මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළයාම නැතිනමි ශක්තිමත් වීමට පටන්ගෙන තිබේ. මාර්තු මාසයේ මුල් දින 08 තුළ අමෙරිකානු ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය රුපියල් 43.91කින් අඩු වී ඇත. පෙබරවාරි 28දා ඩොලරයේ ගැනුම් මිල රුපියල් 357.68ක් වූ අතර 08දා වනවිට රුපියල් 313.77ක් විය. 28 දින රුපියල් 366.91ක් වූ අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල මාර්තු 08 වනවිට රුපියල් 331.05 දක්වා පහළ බැස්සේය. මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 280 දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASP1) සහ SePsL20 යන මිල දර්ශක දෙකම 7 වැනිදා වනවිට ඉහළ වර්ධකයක් පෙන්නුම් කළේය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය ඒකක 9642.94ක් වූ අතර SePsL20 ඒකකය 2869.14ක් බවට පත් විය. සමස්තයක් වශයෙන් ගත් කල මාර්තු 07 වනවිට බිලියන 3කට වැඩි පිරිවැටුපක් කොටස් වෙළෙඳපොළ පෙන්නුම් කළ බව වාර්තා විය. රුපියල ශක්තිමත් වීම සහ කොටස් වෙළෙඳපොළ වර්ධනය වීම ඉදිරි දින කිහිපය තුළ මෙයට වඩා ඉහළ අගයකින් සිදුවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ බලාපොරොත්තු වෙති.
මෙලෙස හදිසියේ අමෙරිකානු ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය පහළ යාමට ප්‍රධාන හේතුවක් වන්නේ මුදල් හුවමාරු පහසුකම් යටතේ ශ්‍රී ලංකාට අමෙරිකානු ඩොලර් කෝටි 40ක ණයක් ලබා දීමට ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තීරණය කිරීමයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේරණ සහ අපනයනවලින් 30%ක් හසුරුවන මෙරට පෞද්ගලික බැංකු තුනකට මෙම පහසුකම දී තිබේ. මෙම මුදලෙන් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍යව ඇති විදේශ සංචිත ලැබෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව බලාපොරොත්තු පළ කරයි. මේ නිසා රටට ආයෝජන ගලා එනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
මේ අතර පොලී අනුපාතික 1%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 06දා තීරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ක්‍රමයෙන් පහළට එමින් ඇති උද්ධමන අනුපාතිකය තවදුරටත් පහළ දැමීමට මෙය සිදු කළ බවයි. භාණ්ඩ සහ සේවා සඳහා වෙළෙඳපොළේ පවතින ඉල්ලුම පහළට ගෙන ඒමට මෙය හේතු වන බව ඔහු පවසයි. මේ අනුව 14.50%ක් වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.50% දක්වාද 15.50%ක් වූ ණය පහසුකම් අනුපාතිකය 16.50% දක්වාද ඉහළ නැග තිබේ. මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ_වර් මහතාගේ පැසසුමටද පාත්‍ර වී තිබේ.
තවද ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා වාණිජ බැංකුවලට දී තිබූ නියෝගයක් වෙනස් කළ අතර, වාණිජ බැංකුවලට ලැබෙන විදේශ විනිමයෙන් 25%ක් අනිවාර්යයෙන් මහ බැංකුවට ලැබිය යුතු බවට පනවා තිබූ නියෝගය 15% දක්වා පහළ දමා තිබේ. මෙයද රුපියලේ අගය ශක්තිමත් වීමට බලපාන බව මහ බැංකුව අදහස් කරයි. පසුගිය කාලයේ මහ බැංකුව සතුව තිබූ ඩොලර් සංචිත නිදහස් කර ඩොලර් ඉල්ලුම පාලනය කළා අපට මතකය. එහෙත් එයින් සංචිත දිය වී යාමෙන් ගැටලු ගණනාවක් ඇතිව තිබේ. මේ නිසා මේ අවස්ථාවේ විදේශ ණයවලින් හෝ රුපියල ශක්තිමත් කිරීමෙන් සංචිත වැඩිකරගත හැකි නම් එය වැදගත් බව වැඩි දෙනකුගේ අදහසය.
මේ වනවිට නිල සංචිත 4.5%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. 2023 ජනවාරිවල ඩොලර් මිලියන 2121ක් වූ නිල සංචිත පෙබරවාරිවල 2217 දක්වා ඉහළ නැග ඇත. ඉදිරියේදී නිල සංචිත තවත් ඉහළ නංවා ගැනීමට ක්‍රියා කරන බව මහ බැංකු අධිපති පැවසීය.
රුපියල ශක්තිමත් වෙමින් පවතින නිසා විදේශවල සේවය කරන ශ්‍රමිකයන් ස්වකීය වැටුප් වාණිජ බැංකු හරහා රටට එවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. මෙතෙක් බොහෝ දෙනා මුදල් එව්වේ කළුකඩ මූල්‍ය වෙළෙඳපොළ හරහා වන අතර එම මුදල් වාණිජ බැංකුවලට ලැබීම ආර්ථිකය ප්‍රසාරණය වීමට හේතු වෙයි. රුපියල ස්ථාවර වීම නිසා මූල්‍ය ව්‍යාපාරිකයන්ද ඉච්ඡාභංගත්වයට පත්ව ඇති අතර ඔවුන්ගේ උණ්ඩියල් ව්‍යාපාරවලට පහර වැදී ඇති බවද අනාවරණය වෙයි.
රුපියල ශක්තිමත් වීම නිසා රටේ භාණ්ඩ වෙළෙඳපොළ විපර්යාසයකට භාජනය වෙමින් පවතින බවට ආරංචි පළ වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ. සුදු සීනි කිලෝව රුපියල් 130කින්, පරිප්පු කිලෝව රුපියල් 40කින්, තිරිඟු පිටි කිලෝව රුපියල් 15කින්, ලොකු ලූනු කිලෝව රුපියල් 30කින් ආදී වශයෙන් ආහාර ද්‍රව්‍යවල මිල පහළ ගොස් ඇත. පාන් ගෙඩියක මිලද රුපියල් 10කින් 8දා සිට අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ පාන් ගෙඩිය රුපියල් 100 දක්වා පහළ බැස්සවීමට අපේක්ෂා කරන අතර සෙසු බේකරි නිෂ්පාදනවල මිලද එයට සමානුපාතිකව අඩු කරන බවය. කේක්වල මිලද රුපියල් 100කින් අඩු වී ඇත. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ සාමාන්‍ය කෑම පාර්සලයක මිල රුපියල් 20කින්ද සෙසු රයිස් සහ කොත්තු රොටි ආදියේ මිලද එයට සමානුපාතිකව අඩු කිරීමට අපේක්ෂා කරන බවය.
පසුගිය සතියේ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණද රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මිල වැඩි නොකර පවතින මිලම පවත්වාගෙන යන බවද ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කරයි. එසේම රත්රන් පවුමක මිල රුපියල් 15,000 – 20,000 පමණ අඩු වූ බව කොළඹ රන් භාණ්ඩ අලෙවිකරුවෝ ප්‍රකාශ කරති.
මෙලෙස හැම පැත්තකින්ම ලැබෙන ආර්ථික වාසි එලෙසම දිගට පවත්වාගෙන ඒම සෑහෙන අභියෝගයක් බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. දිගු කලක් සංකෝචනය වී තිබූ ආර්ථිකය මෙලෙස ප්‍රසාරණය වීමට පටන්ගෙන ඇත්තේ නිෂ්පාදනය වැඩි වී රටේ ආර්ථික දියුණුවක් ඇතිවීම නිසා නොව මේ දිනවල විදේශ ණය ලැබීම නිසා බවට මත පළ වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල් ණය වාරිකය මෙම මාසයේ අවසානයට ලැබෙනු ඇතැයි විශ්වාස කරන අතර මේ සියල්ලම අපට ලැබෙන ණය මිස ප්‍රසාද මුදල් නොවේ. ඒවා ක්‍රමයෙන් ගෙවිය යුතුව ඇත. පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ හා දේශීය ණය ගෙවීම අප නවතා ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු සිදුවෙමින් පවතී. මෙවැනි වාතාවරණයක ඉදිරියේදී විධිමත් ආර්ථික සැලසුම් ක්‍රියාත්මක නොකළහොත් යළිත් රටේ ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ වේ.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න පවසනුයේ දැනට පෙනෙන්නට ඇති ආර්ථික ප්‍රබෝධය තාවකාලික බවයි. දැනෙන මතුපිටින් දිස්වන රුපියල ශක්තිමත් වීමේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව අපොහොසත් වනු ඇති බව ඔහු කියයි.
''මේ තත්ත්වය වැඩි කල් තියාගෙන ඉන්න බැහැ. රුපියල අල්ලාගෙන හිටියට අතහැරිය ගමන් යළි තිබුණට වඩා පහළට යන්න පුළුවන්. එවිට සිද්ධ වෙන්නේ සියල්ල උඩු යටිකුරු වීමක්. විනිමය අනුපාතිකය ඩොලර් ඉල්ලුම හා සැපයුම මත තමයි තීරණය වන්නේ. එහෙම නැතිව කෘත්‍රිමව ඇති කරන දේවල් දිගටම තියාගන්න බැහැ.''
මහාචාර්යවරයා අවධාරණය කරන්නේ පසුගියදා ලෝක බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු දෙකකට මුදාහැරිය බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල ශක්තිමත් වීම පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇරඹුණු බව ඔහු ප්‍රකාශ කරයි. එසේ නැතිව ගැටලුවට අදාළ විසඳුම් ලැබීමක් සිදු නොවුණු අතර මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ප්‍රසාරණය වූවා යැයි උදම් ඇනීමට හේතුවක් නොවන බව මහාචාර්යවරයාගේ අදහස වෙයි.
''ඩොලර් ඉල්ලුම කෘත්‍රිමව පාලනය කිරීම තමයි අද කරමින් සිටින්නේ. ආනයන කොන්දේසි විශාල ලෙස දැඩි කර තිබෙනවා. වසර ගණනක සිට වාහන ආනයනය සීමා කර තිබෙනවා. එහෙම වාහන අලුතින් ගෙන්වීම නැවැත්වීම නිසා රට තුළ පවතින වාහනවල මිල අසීමිත ලෙස ඉහළ ගිහින්. අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති නිසා වාහන නඩත්තු කිරීම අපහසුවෙලා. එසේම අපනයනවල කියන තරම් වර්ධනයක් නැහැ. අපනයන කරන අය ස්වකීය ආදායම මෙරටට ගෙනෙන්නේ නැහැ. පිටරට බැංකුවල තියාගෙන තම වියදමට අවශ්‍ය සුළු ප්‍රමාණයක් පමණයි ගේන්නේ. එයට හේතුව රටේ පවතින අසාධාරණ බදු ප්‍රතිපත්තියයි. කොයි වෙලේ කොතරම් බදු වැදෙයිද දන්නේ නැහැ. එම මුදල් මෙරටට ගෙන්වීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නැහැ. විදේශවල සේවය කරන අයගෙන් ලැබෙන ප්‍රේෂණ තවම අපට ලැබෙන්නේ ටිකයි. ඒ අය එම මුදල් මෙරටට එවීමට බයයි පවතින ආර්ථික සහ දේශපාලන වාතාවරණය අයහපත් නිසා.''
මහාචාර්යවරයා පවසන්නේ රජය ගෙන ඇති පියවර නිසා රටේ ආර්ථිකය සංකෝචනය වී ඇති බවකි. බැංකු පොලිය වැඩිවීම නිසා ජනතාව මුදල් බැංකුවල දමා ඉහළ පොලියක් ලබාගන්නට පෙළඹී තිබේ. මේ නිසා ජනතාව අතර ගැවසෙන මුදල් බැංකුවල හිරවී තිබෙන අතර එයින් රටේ ආර්ථික වර්ධනයක් සිදු නොවේ. ඔහු පවසන අයුරු ණය පොලී වැඩිවීම නිසා බැංකුවලින් ණය ගන්නා අය අඩු වී තිබේ. ඒ නිසා ආයෝජන සිදු නොවේ. 30%කට වැඩි තරම් පොලියක් ණයට ගෙවන විට ආයෝජනය කර ලාභ ලබන්නේ කෙසේද? ඉන්ධන, විදුලි බිල, ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආදියේ මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. නිෂ්පාදන භාණ්ඩ ඉහළ මිලකට විකිණීම සිදුවෙයි. ඒ අතරම රටේ ආර්ථික හා දේශපාලන තත්ත්වයේ ස්ථාවරභාවයක් නැති අතර අද පවතින තත්ත්වය හෙට වෙනස් වෙයි. මේ නිසා දැඩි වගකීමක් දැරීමට ආයෝජකයන්ට සිදුවන නිසා ආයෝජනයට උනන්දුවක් නොදක්වයි.
උද්ධමනය අඩුවීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම දිගටම පවත්වාගෙන යාමට හැකිවේද යන්න ගැන විමසූ විට මහාචාර්යවරයා දුන් පිළිතුර මෙයයි.
''උද්ධමනය අඩුවීම දිගටම පවත්වාගෙන යන්න බැහැ. අද උද්ධමනය පහළ යාම සිදුව ඇත්තේ උද්ධමය අඩුවීමේ නියම හේතු මත නොවෙයි. අපට ලැබුණු ඩොලර් මිලියන 400ක ණය මුදලක් නිසයි. මේ ණය අවසන් වූ විට සිදුවන්නේ කුමක්ද? රුපියල ශක්තිමත් වීමත් ඒ හා සමාන දෙයක්. එය රටේ ආර්ථික තත්ත්වය යහපත් වීම නිසා සිදුවූවක් නොවෙයි. තාවකාලික කෘත්‍රිම තත්ත්වයක්. මාස 2 – 3කින් යළි මුලින් තිබූ තත්ත්වයට පැමිණේවි.''
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබුණු විට තත්ත්වය යහපත් නොවේදැයි විමසූ විට ඔහු මෙසේ කීවේය.
''ඔව්. ඒ මුදල් නිසා යම් සහනයක් වෙයි. ඒත් රජය ගන්නා ආර්ථික ප්‍රතිපත්ති යහපත් නොවුණහොත් යළි පරණ තත්ත්වයට පත්වෙනවා ඇති. ව්‍යහුගත වෙනස්කම් රටේ ආර්ථිකයේ ඇතිවිය යුතුයි. විදේශ විනිමය අපට ලැබෙන මාර්ග ඇතිකරගත යුතුයි. නව ආදායම් උත්පාදන මාර්ගවලට යා යුතු වෙනවා. විනිමය පිටතට ගලා යාම අඩු කළ යුතුයි. ආනයන පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඒත් අද සිදුවෙන්නේ තව තවත් ආනයන වැඩි කිරීමක්. බිත්තර ආනයනය මෙයට හොඳ උදාහරණයක්. රටේ දේශීයව නිෂ්පාදනය කරන බොහෝ දේවල් අද කිසිදු සීමාවකින් තොරව ආනයනය කරනවා. කොතරම් ගැසට් ගසා ආනයන තහනම් කළ බව ප්‍රචාරය කළත් තමන්ගේ අයට ටොයිලට් පේපර් පවා ගෙන්වන්න අවසර දී තිබෙනවා. කියන දේ නොවෙයි කරන්නේ. වංචා දූෂණවලින් කොතරම් මුදලක් එක එක අයගේ සාක්කුවලට යනවද?''
ඔහු පවසන්නේ ජනාධිපතිවරයා ගන්නා ආර්ථික ප්‍රතිසංස්කරණ තීරණවලට තමා එකඟ වන බවයි. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම කොතරම් දුරට ප්‍රායෝගිකද? දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා දායකත්වය සපයයිද යන්න ගැටලු සහගත බව ඔහුගේ මතය වෙයි. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ආර්ථික අර්බුදයෙන් යම් පමණකට හෝ ගොඩ යා හැකි නමුත් ඒවා කොතරම් දුරට ඉටු කළ හැකිවේද යන්න අවිනිශ්චිත බව ඔහුගේ අදහසය.
මහාචාර්යවරයා පවසන තවත් අනාවැකියක් වන්නේ මෙම බැංකු පොලී අනුපාතික ඉස්සීම දිගටම තබාගත නොහැකි වන බවයි. එම තත්ත්වය තව මාස කිහිපයකින් වෙනස් වෙයි. ආර්ථිකයේ ඊළඟ කඩා වැටීමට පොලිය ඉහළ යාම බලපානවා ඇති. මුදල් හංගලා ආර්ථිකය ගොඩදාගත නොහැකි බව ඔහුගේ අදහසය. උද්ධමනය තනි ඉලක්කමට ගෙන එය බව පැවසීම කවදා කළ හැකිද යන්න අවිනිශ්චිත යැයි ඔහු කියයි.
''ආර්ථික විනයක් ඇතිවිය යුතුයි. අනුන්ගේ ණයවලින් ආර්ථිකය හදන්න බැහැ. අපට ස්වාධීනව නැගී සිටින්නට අවස්ථාව ලැබිය යුතුමයි. දැනට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බටහිර මොඩලය අපට ගැලපේද? එය දිගටම ගෙන යා හැකිද යන්න සලකා බැලීම වැදගත්. එහෙම නැතිනම් ස්වල්ප කාලයකින් සියල්ල බිඳ වැටෙනවා ඇති.''
I යසවර්ධන රුද්රිගූ