පනස් දහසකට වැඩි පිරිසක් බිලිගත් තුර්කි - සිරියා භූ කම්පනයත් සමග ලොවපුරා භූ කම්පන රැල්ලක් පැතිර ගියේය. දකුණු තුර්කිය වටා සුළු පසු භූ කම්පන දස දහසක් පමණ පසුකාලීනව ඇති වූ අතර ප්‍රධාන කම්පනයෙන් සති දෙකකට පසුව 6.4ක තවත් ප්‍රබල කම්පනයක්ද තුර්කිය අත්වින්දේය. එතැන් සිට ලෝකය පුරා විවිධ මට්ටමේ භූ කම්පන ගණනාවක් වාර්තා වූයේ රැල්ලක් ලෙසිනි.
පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට ප්‍රබලතාව රිච්ටර් මාපකයේ 6.5ට වැඩි භූ කම්පන 2ක්ද, 6.5 දක්වා වූ භූ කම්පන 179ක්ද, 5-6 අතර ප්‍රබලතාවකින් යුතු කම්පන 20ක්ද, 4-5 අතර කම්පන 73ක්ද, ප්‍රබලතාව 3-4 අතර කම්පන 233ක්ද, 2-3 ප්‍රබලතාව සහිත කම්පන 694ක්ද, ප්‍රබලත්වය 2ට අඩු කම්පන 1346ක්ද ලෝකය පුරා වාර්තා වී තිබුණි.
මේ අතර වඩාත් භයානක ප්‍රබලතාව 8 කට වැඩි දරුණු භූ කම්පනයක් සිදුවීමට හැකි බවට අනතුඇ ඇඟවීම් නිකුත් වී තිබුණි. ඒ තුර්කි කම්පනය ගැන කලින් අනාවැකි කියූ නෙදර්ලන්ත ජාතික භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හූගර්බීට්ස් වෙතිනි. ඔහු නිකුත් කර ඇති යූ-ටියුබ් වීඩියෝවකට අනුව අනතුරැ අඟවා ඇත්තේ ඉදිරියේ සිදුවන ග්‍රහ පිහිටීම් අනුව මෙබඳු ඛේදවාචකයක් සිදුවීමට ඉඩ ඇති බවටය.
ඔහුගේ අනතුරු ඇඟවීම අනුව මාර්තු මුල සතිය එනම් 2-5 අතර හෝ මාර්තු 3-4 හෝ 6-7 අතර අහසේ ග්‍රහ පිහිටීම අනුව ලෝකයේ තදබල භූ කම්පනයක් ඇති විය හැකිය. මේ අතර ඉන්දියාවේ හිමාචාල් – උත්තරකාන්ද් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් මේ කාලයේම සිදුවන බව ඉන්දීය භූ චලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා තිබුණි. මේ හේතුවෙන් ලංකාවටද භූ කම්පන බලපෑමක් සිදුවිය හැකි බවට භීතිකාවක් පැතිර තිබුණි. පසුගිය සතිය ආරම්භ වූයේ මේ කම්පන භීතිකාව අතරතුරදීය.
භූ කම්පන දෙදහසකට වැඩි ගණනක් අධ්‍යයනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ ඉරාන ජාතික විද්‍යාඥයෙකු වන සාලි එම්. අවද්, "සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පෙළගැස්ම - වඩදිය බාදිය සහ භූමිකම්පා ඇති කරයි" යනුවෙන් සවිස්තර අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ කම්පන කලින් හඳුනා ගැනීමේ සහ ක්‍රමවත් අනතුරැ ඇඟවීම් පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර තිබේ. ඒ අන්දමට ප්‍රධාන මට්ටමේ කම්පන කලින් හඳුනාගත හැකි බව ඔහු කියා තිබේ. අවද්, ඔහුගේ පර්යේෂණයේදී 2021 පෙබරවාරි 11 වැනි දින සාර්ගෝස් පැලුම (Zagros fold and thrust belt) මත රික්ටර් මාපක 5 ක භූමිකම්පාවක් පුරෝකථනය කළේය. ඇත්තේන්ම එවැනි භූමිකම්පාවක් එම අවස්ථාවේදී සිදුවිය. මේ නිසා ඔහුගේ භූ කම්පන අනාවැකි ගැන ප්‍රකාශයන්ද ඉවතලිය නොහැකිය. මේ සියලු අනාවැකි කරුවන් අනතුරු අඟවා ඇත්තේ මහා භූ කම්පනයකින් අඳුරුවන මාර්තුවක් ගැනය.
කෙසේ හෝ මේ අනාවැකි සනාථ කරන්නට මෙන් පසුගිය 02දා බ්‍රහස්පතින්දා පැය 24ක කාලයක් තුළදී මධ්‍යම ප්‍රමාණයේ භූ කම්පන 88කට වැඩි ප්‍රමාණයක් ලොව ප්‍රදේශ රැසකින්ම වාර්තා විය. ඒ අතර ප්‍රබලතාව 5ක් වූ කම්පන 10කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණි. රැසියාව, පිලිපීනය, ජපානය, ආශ්‍රිතව හවායි දූපත් කලාපය වටාද කම්පන රැල්ලක් වාර්තා වී තිබුණු අතර ලංකාවටද බලපෑමක් කළ හැකි සුමාත්‍රාව අසලින්ද 5කට ආසන්න කම්පන 2ක් වාර්තා විය. නේපාලය අසල චීන සීමාවේ බටහිර ෂිසෑන්ග් කලාපයේද 4කට ආසන්න කම්පනයක් වාර්තාවී තිබුණි. ක්‍යුරිල් දූපත සහ මෙක්සිකෝව අසලින්ද ප්‍රබලතාව 5කට වැඩි කම්පන වාර්තා විය. එසේම ප්‍රබලත්වය 6+වැඩි කම්පනයක් වනුවාටු දූපත් අසල කොරල් මුහුද ආශ්‍රිතව (6.5) පසුගියදා වාර්තා විය. ඒ ඊට විනාඩි 7කට පමණ පෙර හටගත් 5.4ක කම්පනයකට පසුවය. මාර්තු 1 සිට ලොව පුරා වාර්තා වූ කම්පනවලින් මුදාහැරි ශක්තිය පමණක් පරමාණු බෝම්බ 12.9ක ශක්තියකට සමාන බව ගණන් බලා තිබේ.
බොහෝ දුරට, ලෝකයේ බොහෝ භූමිකම්පා පැසිෆික් සාගරයේ මායිම් දිගේ සිදුවන අතර, දකුණු යුරෝපයේ සිට තුර්කිය, කොකේසස්, ඉරානය, පකිස්ථානය හරහා උතුරැ ඉන්දියාව, නේපාලය සහ දකුණු චීනය දක්වා විහිදෙන විශාල ඇල්පයින්-හිමාලියානු කඳුකර තීරයන් අනුගමනය කරයි. මෙම කලාප බොහොමයක් සාගර හෝ මහාද්වීපික ඝට්ටන කලාපවල පිහිටා ඇති අතර එහිදී භූ තැටි එකිනෙක ගැටී භූමිකම්පා ස්වරූපයෙන් ශක්තිය මුදාහරිනු ලැබේ.
භූමිකම්පා වඩාත් භයානක ස්වභාවික විපත් ගණයට අයත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තවලට අනුව, 1998-2017 කාලපරිච්ඡේදය තුළ පමණක් භූමිකම්පා හේතුවෙන් ගෝලීය වශයෙන් 750,000 කට ආසන්න මරණ සංඛ්‍යාවක් සිදුව ඇති අතර, ඒ ස්වාභාවික විපත් හා සම්බන්ධ සියලුම මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකි. නමුත් මෑතක ඇති වූ තුර්කි භූ කම්පනය මගින් පමණක් මේ වනවිට 50,000කට වැඩි පිරිසක් මිය ගොසිනි.
ඊට පෙර වාර්තාවන්ට අනුව 1976දී චීනයේ ටැන්ෂාන් හි භූමිකම්පාව වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති කළ අතර එය 240,000 ඉක්මවා ගියේය. කෙසේ වෙතත්, සමහර ඇස්තමේන්තු කියා ඇත්තේ ඒ මරණ සංඛ්‍යාව 650,000 ඉක්මවන බවයි. 2010දී හයිටියේ භූමිකම්පාව දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව ඇති කළ නමුත් මෙහි සංඛ්‍යාව 100,000 සිට 300,000 දක්වා වෙනස් වේ. මෙම කාලය තුළ මාරාන්තික භූමිකම්පා 10න් හතරක්ම චීනයේ සිදුව ඇත.
ලෝකයේ අනාවැකිකරුවන් මාර්තු මාසය ගැන අනතුරැ අඟවා ඇත්තේද නැවත පැමිණිය හැකි මෙවන් විනාශකාරී භූකම්පනයක් පිළිබඳවය. මේ සම්බන්ධයෙන් ලංකාවේ භුවිද්‍යාඥයන්ද කියා ඇත්තේ සූදානම් ශරීරයෙන් සිටීම යහපත් බවකි. මක්නිසාද යත් ඉන්දියානු භූ තැටිය ආශ්‍රිතව සිදුවන කම්පනයකින් ලංකාවටද දැඩි බලපෑම් එල්ලවිය හැකි නිසාය.
සුගත් පී. කුලතුංගආරච්චි