පෙන්වා දිය හැකිය. එසේ නම් සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන්නේ කවරක්ද? අවසන් වශයෙන් පාරිභෝගිකයන් ලෙස අපට පැවසිය හැක්කේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ද ඒ වග යනුවෙනි.
I සකීෆ් සාම්