සුනාමි ඛේදවාචකය ලංකාවට බලපාන තෙක්ම මෙරට භූ කම්පන මාන ස්ථාපනය කොට තිබී නැත. පසුකලෙක භූ කම්පන මාන ස්ථාපනය කිරීම සඳහා නිර්දේශ කොට තිබුණේ මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා විසිනි. ඒ අනුව දැන් මුළු දිවයිනම ආවරණය වන පරිදි භූ කම්පන මාන පිහිටුවා තිබේ. ඇතැම් තැන්වල විශාල භූ කම්පන පමණක් සටහන් වෙද්දී අනෙක් ඒවායේ සුළු කම්පන පවා සටහන් වෙයි. මෙතෙක් ලංකාවේ වාර්තා වූ භූ කම්පනවලින් රටට බලපෑමක් නොවුණද ඉදිරියේදී තත්ත්වය වෙනස්වීමේ අවදානමක් පැවතිය හැකිය.
ලංකාව ආශ්‍රිතව සිදුව ඇති භූ කම්පනවල අගය රිච්ටර් පරිමාණ 3 හෝ ඊට අඩු ඒවාය. රිච්ටර් මාපක පරිමාණ 5.00ට වඩා වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය ලංකාවටම දැනෙන එකක් විය හැකිය. එවැන්නකදී රටේ ගොඩනැගිලි දේපළ රුසකට හානි වීමට ඉඩ තිබේ. රිච්ටර් මාපක පරිමාණ 5.5ට වැඩි භූ කම්පනයක් වාර්තා වුවහොත් එය කඳුකරයේ පිහිටි වික්ටෝරියා රන්දෙණිගල වැනි ජලාශවලටත් දැඩි අවදානමකි.
තුර්කිය හා සිරියාව ආශ්‍රිතව සිදුවූ මහා පරිමාණ භූමිකම්පා නිසා සිදුවූ හානිය අති විශාලය. එම මහා භූ චලනවලට පසුව ශ්‍රී ලංකාවේ මොණරාගල, බුත්තල, වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතවද සුළු කම්පන තත්ත්වයන් වාර්තා විය. ඒ සමඟ මෙරටත් භූ චලන ඇතිවේ යැයි යන බියක් පවතින අතරතුර ඉන්දියාව ආශ්‍රිතව භූ කම්පනයක් ඇතිවීමට ඉඩ ඇති බවත් එයින් ලංකාවට බලපෑමක් එල්ලවිය හැකි බවටත් පූර්වකථන සිදුකර තිබේ. එම පූර්ව කථනවලට අනුව එවැනි සිදුවීමක් වන බවට අනුමාන කළද එහි ස්ථාවර බවක් නිශ්චිත නැත. එබැවින් එකී අවදානමෙන් මිදීමටද නොහැකිය.
පවතින අවදානම හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පාවක් ඇති වුවහොත් ඉන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පැවසීය. භූ විද්‍යා හා පතල් කාර්යාංශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනය සම්බන්ධ කොටගෙන එම වැඩපිළිවෙළ සකස් කරන බව අජිත්ප්‍රේම මහතා වැඩිදුරටත් කීය. දින කිහිපයකට පෙර මොණරාගල බුත්තල ප්‍රදේශයෙන් සුළු භූ චලන වාර්තා වූ නිසා එම ප්‍රදේශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් කටයුතු කරන බව ජානක අජිත්ප්‍රේම මහතා පැවසීය.
භූකාරක තැටිවල සීමා අනුව ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දීය භූ තැටිය මතය. ඉන්දීය භූ තැටිය වටා අප්‍රිකානු අරාබියානු යුරේසියානු, ඉන්දු - ඕස්ට්‍රේලියානු තැටි මායිම්ව පවතී. එහෙත් ශ්‍රී ලංකාව එවැනි තැටි මායිමක පිහිටා නැති බව කියයි. මේ නිසා ලංකාවට භූ චලනයක බලපෑම ඇති නොවන බවට විශ්වාසයක් තැබිය හැකිය. නමුත් දැනට පවතින භූ කාරක තැටි දෙකඩ වීමේ අවදානමක් පවතින බව භූ විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. ඒ අනුව ඉන්දීය භූ තැටිය යම් දිනෙක දෙකඩ වුවහොත් ශ්‍රී ලංකාව ප්‍රබල භූ චලනයකට ලක්වීමේ අවදානමක් පවතී. එහෙත් එවැනි අවදානමක් පවතින බවට තවම සොයාගෙන නැති බවත් ඉඳහිට ශ්‍රී ලංකාවට දැනෙන කම්පන අවට තැටි එකිනෙක ගැටෙන විට හටගන්නා ඒවා බවත් භූ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
ඉන්දියාවේ හිමාල ප්‍රදේශය සාමාන්‍යයෙන් භූ කම්පන සිදුවන කලාපයකි. වාර්තා වී ඇති පරිදි මීට ඉහතදී එම ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපක ප්‍රමාණයේ 8ට වැඩි කම්පන 3ක් සිදුව ඇති බව වාර්තා වේ. ඊට වඩා අඩු අගයන්හි කම්පන ගණනාවක් සිදුව තිබෙන බවද පැවසේ. මේ අනුව ඉන්දීය භූ විද්‍යාඥයන් අදහස් පළකොට ඇත්තේ එම කලාපය ආශ්‍රිතව ඉදිරියේ භූ කම්පන ඇතිවීමට ඉඩ ඇති බවකි. ඒ සඳහා දිනයක් කාලවකවානුවක් ප්‍රකාශ කර නැතත් අවධානයෙන් පසුවීම වැදගත් බව දන්වා තිබේ. මීට ඉහතදී එනම් ආසන්න ශත වර්ෂයක කාලයේදී රිච්ටර් මාපක 8ට වැඩි කම්පන 3ක් සහ ඊට අඩු කම්පන ගණනාවක් ඉන්දියාවේ හිමාලය ආශ්‍රිතව සිදුවුවත් ඒවායෙන් ලංකාවට බලපෑමක් සිදු වී නැත. එබැවින් ඉදිරියේ භූ කම්පනයක් සිදුවුවද එයින් ලංකාවට ඍජු බලපෑමක් ඇතිවන බවට විශ්වාස නොකෙරේ.
ඉන්දුනීසියාවේ අන්දමන් හා සුමාත්‍රා දූපත් ආශ්‍රිතව යම් ප්‍රබල කම්පන තත්ත්වයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවට යම් සුනාමි බලපෑමක් ඇතිවිය හැකි බවද භූ විද්‍යාඥයෝ අදහස් පළකරති. අනාගතයේදී ශ්‍රී ලංකාව භූ චලනයක අවදානම ඇතිවේ යැයි කියන පූර්වකථන හමුවේ මෙරට ඉදිකරන හා ඉදිකිරීමට නියමිත උස ගොඩනැගිලි සම්බන්ධයෙන් නියමිත ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ප්‍රධාන පෙළේ ගොඩනැගිලි නිර්මාණයේදී ඉංජිනේරැ සහාය ලබාගන්න බවද දකින්නට හැකිය. 2004 වසරේදී සුනාමි ඛේදවාචකය සිදුවන්නට පෙර මෙරට භූ කම්පන සිදුවීම පිළිබඳව සොයාබැලීමක් සිදුකර නැත. ඉන් වසර 8ක් ගතවූ පසුව 2012 වසර සිට නොකඩවා මේ දක්වා භූ කම්පන සිදුවීම පිළිබඳව විමසිල්ලෙන් පසුවෙති. එහිදී රිච්ටර් මාපක අගය 3.5ක උපරිම කම්පනයක් වාර්තා වී ඇත්තේ එක අවස්ථාවකදී පමණක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි.
ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 8ක පමණ ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවීමේ අවදානමක් පවතින බව හයිද්‍රාබාද්හි ජාතික භූ විද්‍යා පර් යේෂණ ආයතනය අනතුරැ අඟවා තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය. මේ හරහා ඉන්දියාවේ උත්තර්කන්ද් පන්ජාබ් හා හර්යානා ප්‍රදේශවලය වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද පුරෝකථනය කර තිබේ. එවැන්නක් සිදුවන දින වකවානුවක් නිශ්චිතව නොකියන ඔවුන් අවධාරණය කරන්නේ විටෙක එහි අවදානම ශ්‍රී ලංකාවටද බලපානු ඇති බවකි.
මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා
''ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දීය භූ තැටිය ආශ්‍රිතවයි. ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 8ක භූ කම්පනයක් වුණොත් ඒක ලංකාවට දැනෙනවා. ඉන්දියාවට පහළින් තියෙන එකම රට ලංකාව විතරයි. ඒ නිසා දැනෙන අවස්ථාව වැඩියි. භූ කම්පන කියන ඒවා පුරොකථන කරන්න බෑ. වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. නමුත් ඉන්දියාවේ මේ කියන ආයතනය ලෝකයේ පිළිගත් එකක්. එවැනි ආයතනයක පුරෝකථනයක් අපට නොසලකා හරින්න බෑ. විද්‍යාත්මක ක්‍රමවේද අනුවයි ඔවුන් මෙය ප්‍රකාශ කර ඇත්තේ. මෙම පුරෝකථනය පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වෙනවා. දැනටත් ලංකාවේ බුත්තල වගේ ප්‍රදේශවලින් භූ කම්පන වාර්තා වෙනවා. එවැනි ප්‍රදේශවල ජනතාව මේ ගැන වැඩි අවධානයකින් පසුවිය යුතුයි. ඒ වගේම ගොඩනැගිලි බහුල කොළඹ, නුවර, ගාල්ල වගේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි. අනතුරැ අඟවා ඇති පරිදි රිච්ටර් මාපාංක 8ක භූ කම්පනයක් වුණොත් ඒක කලින් වාර්තා වූ ඒවාට වඩා 100 ගුණයක් වැඩියි. අපට දැනෙන්නෙත් 100 ගුණයක ප්‍රබලත්වයකින්. කම්පනය කොළඹට වගේම යාපනයටත් දැනෙයි. පුරෝකථන කියපුවා මේ වන තෙක් හරියට සිදුවෙලා නෑ. වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. විද්‍යාත්මක සාක්ෂි පදනම්ව යමක් කියනවා නම් එය නොසලකා හැරිය යුතු නෑ. අවධානයෙන් පසුවීම වැදගත්.''
භූ කම්පන සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පවසන්නේද භූ කම්පන පිළිබඳ පුරෝකථන සිදුවීමටත් නොවීමටත් ඉඩ ඇති බවය. ලෝකයේ වසරකට වරක් රිච්ටර් මාපාංක 8ක භූ කම්පනයක් වාර්තා වන බවට උපකල්පනයක් පවතින බවත් ඒ අනුව මේ වසරේ රිච්ටර් මාපංක 7.8ක කම්පනයක් තුර්කියෙන් වාර්තා වූ බවත්ය. වළක්වාලීමට නොහැකි එවැනි කම්පන පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතුය. වගකිව යුතු අංශවල මැදිහත්වීම හා විමර්ශන අනුව සිදුවීමට හැකි හානිය අවම කරගත හැකිය. එබැවින් අනිසි බියකින් තොරව අවධානයෙන් පසුවීම සුදුසුය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර