පුරාණයේ රජරට වැව් බැදි රාජ්‍ය යේ මී ගස අත්‍යවශ්‍ය ශාකයක් ලෙස සැලකුණි. වැව් ඉවුරුවල, කෙත්යායන්හි ලියැදි අද්දර මී ගස් යායන් සේ වැවී තිබුණි. මෑත අතීතයේ සිට උදාවූයේ පැරණි මී ගස් කපා දමන කාලයකි. මේ නිසා වැනසෙන මීගස් ආරක්ෂා කරගනිමින් දිවයින පුරා එම ගස් රෝපණය කිරීමේ ව්‍යාපාරයකට දකුණේ එක්තරා පුද්ගලයෙක් අග ගැසුවේය. ඔහු කීර්ති විජයවංශයි.
මුලින්ම මේ වැඩසටහන ආරම්භ කළේ 2013දී මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි. අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීම සඳහා සැප්තැම්බර් 17 වැනිදින මෙම වැඩසටහන පළමුවෙන් මාතර ක්‍රියාත්මක කෙරිණි.
"පස්සේ මට තේරුණා දැන් මී ගස සීඝ්‍රයෙන් විනාශ වී යන නිසා මී ගස් පිටුවීමේ වැඩසටහන වඩාත් පුළුල් කළ යුතු බවට. ඒ අනුව 2021 වර්ෂයේදී මවුබිමට හුස්මක් නමින් ජාතික ව්‍යාපාරයක් වශයෙන් මෙම වැඩසටහන රටපුරාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුවා. මාතර කිරල කැලේ අභය භූමියේ පැළ දහසක් රෝපණය කිරීම තුළින් ජාතික ව්‍යාපාරයට මුල පිරුවා. ඉන්පසුව මාතර දිස්ත්‍රික්කය පුරා, විහාරස්ථාන, ගොවි සංවිධාන, සමඟ එක්ව, දිස්ත්‍රික්කය පුරාවට මී පැළ සිටුවීම ආරම්භ කළා. මෙහි නිර්මාතෘ කීර්ති විජයවංශ දේශයට පැවසීය.
මාතරින් ඇරඹුණු මී ගස් රෝපණය ලංකාවේ විවිධ පළාත්වල වැව් ආශ්‍රිතව, කුඹුරු යායවල් ආශ්‍රිතව, විහාරස්ථානවල ඉඩමවල මී පැළ රෝපණය කරමින් මේ වනවිටත් ක්‍රියාත්මක වේ. සිටුවීම දීපව්‍යාප්තව සිදුකර කරමින් සිටී. වැඩිදුරටත් ඒ ගැන අදහස් දැක්වූ කීර්ති විජයවංශ,
"මේ වැඩසටහනට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. උතුරේ ඩෙල්ෆ්ට් දූපතේ, කන්කසන්තුරේ, නාගදීප විහාරස්ථානයේත්, මී පැළ සිටුවීම කළා. පසුව අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, රත්නපුරය, ගාල්ල, මොණරාගල දිස්ත්‍රික්කවලත් මී පැළ සිටුවීම සිදුවුණා.
අපේ අරමුණ ලංකාව පුරාම මී පැළ මිලියනයක් රෝපණය කර හරිත වියනක් තැනීමයි. මේ වනවිට මාතර පමණක් මී පැළ 10000ක් සිටුවා තිබෙනවා. රටපුරාම 60000ක් රෝපණය කර අවසන්. එක් දිස්ත්‍රික්කයක ප්‍රධාන විහාරස්ථානය මුල්කර ගනිමින්, මී පැළ තවාන් සැකසීමටත්, ඒ අනුව එම දිස්ත්‍රික්කයට අවශ්‍ය මී පැළ එම විහාරස්ථානය මගින් බෙදාදීමටත් සැලසුම් කර තිබෙනවා.
මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපගේ වැඩසටහනක් සමග එක්ව තම තවාන් තුළින් මී පැළ ලබාදීම සිදුකරනු ලබනවා. ඉදිරියේදී ගොවි බිමට මී ගසක් තේමාව යටතේ රටේ ගොවි සංවිධාන සමඟ එක්වී කුඹුරු ආශ්‍රිතව මී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය යටතේ. දැනට රටපුරා මව්බිමට හුස්මක් සාමාජිකයන් 22000ක් පමණ සිටිනවා.
පැරුන්නන් දිවිහිමියෙන් ආරක්ෂා කළ ශාක අතරින් මී ශාකයත් එකක් සේ සැලකේ. Madhuca longifolia යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මී ගසින් මිනිසාට ප්‍රයෝජන රැසක් ලැබුණි. නමුත් පසුගිය දශක කිහිපය තුළ මෙරට සිදුවුණු මහා වන විනාශය නිසා මී ගස්වල පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.
මීගස ඍජු කඳක් සහිතව මීටර් 20ක් පමණ උසට වර්ධනය වේ. මී මල්වල ඇත්තේ කහපාට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුළේ දිලිසෙන සුළු බීජ ඇත. මී මල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය. අප රටේ හමුවන පරිසර හිතකාමීම ශාකය ලෙස මී ගස සැලකේ.
මී ගස පුරාණ රාජ කාලයේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ වැදගත් ශාකයක් ලෙස සැලකුණු මී ගස කැපීම මරණ දඬුවම් ලැබීමට හේතුවක් විය. වගාවන්ට ස්වභාවිකම පොහොර ලබාදෙන මේ ගස ස්වභාවිකව පළිබෝධකයන් පාලනය කිරීමටද සහාය වේ. ආහාර වර්ග සැකසීමට මී ගසේ ඇතැම් කොටස් භාවිතා කිරීම සිදුවේ.
මී ඇටවලින් සිඳින තෙල්වලට ආර්ථිකමය වටිනාකමක් හිමිව තිබේ. එහි ඕලෙයික් අම්ලය, සිට්‍රික් අම්ලය, සහ ලිනොලයික් අම්ලය වැනි අම්ල වර්ග කිහිපයක්ම අඩංගු ය. මී තෙල්වල ගුණදායක බව නිසා මී තෙල් යොදා සකස්කරන ආහාර වර්ග අනුභව කිරීමෙන් කොලෙස්ටෙරෝල් සහ අර්ශස් වැනි රෝග තත්ත්වයන් සමනය කළ හැකි බවට මතයක් පවතී.
පුරාණයේ මී ගෙඩි සහ මල් භාවිතා කරමින් විවිධ කෑම වර්ග තැනූ අතර හැලප සහ කැවුම් සෑදීම සඳහා මී මල් භාවිත කෙරුණි. පැරුන්නන් මී ඇටවලින් තෙල් සිඳීමෙන් පසුව ඉතිරි වන මීමුරු තවත් ස්වභාවික ද්‍රව්‍ය සමඟ මුසුකොට දුම් ඇල්ලීම සිදුකෙරුණි. ඉන් අවට පරිසරයේ තිබෙන විෂබීජ විනාශ කිරීම සිදුවන බව සැලකුණි.
හෙළ වෙදකම සදහා මෙම මී ගස බොහෝ ප්‍රයෝජනවත්ය. මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් දේශීය ඔසු සෑදීමට යොදාගනී. රක්තපාත, චර්මරෝග, කැඩුම් බිඳුම්, සර්ප වෙදකම උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ග්‍රහනියේ රෝග, ක්ෂය රෝගය, මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සඳහා මී ගස යොදාගනී.
යටත් විජිත සමයේදී මී ගස රටෙන් තුරන් කිරීම සඳහා ඉංග්‍රීසින් උපක්‍රමශීලී ලෙස මී ගස කැපීමට අවසරය ලබාදුණි. වැව් අමුණුවලට, ඇනිකට් ලෑලි වශයෙන්ද, රජයේ අනුමත පළවෙනි ශ්‍රේණියේ ලීයක් වශයෙන්ද මී ගසට දැව වටිනාකමක් ලබාදීම සිදුවිය. මේ ගස කපා දැව වටිනාකමට විකිණීමට පෙළඹීම නිසා මී ගස ඉතා සීඝ්‍රයෙන් වඳවීම සිදුවිය.
I කුසුම්සිරි විජයවර්ධන