2023 මාර්තු 05 වන ඉරිදා

නෙලන්නියන්ගේ රැජන

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 53

වාර්ෂිකව පවත්වනු ලබන හොඳම තේ දලු නෙලන්නියගේ තරගයෙන් මෙවර ජය වාර්තා කිරීමට තලවකැලේ ප්‍රදේශයේ කාන්තාවක සමත් වූවාය. හේලිස් වතු සමාගම යටතේ සේවය කරන සේවකයන් අතර පැවැත්වූ එම තරගයේ ජය වාර්තා කළේ 37 හැවිරිදි තිදරු මවක් වන සීදයම්මා ය.

තේ දලු නෙලන කාන්තාවන් ඇගයීමේ අරමුණින් පවත්වන හොඳම තේ දලු නෙලන්නියගේ තරගය‍, එම තරගයට සහභාගි වන තරගකරුවන්ට පමණක් නොව අප කාටත් වැදගත්ය. මන්ද යත් වතු කම්කරුවන්ගේ ජීවිත තත්ත්වය අන්ත අසරණ තත්ත්වයක පැවතියද ඔවුන් රටට ඩොලර් ඉපැයීමේ යන්ත්‍ර බවට පත්ව ඇති බව නොරහසකි.

තේ වතුවල සේවය කරන වතු කම්කරුවෝ ඉංග්‍රීසි පාලන සමයේ ඉන්දියාවෙන් ගෙන්වූ අය බව අපි කවුරුත් දනිමු. ඔවුන් මෙරටට ගෙන්වා හරියටම වසර 200ක් සම්පූර්ණ වන්නේ මේ අවුරුද්දේය. මේ වසර දෙසීය පුරාම ලේ දහදිය හෙලන වතු කම්කරු කාන්තාවන් ඇගයීමට ලක්වූයේ නම් ඒ මෙවැනි තරගයක දී පමණි. එබැවින් වතු කම්කරුවන්ගේ පැමිණීමට වසර 200ක් සපිරෙන වර්ෂයේ පැවැති හොඳම තේ දලු නෙලන්නියගේ තරගය සාකච්ඡා කළ යුතු තේමාවකි.

හොඳම තේ දලු නෙලන්නියගේ තරගයේ අවසන් වටය පෙබරවාරි 25 වැනි දින නානුඔය, රදැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි. හොරණ, තලවකැලේ සහ කැලණිවැලි වැවිලි සමාගම් යටතේ ඇති වතු 60ක් අතරේ පැවැති මූලික වටයේ තරගයෙන් කාන්තාවන් 42 දෙනෙක් අවසන් වටය සඳහා තෝරාගනු ලැබූහ. අවසන් වටයේ දී හොඳින්ම තේ දලු ලා ඇති ඉඩම් කොටසකට ලබාදුන් නිර්ණායකවලට අනුකුලව තේ දලු නෙලීම සිදු කළ යුතුව තිබුණි. තරගකරුවන් සඳහා තේ දලු නෙලීමට විනාඩි 20ක කාලයක් ලැබිණි. එම කාලය තුළ නිර්ණායකවලට යටත්ව තේ දලු වැඩිම ප්‍රමාණයක් නෙලන තැනැත්තිය ජයග්‍රාහකයා වශයෙන් තෝරාගනු ලැබීය.

ඒ අනුව මෙවර තරගයේ ජයග්‍රහණය වාර්තා කළ තලවකැලේ වතු සමාගමේ සමර්සෙට් අංශයේ ආර්. සීදයම්මා නියමිත කාලය තුළ වැඩිම තේ දලු ප්‍රමාණයක් නෙලීමට සමත් වූවාය. නියමිත කාලය තුළ ඇය නෙළූ තේ දලු ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 42කි.

හොඳම තේ දලු නෙලන්නියන්ගේ තරගය වාර්ෂිකව පැවැත්වීමේ අරමුණක් වන්නේ එම කර්මාන්තයේ නියැලී සිටින්නන් දිරිගැන්වීම සහ කර්මාන්තයේ අනාගත පැවැත්ම ආරක්ෂා කිරීමය. එහෙත් වතු ආශ්‍රිත උගත් තරුණයන් එම තරගය විවේචනාත්මකව දකින්නේ එම තරගය පවත්වන්නේ තම මව්වරුන් මුලා කිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි. ඇතැම්විට වැවිලි සමාගම් එම තරගයේ ජයග්‍රාහකයා නෙලන ලද දලු ප්‍රමාණය එක් දිනක වැඩ පැයට ගණනය කර සෑම කම්කරුවකුම දෛනිකව එම ප්‍රමාණය නෙළුවොත් පමණක් වැටුප් ගෙවීමේ කොන්දේසියට යටත් කිරීමේ ඉඩක් ඇතැයි පෙන්වා දෙයි. එසේ ගණනය කළහොත් දිනකට කිලෝ 50ක් නෙලීම අනිවාර්ය කිරීමට ඉඩ ඇතැයි ද එය කිසිසේත්ම කළ නොහැකි අභියෝගයක් වනු ඇතැයි ද පවසයි.

කෙසේ නමුත් තරගයේ ජයග්‍රාහක කාන්තාව වසර 13ක පමණ කාලයක් දලු නෙලන්නියක් ලෙස අත්දැකීම් ලබා ඇත. ඇය දැක්වූ දක්ෂතාව සඳහා රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් සහ රන් පදක්කමක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණි. තරගයේ ජයග්‍රාහිකාව වන ආර්. සීදයම්මා 'දේශය'ට අදහස් දක්වමින් සිය සතුට ප්‍රකාශ කළාය. 

“මං වගේ හැමෝම තෑගි ලබන්න ඕන කියන එක තමයි මගේ ආසාව. මේ තරගෙ මං දිනයි කියන විශ්වාසයක් මට තිබුණෙම නෑ. ඒ හින්දා මේ ජයග්‍රහණය ගැන කියන්න මට වචන නෑ. කලින් මං ගාමන්ට් එකේ වැඩ කළේ. විවාහ වුණාට පස්සේ මං එස්ටේට් එකේ ලියාපදිංචි වෙලා වැඩ කරන්නේ. දැන් අවුරුදු 13ක්. වත්තේ වැඩ කරන හැමෝටම මේ වගේ තෑගි ලැබෙන්න ඕන කියන එක තමයි මගේ එකම පැතුම. මටත් ගොඩක් ආර්ථික අමාරුකම් තියෙනවා. කන්න බොන්න විදිහක් නෑ. ළමයි තුන්දෙනෙක් ඉගෙන ගන්නවා. එයාලව පන්ති යවාගන්නත් බෑ. වත්තේ වැඩට ආවොත් විතරයි මොකක් හරි කර ගන්න පුළුවන්. ඒ නිසා මට මේ අවස්ථාව දුන්නට වත්තට ස්තුතිවන්ත වෙනවා."

වාර්ෂිකව පවත්වනු ලබන හොඳම තේ දලු නෙලන්නියන්ගේ තරගයේ මෙවර වාර්තා වූයේ සාපේක්ෂව ඉහළ වාර්තාවකි. ඉකුත් වර්ෂයේ පැවැති තරගයේ ලබා දුන් විනාඩි 10ක කාලය තුළ ජයග්‍රාහක කාන්තාව නෙලා තිබුණේ තේ දලු කිලෝ 3ක ප්‍රමාණයකි. මෙම ජයග්‍රහණයත් සමඟ අපේ සුබ පැතුම ආර්. සීදයම්මාට පිරිනමන්නේ ජීවන තරගය ද දිනන්නට හැකිවේවා යන පැතුමත් සමඟිනි.

I සකීෆ් සාම්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02