2023 මාර්තු 05 වන ඉරිදා

18+ හැමෝටම බදු ලිපිගොනු!

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 223

දේශපාලනඥයන්ට බදු සහන ලැබේ. ඇතැම් නිලධාරීන්ගේ බදු ඔවුන් සේවය කරන ආයතනවලින් පියවන බව දැක්වේ. දුප්පත් ජනතාව මත බදු බර තවත් වැඩිකර ඇත.  රට දියුණු කරන සැලැස්ම පැත්තකින් තබන ආණ්ඩුව, වයස අවුරුදු දහ අට සම්පූර්ණ වන තරුණන් සඳහා බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. උහුලාගත නොහැකි බදු බරට විරුද්ධව ජනතාව පාරට බැස ඇති කාලයක බදු ගෙවන අලුත් නීති හඳුන්වාදීමට ගෙන ඇති තීරණ විශාල ගැටලු ඇතිකරනු ඇත. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙම වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර එහිදී සෑම පුද්ගලයකුටම බදු ලේඛනයක් ආරම්භ කරන වැඩපිළිවෙළ ප‍්‍රායෝගික අදහසක් නොවන බව ප‍්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යංශයේ ප‍්‍රතිපත්තිවලටත් වඩා ඉදිරියට යන බදු නිලධාරීන් ආණ්ඩුව පත්ව ඇති දුර්වල ස්ථානය සලකා තවත් අසීරුවට පත් කරන්නට උත්සාහ කරන බව පෙනේ. එකක් විරෝධතා පාලනය කරගන්නට නොහැකි තැනක පසුවන ආණ්ඩුවට දෙකක් කඩතොලු හදාදෙන්නට ගන්නා මෙවැනි තීරණ ආණ්ඩුවේ අවධානයට ලක්විය යුතුය.

• ආදායම් බදු කන්තෝරුව වසා දැමීම හොඳයි

මහා භාණ්ඩාගාරය ගණන් බලා ඇති පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුද්ගල ආදායම් බදු අංශය ප‍්‍රායෝගික මෙහෙයුමක් නොකෙරේ. පහසුවෙන් පුද්ගල බදු අය කරගත හැකි මාර්ග තිබියදී කළ නොහැකි කටයුතුවලට පෙළැඹේ. වාර්තා දක්වන පරිදි ගොඩනැගිලි, විදුලිය, සන්නිවේදන, ප‍්‍රවාහන හා නිලධාරී වැටුප් ගෙවූ පසු ආදායම් බදු වශයෙන් රජයට එකතු කරන ප‍්‍රමාණය වාසිදායක නැත. ආදායම් බදු අය කරන ක‍්‍රමය අහෝසිකර වෙනත් ආයෝජනයක නිරතවීම ලාබදායක බව දැක්වේ. 
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ප‍්‍රකාශ කළ පරිදි ගෘහඒකක මිලියන 5.8ක් ඇති අතර 2020 වසරේ පවත්වාගෙන ගිය ලිපිගොනු ගණන 293,305කි. මෙයින් ලිපිගොනු 120,000ක් 2021 වසරේදී ප‍්‍රතික්ෂේප වී තිබේ. ලිපිගොනු 28,621ක් ගෙවන බද්ද රුපියල් දස දහසකට අඩුය. අවුරුද්දකට අඩුම තරමින් රුපියල් ලක්ෂයක්වත් බදු ගෙවන පුද්ගලයන්ගේ ගණන 5,493 කි. රුපියල් ලක්ෂ පහත් මිලියනයත් අතර ගෙවන පිරිස 1,593 කි. සඳහන් කරන ලද මෙම ඉලක්කම් දෝෂ සහිත නම් වහාම පියවර ගැනීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීමකි.

• බදු උපදේශක සේවා තවත් හරස් කඩක්

කරුණු සහිතව ඔප්පුවන පරිදි රජය කරන වියදමට සෑහෙන ආදායමක් උපයන බදු ලිපිගොනු 3,020ක් පමණක් දෙපාර්තමේන්තුව සතුව ඇත. මෙම බද්ද ගෙවීම සඳහා ද පුද්ගලයෝ බදු උපදේශකයන්ගේ සහාය ලබාගනිති. දෙපාර්තමේන්තුව එවන කඩදාසි පුරවන්නට සාමාන්‍ය ජනතාවට පුළුවන්කමක් නැත. එහිදී තරමක පිරිවැයක් දරන්නට සිදුවේ. එම පිරිවැය ගෙවන බදු ගෙවන්නන් උපදේශක සහාය ඇතිව ආදායමෙන් කොටසක් වසං කරගන්නා බව නොරහසකි. නැත්නම් උපදේශකයන්ගේ සේවයක් කුමටද? රජයේ ලියා පදිංචි බදු උපදේශක සේවා සහ ආණ්ඩුවේ බදු නිලධාරීන් අතර කරන ලිපි හුවමාරුව අවසානයේ ලබාගන්නා ආදායම රාජ්‍ය ආදායම තර කරන තරමට ප‍්‍රමාණවත් නැත. මෙම විකෘතිය දකින දෙපාර්තමේන්තුව තවත් ලිපිගොනු විවෘත කිරීමෙන් දැවැන්ත ආදායමක් උපයාගත හැකිවෙතැයි කල්පනා කරන බව මෙහිදී පෙනේ. 

ආදායම් බදු ගෙවන පුද්ගලයන් ගැන පමණක් නොව කර්මාන්ත හා ව්‍යාපාරවල ඇතුලාන්තයද මෙයට නොදෙවැනිය. ආයතන 342ක රජයට ලැබෙන ආයතනික බදුවලින් සියයට අසූ දෙකක් ගෙවන අතර ලක්ෂ ගණනක් ව්‍යාපාර ලියා පදිංචි කර ඇතත් මේවායේ පිරිවැටුම සමාගම් බදු ගෙවන්නට තරම් ප‍්‍රමාණවත් නැත.

බදු ගෙවන්නට හැකි තරමට ජනතාවගේ ආදායම දියුණු කිරීම ශ‍්‍රී ලංකාවේ එකම ප‍්‍රයත්නය විය යුතුය. පුරවැසියන්ට බදු අංකයක් සහිත ලිපිගොනුවක් නිකුත් කරන්නට යෝජනා කරන්නේ ඇයි? බදු වංචා කිරීම වළක්වා නීතියට අනුව බදු අයකරනු සඳහා යැයි විශ්වාස කළ හැකිය. ආණ්ඩුව පුරවැසියන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළේය. සියලු තොරතුරු එහි ඇතුළත්ය. ශ‍්‍රී ලාංකේය ජනතාව රොබෝවරුන් මෙන් පරිගණක පද්ධතිවලින් පාලනය කරන යුගයක් කරා ගමන් කරන බව පෙනේ. 

• ආදායම හා වියදම අතර පරතරය වැඩිවීම

රජයේ ආදායම හා වියදම අතර පරතරය ඉහළ නැග ඇති බව අයවැය වාර්තා පෙන්වයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පනවා ඇත. පාලනය කරගත නොහැකි තරමට ඉහළ නැග ඇති වියදම පාලනය නොකරන ආණ්ඩුව එයට සරිලන අන්දමට ආදායම වැඩි කරගැනීමට පියවර ගන්නට සූදානම් බව පෙනේ. ඵලදායී නොවන උපාය අනුගමනය කිරීම පලක් නැති අදහසකි.

අලුත් බදු අනුව උපයන විට ගෙවන බද්ද අති විශාල ප‍්‍රතිශතයකින් නංවා ඇති ආණ්ඩුව බැංකු ගිණුමක මුදල් ඉතිරිකරන ප‍්‍රමාණය සලකා බලා ඒවායෙන්ද බදු අයකරමින් සිටී. වැට් බද්ද වැඩිකර ඇත. අපනයන අංශවලටද වැට් පැනවීම වෙන කිසි රටක නොකෙරේ. විදුලිය බිලටද තවත් බද්දක් ඇත. ක්‍රෙඩිට් කාඩ්, ඉඩම් හෝ දේපොළ විකිණීම, වාහන මිලදී ගැනීම යනාදී සෑම අංශයකින්ම බදු අය කෙරේ. පළාත් පාලන ආයතන පවා බදු නියම කර ඇත. එම සියලු බදු ගෙවන ජනතාවගේ අත ඉතිරිවන කොටස සලකා අලුතින් බදු ලිපිගොනු ආරම්භ කිරීම අනුමත කළ හැකි කරුණක්ද?

1995 වසරේදී රටට ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 20.4ක බදු ආදායමක් උපයා ගත හැකි වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වයි. 2015 වනවිට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සලකන විට සියයට 10.85 දක්වා පහතට වැටී තිබේ. එම බදු ප‍්‍රතිශතය සියයට 15-16 අතර ගණනක් දක්වා වැඩි කරගන්නට රජයට උපදෙස් ලැබී ඇත. බදු ලිපි ගොනු ආරම්භ කිරීම ආදායම ලබාගැනීමේ දී ඉතාම පහසු පැත්තක් යැයි කල්පනා කරන බව පෙනේ.

• රජය කරන වියදමට ජනතාව වන්දි ගෙවීම

රජයට අයත් ව්‍යාපාර හා කර්මාන්ත විශාල ප‍්‍රමාණයකි. මෙරට විශාලතම ව්‍යාපාරය ආණ්ඩුවේ පාලනය යටතේ පවතී. එය ඛනිජ තෙල් සංස්ථාවයි. විදුලියබල මණ්ඩලය, ජල සම්පාදනය, ගමනාගමන, ගුවන් සේවය වැනි ආයතන විශාල පිරිවැටුමක් සහිත ඒවාය. එම ආයතන ඉතාම දුර්වල තැනක පවතී. බිලියන ගණනින් පාඩු ලබයි. අසාර්ථක ව්‍යාපාර කරගෙන යන අතර ඒවායේ අති විශාල පාඩුව ගෙවන්නේද මහජනතාවය. ජනතාවට සේවයක් වශයෙන් අඩු මිලට සේවා සපයන බව මතු පිටින් පෙන්වන නමුත් මෙම සඳහන් කරන ලද පමණක් නොව සඳහන් නොකරන ලද ආයතන වලද අසාර්ථක මෙහෙයුම රටට විශාල බරකි.

බදු අය කරගත යුත්තේ බලහත්කාරයෙන් නොවන බව කෞටිල්‍යගේ මතයයි. ඉන්දියාවේ දකුණු බිහාරයේ මගධ රාජ්‍යයේ විසූ කෞටිල්‍ය එවකට විසු මයුරන් අධිරාජ්‍යයාට ආර්ථික උපදෙස් දී ඇති බව ඉතිහාසය අනාවරණය කරයි. බදු අය කරගත යුතු ජනතාවට නොදැනෙන සේ ක‍්‍රමයෙන් බව ඔහු කියා සිටියේය. වැදගත්ම කාරණය වෙළෙඳාම වැඩි කිරීම බව ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලයක් සේ සැලකෙන තක්ෂිලාවේ උගත් කෞටිල්‍ය එදා පළකර තිබේ. ආර්ථිකයක යථාර්ථය එයයි. මෙම න්‍යාය දැනගෙන පාලනයට එන දේශපාලනඥයෝ මුලින්ම එය අමතක කරති. පැවැත්ම වෙනුවෙන් බදු පනවති. ශ‍්‍රී ලංකාවේ ජනතාව අසීමිතව පනවන බදු වලින් පීඩාවට පත්ව සිටින අතර එය උපයන සන්තකය ආණ්ඩුවට දී ශෝකාකූලව ජීවත්වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

ආර්ථිකය වර්ධනය කර එහි ප‍්‍රසාරණය මගින් සහ සක‍්‍රීයවන්නට ඉඩ දිය යුතුය. අද පවතින තත්ත්වය අනුව ඍණ ආර්ථිකයකින් ආණ්ඩුවේ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාවක් නැත. ලෝකයේ දියුණු රටවල් පවා ආදායම සොයාගන්නේ වැසියන්ගේ ආදායමින් කොටසක් පවරා ගන්නට ප‍්‍රයත්න දැරීමෙන් නොවේ. වෙළෙඳාම වැඩි කරගෙන ඇත. ආනයන සහ අපනයන නැංවෙන පසුබිම සකස් කර තිබේ. එවැනි පියවරවලින් ආර්ථිකය විශාල වෙයි. ලබාගත හැකි බදු ආදායම වර්ධනය වෙයි. ආර්ථිකය දියුණු කර බදු වැඩිකර ගැනීම මගින් මහජනතාවට කෙළින්ම නොදැනෙන සේ රජයේ ආදායම ඉහළ නගී. ප‍්‍රසාරණයේ ප‍්‍රතිඵලයක් සේ රජයේ බදු ආදායම වැඩිපුර උපයා ගත හැකි වෙයි.

I සාරා කන්දෙගොඩ