ගෙවුණු සතියේ වැඩවර්ජන සහ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය, තැපැල්, විදුලි බැංකු ඇතුළු ක්ෂේත්‍ර රුසක වෘත්තීය සමිති 40ක් අවතීර්ණ වූයේ නව බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි. ඉකුත් 15 වැනි බදාදා දින දීපව්‍යාප්ත දැවැන්ත වැඩවර්ජනය සිදු වූ අතර එම වැඩවර්ජනය හේතුවෙන් බොහෝ රාජ්‍ය සේවා කඩා වැටී තිබුණි. කෙසේ නමුත් රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති 16 වැනිදා පියවර ගත්තේය.
15 වැනිදා දියත් කෙරුණු වර්ජනය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන්හි දෛනික කාර්යයන් අඩපණ වීම නිසා ජනතාව ද ඉන් පීඩාවට පත්වූහ. කෙසේ වෙතත් එම වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළේ මීළඟ වැටුප් දිනය දක්වාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. වෘත්තීය සමිති ගණනාවක්ම වර්ජනය අත්හිටවුවත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහීමට පත්විය හැකි විසඳුම් නොලැබීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ඒ හේතුවෙන් එළඹෙන 21 වැනි අඟහරුවාදා දින දක්වා රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ශාස්ත්‍රීය වැඩ කටයුතු බාධා වනු ඇත.
උපයන විට අය කරන බද්ද වහාම සංශෝධනය කළ යුතු බවට ප්‍රකාශ කරමින් වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ බැංකු සේවකයෝ ප්‍රථමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළහ. ඉකුත් මස කළු සතියක් ප්‍රකාශයට පත්කොට තිබූ වෛද්‍යවරුන්ගේ සංගමය මේ මස 13 සහ 14 දෙදින තුළ පළාත් අනුව වැඩවර්ජනයක නිරත විය. 15 වැනිදා දීපව්‍යාප්ත වර්ජනයට එක්වීමත් සමඟ සියලු රෝහල්වල දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මසක කාලයක් පමණ බදාදා දිනයන්හි දේශනයන්ගෙන් බැහැර වී සංකේතාත්මක වැඩවර්ජනයක නිරත වුවත් පිළිගත හැකි විසඳුමක් නොලැබීම නිසා ඉකුත් 10 වැනි දින සිට අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කළේය.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයන් ද 13 වැනිදා කළු ඇඳුමින් රාජකාරිවලට පැමිණි අතර 14 වැනිදා කෑම පැයේදී උද්ඝෝෂණවල නිරත වූහ. 15 වැනිදා වර්ජනය හේතුවෙන් ලංකා බැංකු ශාඛා ගණනාවක කටයුතු අඩපණ වූ නමුත් මහජන බැංකු අඩකට ආසන්න ප්‍රමාණයක දෛනික සේවා සාමාන්‍ය පරිදි සිදුවිය. දීපව්‍යාප්ත වැඩවර්ජනයට දුම්රිය සංගම් ද සහභාගී වීම හේතුවෙන් එදින ධාවනය කරගත හැකි වූයේ දුම්රිය ගමන් වාර 21ක් පමණි. පෞද්ගලික සහ ලංගම බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවීම නිසා මගී ප්‍රවාහනයට එතරම් බාධාවක් එල්ල නොවීය.
තෙල් සංස්ථා සේවකයන්ගේ වෘත්තීය සමිති කිහිපයක් ද වර්ජනයට එක්වූ නමුත් 15 වැනිදා දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය ලෙස සිදුවිය. විදුලි සේවකයන් ද වර්ජනයට එක්ව සිටි අතර එදින කිසිදු නඩත්තු කටයුත්තක්, හදිසි බිඳවැටීම් පාලනය ආදී සේවා හෝ මනු කියවීම්, බිල් අයකිරීම් සිදු නොවීය. ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ද තැපැල් සේවකයන් ද වර්ජනයට එක්වෙමින් එදින සේවාවෙන් ඉවත් වූහ. එමෙන්ම මහ බැංකුවේ නිලධාරීන්, රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා වරාය වෘත්තිය සමිති ද වැඩ වර්ජනයට එක්වූහ.
දීපව්‍යාප්ත වර්ජනයට ගුරු සංගම් සහ විදුහල්පතිවරුන්ගේ සංගම් සහාය පළ කිරීම නිසා පාසල් පද්ධතිය මුළුමනින්ම අඩපණ විය. 15 වැනිදා කිසිදු රජයේ පාසලක් නොපැවැත්වුණු අතර එදින පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වාර විභාගය කල් දැමීමට අධ්‍යාපන නිලධාරීන්ට සිදුවිය. ගුරු සංගම් සහ විදුහල්පතිවරුන්ගේ සංගම් බදු සංශෝධනයට අමතරව 20000ක ජීවන වියදමක් ඉල්ලමින් වර්ජනයට එක්විය.
15 වැනිදා පැවැති දීපව්‍යාප්ත වැඩවර්ජනයේ ඉල්ලීම් අතර බදු සංශෝධනයට අමතරව විදුලි බිල පහත දැමීම, ජීවන වියදම අඩු කිරීම හා රාජ්‍ය මර්දනය නැවැත්වීම ද විය. එමෙන්ම බැංකු ණය පොලී අනුපාත අඩු කරන ලෙසත්, රුපියල් 20,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන ලෙසත්, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව වහා නතර කරන ලෙසත් වෘත්තීය සමිති ඉල්ලා සිටියේය.
මෙම වැඩවර්ජනය නිසා රටේ එදිනෙදා කටයුතු කඩා වැටීමේ වගකීම පාලකයන් විසින් භාරගත යුතු බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දුන්හ. මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මෙම වැඩවර්ජනය දේශපාලන වැඩසටහනක් බවට චෝදනා කළේය. නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ දැනට ලැබෙන ආදායමෙන් රජයේ වියදම් පියවා ගැනීමට නොහැකි වීම මත මෙලෙස බදු වැඩි කිරීමට සිදුව ඇති බවයි. බදු අලුතෙන් පනවා නැති බවත් 2019 පැනවූ බද්ද වැඩි කිරීමක් පමණක් කර ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඍජු බදු අය කරන්නේ රාජ්‍ය සේවකයන්ගෙන් 5෴ක් වැනි සුළු පිරිසකගෙන් වුවත් සමස්ත රටක්ම වර්ජනය කළේ එවැනි සුළු කණ්ඩායමක් වෙනුවෙන් බවයි. මේ මොහොතේ මෙලෙස බද්දට එරෙහිවීම තුළ දීර්ඝ කාලීනව ජනතාවට දුක් විඳීමට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් බිලියන 46ක් අහිමි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 16 වැනිදා ප්‍රකාශ කළේය. වෘත්තීය සමිති නායකයකු වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ අඛණ්ඩ වර්ජනයට ජාතික ජන බලවේගය එකඟ නැති බවයි. ජනතාව දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් ඔවුන් තවත් පීඩාවට පත්කිරීමේ වැඩවර්ජන මේ මොහොතේ සුදුසු නැති බවත් ආණ්ඩුවට වාසි සලසන වැඩවර්ජන සඳහා සහාය නොදෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
15 වැනිදා පැවැති වැඩවර්ජනය අධෛර්යමත් කිරීමට සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කිරීමට රජය පියවර ගෙන තිබුණි. එමෙන්ම වර්ජනයට එක්වන්නන් සේවයෙන් ඉවත් කරන බවට කටකතා පැතිරවීමට කටයුතු යොදා තිබුණද වෘත්තීය ක්‍රියාමාර්ගය සෑහෙන දුරට සාර්ථක කර ගැනීමට වෘත්තිය සමිති සමත් විය. කෙසේ නමුත් එදින සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන්ගේ එක්දින වැටුප් අහිමි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට පුවත් වාර්තා වේ.
I සකීෆ් සාම්