2023 පෙබරවාරි 26 වන ඉරිදා

කල්දාන මන්තරේ

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 74

මේ දවස්වල මාධ්‍යවල නැගලම යන කතාව මොකක්දැයි ඇහුවොත් ඇත්තේ එකම උත්තරයකි. ''ඡන්ද කල්දාලා නෑ: කල්දාන්න ඡන්දයක් නෑ.''

මේ කතාව කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ය. ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් මේ ප්‍රකාශය කරපු දවසෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඡන්දය කල් දමන්නැයි ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයකු ගොනුකළ පෙත්සම සලකා බැලීමට නියමිතව තිබුණි. එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලූ පෙත්සමද සලකා බැලීමට නියමිත විය. එසේ තිබියදී ජනාධිපතිවරයා ඡන්දය සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශයට රටේම අවධානය යොමුවිය. එම අවධානයෙන් උපරිම ප්‍රයෝජන ගත් ජනාධිපතිවරයා ඡන්දය කල්දාලා නෑ... කල්දාන්න ඡන්දයක් නෑ යන සිරස්තලය මාධ්‍ය හරහා ජනගත කිරීමට ක්‍රියා කළේය. මැතිවරණ කොමිසම නීත්‍යානුකූල ලෙස මැතිවරණ දිනයක් නම්කර නැතැයිද නිල වශයෙන් නම් කළ ඡන්ද දිනයක් නැතැයිද සඳහන් කළ ජනාධිපතිවරයා මාර්තු 09 ගැන සමහරු කිව්වත් ඒ ගැන නීත්‍යානුකූල තීරණයක් නැතැයිද කීය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඡන්දය කල්දමන්නැයි තමන්ගෙන් ඉල්ලූ බවත් ඔහු සඳහන් කළේ දේශපාලන ගුණ්ඩුවක් හැටියට එම අවස්ථාව යොදාගැනීමට බවද පෙනී ගියේය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාර්තු 09 වැනිදා දින නියම කරමින් ඊට අදාළ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම මගින් නියමිත දිනය ඇතුළත ප්‍රකාශයට පත්කර තිබුණි. මැතිවරණයට අදාළ ක්‍රියාදාමයටද ඇරඹුමක් ලබාදිමටද කොමිසම ක්‍රියා කළේය. එහෙත් ඡන්දය ප්‍රකාශයට පත්වෙන කාලයේ මුල සිටම එම ඡන්දය පැවැත්වීමට විවිධ බාධා එල්ල විය. එයින් ප්‍රධානම කාරණය හැටියට කැපී පෙනුණේ මේ අවස්ථාවේ ඡන්දය පැවැත්වීමට මුදල් නැති බවට ආණ්ඩුව කළ ප්‍රකාශයයි. භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදලින් මිලියන 100ක් මුදාහැරියත් ඉතිරි මුදල් මුදාහැරීමට කටයුතු කළේ නැත. ඊළඟට ඡන්ද පත්‍රිකා මුද්‍රණයද නතර විය. එයටද හේතු හැටියට දැක්වූයේද මුදල් නැතිකමයි. එය මීට පෙර පැවැති මැතිවරණවලට වඩා වෙනස් වීමකි. මීට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ඒ පිළිබඳ ගෙවීම් හරස් වුණේ නැත. මෙවර එය එසේ නොවීය. ඡන්දය නොපැවැත්වෙන ලකුණු හැම අතින්ම පහළ වෙද්දීත් මැතිවරණ කොමිසම තම ක්‍රියාදාමය නැවැත්වූයේ නැත. කොමිසම උසාවියට ගිහින් කිව්වේත් තමන් ඡන්දය තැබීමට සූදානම් බවය.

අන්තිමේදී ඡන්දයට වඩා ආර්ථිකය ඉස්මතු විය. අධිකරණය ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයට මුදල් ප්‍රතිපාදන සැපයීම පාර්ලිමේන්තු කටයුත්තක් හෙයින් ඊට මැදිහත්වීමට අධිකරණයට ඇති හැකියාව ඉතාම අවම බවයි. ඒ අනුව ජනාධිපතිවරයා රටේ ආර්ථිකය හේතුවෙන් මේ වෙලාවේ මැතිවරණයකට යා නොහැකි වන බවට කරන ප්‍රකාශවලට තල්ලුවක් ලැබී තිබේ. එහෙත් ඒ අනුවම යමින් ඊළඟට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයටද මේ සිරස්තලයම ලැබෙන්නත් බැරි නැත. සල්ලි නැත්නම් ඡන්දත් නෑ යන්න දිගටම මතුරන මන්තරය බවට පත්වුණොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එයින් සිදුවනු ඇත්තේ පිරිමැසිය නොහැකි හානියකි. එය යළි මකා ගත නොහැකි තරමේ හානියක් වීමටත් බැරි නැත. ස්වාධීන මැතිවරණ කොමිසම යන්න බෝඩ් ලෑල්ලට පමණක් සීමා වීමද විය හැකිය. මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම ජනාධිපතිවරයාට තීන්දු කළ හැකි නම් එසේ වීම ගැන පුදුම විය යුතු නැත.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ මෙසේය.

''සර්වජන ඡන්දය ජනතාවගේ අයිතියත්, නිසි කලට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශය කාරණාවක්. කෙසේ වුවත් මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමට මුදල් ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ පළාත්පාලන ඡන්දය පැවැත්වීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ අභිමතයට යටත්ව බවයි. ඡන්දය කල් දැමීමට මුදල් ඇමැතිවරයාට ඉඩදිය නොහැකියි. මේ තත්ත්වය අනාගතයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයටත් ඍජුවම බලපෑ හැකියි. ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඒ මැතිවරණ වුණත් කල් දැමීමට හැකියාව තිබෙනවා.''

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට පවතින හැකියාව ඉතාම අවම බව පෙන්වා දුන්නේ ඒ අවස්ථාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පෙර ජනාධිපති ධුරය දැරෑ ගෝඨාභය රාජපක්ෂ මහතාද වරක් නීතිය ගැන අපූරු කතාවක් කිව්වේය. ''ගම සමඟ පිළිසඳර'' වැඩසටහනකදී පැන නැගුණු ගැටලුවකදී ගෝඨාභය මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ වචනය රජයේ චක්‍රලේඛ වලට ඉහළින් තිබෙන බවය. ඔහු කෙළින්ම වගේ පෙන්වා දුන්නේ රජයේ කටයුතුවලදී තමන්ගේ වචනය නීතිය වන බවය. එහෙත් ඔහුගේ පාලන කාලය නීත්‍යානුකූලව අවසන් වීමටවත් ඉඩක් ජනතාවගෙන් ලැබුණේ නැත. රජයේ නිලධාරීන් ඇතුළු සේවක පිරිසද එම කතාව අසා ඒ වෙලාවේදී නිහඬව සිටියත් ගෝඨාභයට ධුරය අහිමි කළ අරගලයේදී ඔවුන්ගේ සහාය ලැබුණේ අරගලකරුවන්ටය. වචනය නීතිය බවට පත්වීම කෙසේ වුවත් ගෝඨාභයගේ ජනාධිපති ධුරය බේරා දීමට ඒ මොනම නීතියකින්වත් උදව්වක් ලැබුණේ නැත. වචනය නීතිය බවට පත් කිරීමට දරණ උත්සාහයේ අවසානය සිදුවන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවන ආකාරයට බවට එය කදිම උදාහරණයකි.

නීතිය පමණක් නොව අධිකරණය පවා තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට තම බලය පාවිච්චි කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ පරාජයට එය ලොකුම හේතුවක් වීම තවත් උදාහරණයකි. එවකට අග්‍ර විනිශ්චයකාර ධුරය හෙබැවූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එම ධුරය අහිමි කිරීමට පාර්ලිමේන්තුව හරහා ගෙන ගිය ක්‍රියාමාර්ගය ව්‍යවස්ථාවට අනුකූලව සිදු වූ බව මහින්දලා ප්‍රකාශ කළත් රටේ ජනතාව එය අනුමත නොකළ බව ඊළඟට තිබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනී ගියේය. හැබැයි මහින්ද බලයේ සිටියදී කවදාවත් ඡන්ද කල්දාන්න නම් ගියේ නැත. ඔහු කළේ ඡන්ද කලින්ම තැබීමය.

ඊළඟට ආපු ආණ්ඩුවේ ප්‍රධාන තේරීමක් වූ පොලිස්පති පූජිත් විජේසුන්දර නීතිය නවන හැටි ආණ්ඩුවට පෙන්වා දුන්නේය. එම නීතිය නැවීම කොතරම් දුරකට ගියාද කිව්වොත් පූජිත්ට තමන්ගේ ධුරය අහිමි වුණා පමණක් නොව හිරේ විලංගුවේ වැටීමටද සිදුවුණි. ඔහු ධුරයේ පිහිටවූ ආණ්ඩුවද පුංචි ඡන්දයේ පටන් ඔක්කොම ඡන්ද පරාද විය.

පුංචි ඡන්ද කල් දැමීමේ මෑතකාලීන උදාහරණයද එන්නේ එම 2015 ආණ්ඩුවෙනි. 2017 පුංචි ඡන්දය අවුරුද්දකින් කල්දමනු ලැබීය. ඒකට හේතු මොනතරම් ඉදිරිපත් කළත් සැබෑ හේතුව වුණේ ඡන්දය දිනාගත නොහැකි වනු ඇති බවට ලැබුණු තොරතුරුය. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂලා හිටියේ සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට විරුද්ධවය. ඔවුන් සටන් කළේ ඡන්දය හැකිතරම් ඉක්මණින් තියාගන්නය. අවුරුද්දකට පස්සේ තැබූ පුංචි ඡන්දය රටේ වෙනම රුල්ලක් හදා ආණ්ඩුවට යන එනමං නැති කළේය. ඒ එදාය.

අද කල්දාන්න ඡන්දයක් නෑ කියලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හැටියට කියද්දී මහින්ද සහ ගෝලයන් ඉන්නේ වික්‍රමසිංහ මහතා සමඟිනි. නිකම්ම නොවේ. ඒ කතාවට මහ හඬින් සිනාසෙමිනි. එදා පුංචි ඡන්දය කල්දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් හැටියට හැඳින්වූ රාජපක්ෂලා සහ ඔවුන්ගේ මැති ඇමැතිලා අද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්නයකට ලක්කරන කතාවක් වික්‍රමසිංහ මහතා කියන විට අත්පොළසන් දෙති. මෙය රටේ කරුමයක්ද ජනතාවගේ කරුමයක්ද කියන්න දන්නේ නැත.

I ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02