බත් පැකට්ටුවේ සිට සියලුම බේකරි නිෂ්පාදනවල මිල 10%කින් ඉහළ දැමුණේ විදුලි බිල වැඩි කිරීමත් සමඟිනි. ඊට පෙර ගෑස් මිල ඉහළ දැමීමත් අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් අධික වීමත් නිසා බත් පැකට්ටුවත් බේකරි නිෂ්පාදන සියල්ලත් දැඩි ලෙස උද්ධමනයට හසුවී තිබිණ. අහස උසට ගිය බිත්තර මිල හමුවේ ඉන්දියාවෙන් ආනයනය කොට රුපියල් 30ට බිත්තර විකිණීමට කටයුතු කරන බව පැවසෙන අතරතුර මේ විමසීම බත් පැකට්ටුවක හෝ බේකරි නිෂ්පාදනවල මිල සහනයක් ඇතිවේදැයි යන්න ගැනය.
ප්‍රෝටීන අවශ්‍යතාවය සමඟ පෝෂණීය ආහාර වේලක් සඳහා බත්පතට අඩු මුදලකින් සපයාගත හැකිව තිබුණේ බිත්තරය පමණි. එහෙත් රු.14ට පමණ පැවති බිත්තරය රුපියල් 65 දක්වා ඉහළ යාම තුළ බිත්තරය ජනතාවට සිහිනයක් වැනි විය. උද්ධමනය සමඟ බිත්තර මිල එතරම් ඉහළ ගිය විට ආහාර සහ බේකරි නිෂ්පාදන ක්‍රියාවලියට එල්ලවූයේ මරු පහරකි. මේ අතර රජය ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන බවට නිවේදනය කළේය. බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද අඩු කිරීමටත් ආණ්ඩුව පියවර ගත්තේය. එම ගාස්තු අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රට තුළ පවතින බිත්තර හිඟය නිසා එම තීරණය ගත් බව කී රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කීවේ බිත්තර හිඟය ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යාමට බාධාවක් බැවින් අඩුකළ බද්ධ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් අදාළ වන බවකි.
මෙසේ ආනයනය කරන බිත්තර තොග වශයෙන් බේකරි හා කර්මාන්තශාලා වෙත ලබාදෙන අතර එමගින් දේශීය බිත්තර නිෂ්පාදකයාට බලපෑමක් නොවන බව කියයි.
මෙසේ ඉන්දියාවෙන් ගෙන්වන බව කියන ලක්ෂ 20ක බිත්තර තොගය බේකරි හා කේක් නිෂ්පාදන සඳහා දින දෙකකට ප්‍රමාණවත් වනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුෂ කුමාර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිෂ්පාදිත දිනය කල් ඉකුත්වීමේ දිනය හා නිෂ්පාදන ආයතනය පිළිබඳව සඳහන්ව ඇති පිටරටින් ගෙන්වූ සැමන් වර්ග රැසක් ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වූ පසුබිමක කිසිදු සඳහනක් නොමැති බිත්තර හරහා සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ ඇති බවකි. බේකරි නිෂ්පාදන සඳහා ගන්නා අමුද්‍රව්‍ය, විදුලි බිල, ගෑස් ඉහළ යාම නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව පවතී. මේ නිසා දිනකට දෙකකට අඩු මිලට බිත්තර සැපයීම තුළ බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමක් හෝ බත් පැකට්ටුවක, කොත්තුවක හෝ ෆ්‍රයිඩ් රයිස්වල මිල කිසිසේත්ම පහළ නොදමන බව එම සංගමය පවසයි. එමෙන්ම තාවකාලික බිත්තර සැපයුමක් නිසා අනවශ්‍ය ලෙස මිල ගණන් වෙනස් කිරීමට නොහැකි බවත් එය ව්‍යාපාරික වශයෙන් බරපතළ ගැටලුවක් බවද එම සංගම් පෙන්වා දෙයි.
බිත්තර නැව තාම වරායේ
■ නිරුෂ කුමාර - සභාපති
සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය
ඉන්දියාවෙන් බිත්තර ගෙන්නුවා කියලා මේ රටේ කෑම පැකට් එකක හෝ වෙනත් ආහාර වර්ගයක මිල අඩුවීමක් වෙන්නේ නෑ. ආනයනික බිත්තරයක් රුපියල් 30ට දෙනවා කියලා කියනවා. අපි දන්නෙ නැ මේ ක්‍රියාදාමය කොපමණ කලක් කරනවාද කියලා. එක බිත්තර නැවක් ගෙන්නලා වැඩේ අත්හැරලා දාන්නත් ඉඩ තිබෙනවා. එහෙම වුණොත් මේ බිත්තර ටික රටට බෙදලා ආයෙත් මිනිස්සුන්ට කන්න බිත්තර නැතිවෙයි. අනික දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය විදිහට අපි මේකට විරුද්ධයි. මොකද බිත්තරයක ජීව කාලය තියෙන්නේ දින 21යි. එතකොට ගිය සෙනසුරාදා (25) ගෙනාපු බිත්තර නැව තාම වරායේ. මේ සතිය ගෙවෙන්න කලින් බිත්තර ටික බෙදන්න පුළුවන්ද? දවස් 21ක් ඇතුළත මේ බිත්තර පරිභෝජනයට අරන් ඉවර වෙනවාද? දේශීය නිෂ්පාදිත බිත්තරයක් නම් අපිට කඩෙන් ගන්න පුළුවන්. නරක් වෙලා තිබ්බොත් කඩෙන් මාරුකරලා දෙයි. රටින් ගෙනා බිත්තරයක් එහෙම විකුණන්න මාරුකරන්න වෙන්නෑ. කඩේට හරි බෙදාහරින අයට හරි බිත්තර මාරු කරන්න ඉන්දියාවට යන්නද? එතකොට මේ බිත්තර නිෂ්පාදිත දිනයක් දන්නෑ. නැවේ කී දවසක් තිබුණාද? මෙහෙ ශීත කාමරවල කොච්චර දවස් තිබුණද? අපි දන්නේ නෑ. බේකරි නිෂ්පාදනවලට තොග පිටින් බිත්තර ගන්නවා. ආනයනික බිත්තර නරක් වෙලානම් හොයාගන්න පුළුවන්. එහෙම අයින් කළාට කේක්වලට දාන බිත්තර හොයන්න අමාරුයි. එහෙම වුණාම පාරිභෝගිකයන්ට නුසුදුසු ආහාර අලෙවි කරන්නද? ඒ නිසා ආනයනික බිත්තර අපි ගන්නේ නෑ. අඩුම තරමේ සහතිකයක් අවශ්‍යයි අවුරුද්දක් හරි මේ මිලටම බිත්තර සපයනවා කියලා. එහෙම නැතුව බිත්තර ගෙනාවා කියලා කෑම මිල අඩු කරන්න බෑ. සැරින් සැරේට මිල වෙනස් කරන්න අපිට බෑ. මේක සෙල්ලමක් නෙමේ ව්‍යාපාරයක්. කර්මාන්තයක්. ආණ්ඩුව කරන විකාරවලින් ව්‍යාපාරිකයින් වැටෙනවා. පාරිභෝගිකයන්ට කඩේ බිත්තර අලෙවි කරන්නේ පෝෂණයට. නැතුව නිකං බිත්තර ගිහින් කන්නේ නෑ. කේක් පෝෂණයට කියලා කන්නේ නෑ. වැඩිපුරම බිත්තර භාවිත වෙන්නේ කේක්වලට. ඉතිරිවා කෙටි කෑමවලට.
බිත්තර ඉන්දියාවෙන් ගෙන්නුවාම කෑම මිල අඩුවෙනවා කියන්නේ හතර බීරි කතාවක්. මේ ගනුදෙනුව යට ලොකු කොමිස් කුට්ටියක් ඇති. මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා එයාලා ජාවාරම් කරනවා. පසුගිය දවස්වල තිබුණු පිටි මාෆියාව වගේම මේකත් ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ වැඩක්. බිත්තර බේකරි නිෂ්පාදනවලින් 50%ට 60%ට අවශ්‍යමයි. මේ මාෆියාව බේකරි කර්මාන්තයත් වට්ටන්නයි උත්සාහ ගන්නේ. ඒ නිසා මේක කරන්න එපා.
බත් පැකට් එකේ ගාණ අඩුවෙන්නෙ නෑ
■ අසේල සම්පත් - සභාපති
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ
රුපියල් 25ටවත් බිත්තරයක් දෙනවා නම් පුළුවන් කෑම එකක මිල අඩු කරන්න. නමුත් ඒ ගාණට බිත්තරයක් දෙන්නේ නෑනෙ. ආණ්ඩුව ගෙන්නපු බිත්තර නැව අතුරුදන් වෙලා තියෙන්නේ. තාම ඒක එළියට ඇවිල්ල නෑ. අපි කීවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ ගෙනාවා කියන බිත්තර කාලා පෙන්නන්න කියලා. ඒකත් එක්ක ආනයනික බිත්තර වැඩේ නැවතිලා වගේ තියෙන්නේ. අපි කියන්නේ බිත්තර ගේන එක නොවේ ග්‍රාමීය මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය වැඩිකරන්න ක්‍රමවේදයක් හදන්න කියලයි. ග්‍රාමීය ජනතාවට කුකුළු පැටව් හදන්න පහසුකම් දුන්නා නම් ගැටලුව විසඳෙනවා. ඒවා නොකර ආනයනය කරනවාලු. එහෙමනම් කරවල හාල්මැස්සන්වල බදු අඩුකරන්න. ධීවර සංස්ථාවෙන් අඩු මිලට මාළු සපයන ක්‍රමයක් හදන්න. එළවළු පළතුරු ලාබෙට ගන්න ක්‍රමයක් හදන්න. එහෙම නැතුව භාණ්ඩ මිල නියාමනයක් නැතුව කළුකඩ කාරයන්ට ගිය රටක සහන දෙන්න බෑ. අපි හැමදාම කියන්නේ පාරිභෝගික භාණ්ඩවලට අත්‍යවශය භාණ්ඩවලට උපරිම මිලක් නියම කරලා මේ සහන දෙන්න. රටින් බිත්තර ගෙනාවා කියලා බත් පැකට්ටුවේ ගණන අඩුවෙයි කියලා හිතන්න එපා.
අපට පහසුකම් දුන්නා නම් බිත්තරේ 35ට දෙනවා
කමල් පෙරේරා - සභාපති - දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය
මේ බිත්තර ගෙන්වීම තුළ කෑමවල මිල අඩුවීමක් කරන්න පුළුවන්කමක් නෑ. බිත්තර ප්‍රශ්නය ආපු වෙලේම අපි කෘෂිකර්ම ඇමතිට කීවා ලංකාව ඇතුළෙම මේ බිත්තර නිෂ්පාදනය කරගමු කියලා. ඒ සඳහා අපි ක්‍රමවේදයක් හදාගෙන යනවා. ඒකට ආණ්ඩුව මැදිහත් වෙලා කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහාය දෙන්න කීවා. අවශ්‍ය මව් කිකිළියො ගෙනත් දෙන්න කීවා පශු සම්පත් මණ්ඩලයේ වසා දමපු ගොඩනැගිලි තිබෙනවා. උපකරණ තිබෙනවා. ඒ ටික අපිට ලබාදෙන්න කීවා. නමුත් එහෙම ලැබුණේ නැහැ. ලංකාවේ අපිට දවසකට ලක්ෂ 85ක් විතර බිත්තර අවශ්‍යයි. නමුත් ලක්ෂ 35ක් විතර තමයි නිෂ්පාදනය වෙන්නේ. අපි කියපු විදිහට වැඩ කළා නම් මෙහෙම ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. අපිට අවශ්‍ය පහසුකම් ටික දුන්නා නම් බිත්තරය රු. 30ට 35ට දෙන්න තිබුණා.
රටේ තියෙන උද්ධමනයත් එක්ක ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා කියලත් රුපියල් 30ට බිත්තර විකුණන්න වෙන් නෑ. දැන් යන වියදම වැඩියි. කෑම, ප්‍රවාහන, වතුර, විදුලිය සේරම වැඩියි. මේ බිත්තර ආනයනයට පස්සෙ වෙන්නෙ දැනට ලංකාවේ තියෙන බිත්තර නිෂ්පාදනයත් නැතිවෙන එක. මේ බිත්තර කර්මාන්තය වැටෙන්න ගත්තෙ කොරෝනා උවදුරත් එක්කයි. වෙළඳපොළ වැහුනට කිකිළි බිත්තර දැම්මා. ෆාම්කරුවො බිත්තර අරගෙන ගෙදර දොරකඩට ඇවිත් අඩුවට විකිණුවා. ඒකෙන් කෑම ටික දුන්නා. කුඩා ෆාම් හිමියන් පස්සෙ මව් කිකිළියෝ ටික මසට විකිණුවා. ඒකෙන් කුකුළු මස් මිල බැස්සා. මේ විදිහට කුඩා ෆාම් ටික කඩා වැටුණා. මේ නිසා මහා පරිමාණ වෙළෙන්දො බිත්තර ජාවාරමක් කරගත්තා. පස්සේ කුඩා ෆාම් හිමියො ණයවෙලා නැවත ව්‍යාපාරය පටන්ගෙන තිබෙනවා. ඒ අස්සෙ බිත්තර ආනයනය කරන්න හදනවා. එතකොට ලංකාවේ බිත්තර ටික විකුණන්න බැරිවෙනවා. එතකොට ආයේම ජාවාරම්කරුවන්ගෙ හොද්ද බොරවෙනවා. පොඩි මිනිහාට අඩුවට කෑම එකක් කන්න වෙයි කියලා නම් හිතන්න බෑ.
■ සමන්ත ප්‍රදීප් විල්තෙර