2023 මාර්තු 05 වන ඉරිදා

කැමති දෙයක් කන්න නෑ: ලක්ෂ 05කට රස්සා අහිමියි- ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකුව කියයි

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 105

2022 වසරේ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් අවම වශයෙන් ලක්ෂ 5කට පමණ රැකියා අහිමි වී ඇතැයි ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා ලෝක බැංකු වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සඳහන් එම වාර්තාවට අනුව රැකියා අහිමිවූවන්ගෙන් වැඩි පිරිසක් කර්මාන්ත හා සේවා අංශයන්හි රැකියාවල නිරත කාන්තාවන්ය.

2021 සහ 2022 අතර කාලයේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව 13%සිට 25% දක්වා ඉහළ ගොස් ඇති අතර 2023දී එය තවත් 2%කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. දිළිඳු පිරිස්වල ජීවන වියදම 65%කින් ඉහළ ගොස් ඇති අතර දිළින්දන් නොවන පිරිසගේ ජීවන වියදම 57%කින් පමණ ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

නාගරික ප්‍රදේශයන්හි දරිද්‍රතාව 5% සිට 15% දක්වා තුන් ගුණයකින් වැඩිවී තිබේ. සමාජයේ පිළිගත් මට්ටමේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවද අවම වී ඇති අතර එම තත්ත්වයට අකමැත්තෙන් වුව හුරුවීමට මෙරට ජනතාවට සිදුවී තිබේ.
වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික කළමනාකරණය, දුර්වල ප්‍රතිපත්තිමය තීන්දු, කොවිඩ් 19 වසංගතය, මෙන්ම රුසියානු යුක්රේන අර්බුදය වැනි බාහිර අර්බුද ද මෙම තත්ත්වයට බලපා තිබේ. පවතින ආහාර අනාරක්ෂිතතාව මත ළමා මන්දපෝෂණය ඉහළ ගොස් තිබේ 2021 වසරේ මන්දපෝෂණ මට්ටම පැවතියේ 7.4% ලෙසිනි. එය මේ වන විට 9.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආර්ථිකය බිඳවැටීම සහ දේශපාලන අස්ථාවරත්වය ශ්‍රී ලංකිකයන්ගේ ජීවිත දුෂ්කරභාවයට පත්කර ඇති අතර ඉන් වැඩිම බලපෑම සිදුව ඇත්තේ දිළිඳු ප්‍රජාව වෙතය. පත්ව ඇති තත්ත්වයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට නව සංවර්ධන ආකෘතියක් අවශ්‍ය බව පෙන්වා දෙන මාටින් රයිසර් මහතා රට යළි යථා තත්ත්වයට පත් කිරීම අභියෝගාත්මක වන බවත් ඒ සඳහා සිදු කළ යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ කටුක වන බවත් සඳහන් කර තිබේ.

මේ අතර ලෝක ආහාර වැඩසටහන නිකුත් කර ඇති වාර්තාවක ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 33%ක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති අතර, සමස්ත ජනගහනයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර වර්ග පරිභෝජනය අඩු කර ඇතැයි සඳහන් කර තිබේ. 2022 දෙසැම්බර් මාසයට අදාළව ජනවාරි මාසයේ නිකුත් කළ ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් 35% ක් තම ආහාර වේල් ගණන අඩු කර ඇති අතර 43% කට ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් නොලැබෙන බවද   පෙන්වා දී තිබේ. 2019 වසරේ ආහාර අනාරක්ෂිතතාව පැවතියේ 9.1%ක් ලෙසටය. පසුගිය මාස හතර තුළ ආහාර අනාරක්ෂිතතා මට්ටම 30% සීමාව ඉක්මවා ගියේය.  

පසුගිය කාලයේ තොග වෙළෙඳුන්  ආහාර තොග දේශීය වෙළෙඳපොළට මුදා හැරීම හේතුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල යම් පමණකින් පහත වැටුණු අතර ඒ හේතුවෙන් ඔක්තෝබර් මාසයේදී ආහාර උද්ධමනය යම් පහත වැටීමක් පෙන්නුම් කළේය. ජීවනෝපාය සකසා ගැනීමේ සහ ආහාර පරිභෝජන රටාවේ වෙනස්කම් රැසක් සිදුවූ අතර බොහෝ නිවෙස්වල ආහාර පරිභෝජනය අවම විය. සෑම නිවාස 10කින් 7ක්ම මේ තත්ත්වයට මුහුණ දී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 68%කි. මෙම නිවෙස්වලින්ද වැඩි ප්‍රමාණයක් අවම ආහාර ප්‍රමාණයකින් දිවි ගෙවීමට හුරු වී සිටිති. ආහාර මිල  සහ ඉන්ධන මිල ජනතාවට බෙහෙවින් බලපා ඇති අතර සමස්ත ප්‍රජාවෙන් 58%ක් ණය පදනම මත ආහාර මිලට ගැනීමට හුරු වී සිටිති. 

පුරුෂ ගෘහමූලික නිවෙස්වලට වඩා කාන්තා ගෘහමූලික නිවෙස්වල මෙම තත්ත්වය වඩාත් උග්‍ර වන අතර ඒවායේ ආහාර අනාරක්ෂිතතාව 5%කින් වැඩිය. දැඩි ආහාර අනාරක්ෂිතභාවයට පත් කාන්තා ගෘහමූලික පවුල් ප්‍රතිශතය 1.3%ක් වන අතර පුරුෂ ගෘහමූලික පවුල් ප්‍රතිශතය 0.8%කි. 

පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා අනුව නාගරික ප්‍රදේශවලට වඩා වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල ආහාර හිඟය ඉහළ මට්ටමක පවතී. පසුගිය නොවැම්බරයේ හැර අනෙකුත් මාස 4 තුළ වතුකරයේ වඩාත් අහිතකර තත්ත්වයක් පැවතියේය. නොවැම්බර් මාසයේ වතුකරයේ අනාරක්ෂිතභාවයේ යම් පහත වැටීමක් පෙන්නුම් කළේ එම මාසයේ තේවතුවලින් වැඩි ආදායමක් ලබා ගැනීමට හැකිවීම හේතුවෙනි.

ආදායම් මාර්ගයන්හි විෂමතා පවතින අතර නොවැම්බර් සිට ජනවාරි අතර කාලයේ මෙම තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇත. මෝසම් සමයේ බලපෑම මත ඇතිවිය හැකි ගංවතුර වැනි ස්වභාවික උපද්‍රවයන් හේතුවෙන් මහ කන්නයේ වී අස්වැන්න අවම වීම, එළවළු නිෂ්පාදනය අවම වීම, ආනයන සීමා කිරීම හා ආර්ථික අර්බුදය වැනි කරුණු මත ආහාර අනාරක්ෂිතභාවය උග්‍රවිය හැකියැයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට වැඩිම ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති පළාත වන්නේ ඌව පළාතය. එය 43%කි. අවම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි. සබරගමුව පළාතේ 38%ක්ද, මධ්‍යම පළාතේ 34%ක්ද, නැඟෙනහිර පළාතේ සහ බස්නාහිර පළාතේ 33%ක්ද, දකුණු පළාතේ 31.%ක්ද, වයඹ පළාතේ 30%ක්ද, උතුරු මැද පළාතේ 29%ක්ද වශයෙන් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටිති. නොවැම්බර් මාසයට වඩා. දෙසැම්බර් මාසයේ 4%කින් සාමාන්‍ය ආහාර අනාරක්ෂිතභාවය අවම වී ඇති අතර. දැඩි ආහාර අනාරක්ෂිතභාවයද ඔක්තෝබර් සහ නොවැම්බරයට වඩා දෙසැම්බරයේ 0.9කින් පහත වැටී තිබේ. පෙර මාසවලට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ බස්නාහිර පළාත හැර අනෙකුක් සියලු පළාත්වල ආහාර අනාරක්ෂිතභාවය පහත වැටී ඇති අතර බස්නාහිර පළාතේ එය 3%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එම පළාතේ නිවාසවලින් 72%ක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව තිබේ. දෙසැම්බර් මාසයේ ඌව සහ සබරගමුව පළාත්හි වාර්තා වූ වැඩිම ආහාර අනාරක්ෂිතතාව 41%කි.

පසුගිය සය මසක කාලය තුළ දිවයිනේ ආහාර අනාරක්ෂිතතාව පැවතියේ. ජූනි මාසයේ 32%ක් ජුලි මාසයේ 42%ක්, අගොස්තු මාසයේ 37% සැප්තැම්බර් මාසයේ 32%ක්, ඔක්තෝබරයේ 36%ක්, නොවැම්බරයේ 37% සහ දෙසැම්බරයේ 33%ක් වශයෙනි. ග්‍රාමීයව ආදායම් මාර්ගයක් නොමැති සහ අවිධිමත් ආදායම් මාර්ග සහිත පවුල් වැඩි වශයෙන් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටින්නන්ය. නිවාස දහයකින් හතක් ආදායම් නොමැති පවුල් වන අතර නිවාස දහයකින් පහක් අවිධිමත් ආදායම් මාර්ග ඇති පවුල්ය. ස්ථිර ආදායම් මාර්ග ඇත්තේ නිවාස 10කින් 2ක පවුල්වලටය.

නිවාස දහයකින් තුනකට වැඩි පිරිසක් සත්ව ප්‍රෝටීන, කිරි සහ පළතුරු පරිභෝජනය කරනුයේ සතියකට දින තුනකට වඩා අඩුවෙනි. පසුගිය ජූනි මාසයේ සිට බොහෝ නිවෙස්වල කිරි  ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය විශාල ලෙස පහත වැටී තිබේ.
වැඩිම ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති පළාත වන ඌව පළාතේ නිවාස දහයකින් 4කට ප්‍රමාණවත් ආහාර වේලක් ලැබෙන්නේ නැත. ඒ පළාතේ කාන්තා ගෘහමූලික නිවෙස්වලින් 37%ක් එම තත්ත්වයට මුහුණ පා සිටිති.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් Swiss Agency for Development and Cooperation අයතනයෙන් ලද ඩොලර් 802,000 ආසන්න පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ග්‍රාමීය ගොවි ප්‍රජාවන් අතර ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ආධාර වශයෙන් සැපයීමට පියවර ගෙන තිබේ. 

මෙම අරමුදල් හරහා නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක පහක කුඩා වතු හිමියන් 1,000 කට අධික පිරිසකට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා රුපියල් 50,000 බැගින් ලබා දීමට නියමිතය. 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය අනුව පසුගිය වසර 20 තුළ ආන්තික කාලගුණික සිදුවීම්වලින් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත් ව සිටී. 

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02