2023 මාර්තු 26 වන ඉරිදා

ඩොලරය - රුපියල අතරේ ඇඹරෙන වෙළෙන්දෝ

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 79

දශක හතරකට පමණ පසුව පසුගිය සති දෙකකට පෙර සිට රුපියල ශක්තිමත් වීම පිළිබඳ බොහෝ දෙනෙක් කතා කරන්නේ දැඩි සතුටිනි. එයින් රටේ බඩු මිල පහළ බැස ජනතාවට සහනයක් සිදුවන අතර උද්ධමන අනුපාතිකය ක්‍රමයෙන් අඩුවීමෙන් ආර්ථික තත්ත්වය ප්‍රසාරණය වනු ඇති බවට ධනාත්මක ලෙස විශ්වාසය පළ කරන්නෝ බොහෝ වෙති. රුපියල ස්ථාවර වීම නිසා අපට ඩොලර් ලැබීම වැඩිවීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් ලෝකයේ සෙසු දියුණු රටවල් සමඟ එක පෙළට සිටීමේ වාසනාව උදා වනු ඇතැයි අනාවැකි පැවසේ. ආනයනවල මිල පහළ යාම නිසා ජනතාවගේ දුෂ්කරතා යම් පමණකට හෝ දුරුව ගොස් ඔවුන්ගේ ජීවිතවල යම් ප්‍රබෝධයක් නුදුරේදී දැකගැනීමට හැකිවනු ඇතැයි සුබවාදීව සිතන්නෝ වැඩි වී සිටිති.

රටට සිදුවෙමින් පවතින යහපත සමඟම මෙයින් යම් ආකාරයක විපතට පත්වී සිටින ජනකොටසක් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. එහෙත් ඒ පිළිබඳ රටේ වගකිවයුත්තන් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැතැයි විවේචන පළවෙයි. මෙම රුපියලේ පිබිදීම රටේ සෑම ක්ෂේත්‍රයකටම එක සේ සුබාවාදී වෙයිද යන්න පිළිබඳ ඇත්තේ විචිකිච්ඡාවකි. රුපියල ශක්තිමත් වීම තවමත් රටේ ජනතාවගේ පොකැට්ටුවට එතරම් බලපාන බවක් නොපෙනුණත්, මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට බිලියන ගණනක අලාභයක් විඳින්නට සිදුව ඇතැයි මැසිවිලි නැගේ. රජය ව්‍යාපාරවලට යොමුවීමෙන් වැළකී පෞද්ගලික ව්‍යවසායකයන් කෙරෙහි විශ්වාසය තබා ඇති අවධියක මෙම ව්‍යාපාරිකයන්ට සිදුව ඇති වින්නැහිය පිළිබඳ වගකිවයුත්තන් අවධානය යොමුකර නැති බවට චෝදනා එල්ල වේ. අද අප මේ ලිපිය තුළින් සාකච්ඡා කරනුයේ එම අංශවලට සිදුව ඇතැයි කියන හානිය අවම කරගෙන ඔවුන් තවදුරටත් ව්‍යාපාර ලෝකයේ රඳවා ගැනීම කෙසේ කළ යුතුද යන්න පිළිබඳවය’

භාණ්ඩ ආනයනය කළ සැණින් ඒවා රටට නොලැබෙන අතර ඒවා වරායට ළඟාවීම සඳහා අවම වශයෙන් සති තුනක පමණ කාලයක් ගතවන බව කියයි. භාණ්ඩ නැව්ගත කළ දා සිට මෙරටට පැමිණීමට ගතවන එම කාලය තුළ සිදුවන සියලු මිල වෙනස්වීම්වල වගකීම දරාගත යුත්තේ අදාළ ආනයනකරුවන් විසිනි. ඒ අය පවසන්නේ තමන්ට සිදුවන අසාධාරණකම්වලට වගකිවයුත්තන් කිසිදු ප්‍රතිකර්මයක් නොයොදන බවය. දේශීය රුපියල ශක්තිමත් වීම පමණක් නොව ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල හිටිඅඩියේ වෙනස්වීම මෙන්ම රෝග පීඩාදිය නිසා නිෂ්පාදන පහළ යාමෙන් සිදුවන වෙනස්වීම්ද භාණ්ඩ මිලට විශාල ලෙස බලපායි. එසේම රජයේ අත්තනෝමතික බදු වෙනස්කම් සිදු කිරීම නිසාද ඔවුහු දැඩි පීඩනයකට පත්ව සිටිති. ඒ අතරවාරයේ දැනට ඇතිවෙමින් පවතින භාණ්ඩවල මිල පහළ යාමේ අලාභයට කරගසන්නට සිදුව ඇත්තේ ආනයනකරුවන්ට පමණය. පාලකයන් ඒ වෙනුවෙන් පෙනී සිටීමක් කරන බවක් නොපෙනෙන බවට චෝදනා කෙරේ.

තමන්ට මුහුණ පාන්නට සිදුව ඇති තත්ත්වය පිළිබඳ අනාවරණය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මෙසේ පවසයි.

''ඕනෑම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්නේ එයට ආයෝජනය කරන මුදලට සරිලන ලාභයක් අපේක්ෂාවෙන්. දිගටම තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් ආනයනය කරන භාණ්ඩවලට ආනයනකරුවන්ට සාධාරණ ලාභයක් ලැබිය යුතුයි. එහෙම නැතිව සමාජ සත්කාරක සේවාවක් ලෙස භාණ්ඩ අලෙවි කරන්න බැහැ. අද බැංකු පොලිය 30% - 32% ප්‍රමාණයට ඉහළ ගිහින්. තම ඉඩම් කඩම් පවා උගස් කර ගත් ණය මුදල් ආයෝජනය කිරීමෙන් තමා ප්‍රාග්ධනය ලබාගන්නේ. ඉතින් ව්‍යාපාරවලින් ලබන ලාභයෙන් ඒ ණය ගෙවිය යුතු අතර අපේ දහස් සංඛ්‍යාත සේවකයන් ජීවත් කරවන්නත්, අපට ජීවත් වන්නටත් මෙලෙස සාධාරණ ලාභයක් ලැබීම අනිවාර්ය වෙනවා.

ඇත්තෙන්ම අපි ඩොලර් එක රුපියල් 370ට තිබියදී ආනයනය කළ බඩු අද ඩොලරය රුපියල් 310 දක්වා පහළ වැටෙන විටත් අපේ ගබඩාවල තිබුණා. අපි ඉහළ මිලට ඇණවුම් කළ භාණ්ඩ රුගත් නැව් රටට ළඟාවෙමින් තිබුණා.

ආනයනකරුවන් අතේ සල්ලි තියාගෙන නෙමෙයි භාණ්ඩ ඇණවුම් කරන්නේ. අපි බොහෝ විට සල්ලි ගත්තේ විවෘත වෙළෙඳපොළෙන්. එහි මිල අධිකයි. ඒත් ඩොලර් එක දුර්වල වුණාම ඩොලර් සැපයුම්කරුවන් ඩොලර් එළියට දාන්නෙ නැතිව ළඟා තියාගෙන ඉන්නවා. එතකොට භාණ්ඩ ගෙන්වන්න අපට ඩොලර් නැතිවෙනවා. අපි කොහෙන්ද ගන්නේ?

දැන් බලන්න සති දෙකකට කලින් සීනි කිලෝව රුපියල් 185 දක්වා පහළ ගියා. ඒ සීනි අපි ආනයනය කළේ රුපියල් 220 බැගින්. එතකොට කිලෝ එකකින් අපට රුපියල් 35 පාඩු වෙනවා. අපිට රුපියල් කෝටි ගාණක් පාඩුයි. ඒ පාඩුව පියවා ගන්න අපට කොච්චර කාලයක් යනවාද? අපට ඩොලර් එක ඉහළ යනතුරු පරිප්පු, සීනි තියාගෙන ඉන්න බැහැ. එහෙම වුණොත් අපි ආනයනය කරපු භාණ්ඩ ගබඩාවල තියන්න ඉඩ නැති වෙනවා. එවිට සිද්ධ වෙන්නේ ප්‍රමාද ගාස්තු ගෙවමින් ගුදම්වල තියාගන්නයි. ව්‍යාපාරිකයන් විශාල අවදානමක් අරගෙනයි ව්‍යාපාරවල නිරතවෙලා සිටින්නේ. මේක සූදුවක් කියලා හිතාගෙන වැඩ කරන්න බැහැ.

පහුගිය කොරෝනා කාලෙ රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙනකොට අත්‍යවශ්‍ය සේවා අඩපණ වෙලා ජනතාව අසරණව සිටියදී ආනයනකරුවන් බොහෝ දුෂ්කරතා විඳගෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරලා ජනතාවට සහන සැලැස්සුවා. අපි ඒ කාලයේ කළ සේවය නිසා තමා ජනතාව අමාරුවෙන් හරි ජීවත් වුණේ. පාලකයන් එවැනි තත්ත්වයකදි අප කළ සේවය අමතක වෙලා වාගෙයි දැන් සිටින්නේ.

රුපියලේ පිබිදීම අපට වගේම තේ, කුරුඳු, ගම්මිරිස්, පොල්, එළවළු, පළතුරු වැනි අපනයන ක්ෂේත්‍රවල ආදායම අඩුවෙන්න බලපා තියෙනවා. එය සමස්ත රටටම අහිතකර තත්ත්වයක්. රජය මේ අවස්ථාවේදී සමබර කරලා ජනතාවට සහන සලසනවා වගේ අපේ ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය සහාය දේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.''

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර පවසන්නේ මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත්තේ සීනි ආනයනකරුවන්ට පමණක් නොව රටේ සියලුම ආනයනකරුවන්ට බවය.

''වෙළෙඳාමේදී යම් අනතුරක් ගන්න වෙනවා. ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. එයට හැඩගැසීමට පුරුදු විය යුතුයි. මාර්තු මස 1දා සිට ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුවීම නිසා එයින් පසු ආනයනය කරන දේවල මිල අඩු වුණත් එයට පෙර ගෙන්වූ සීනි ගබඩාවල තියෙනවා. ඒවාට ගෙවා ඇත්තේ වැඩි මිලක්. ඒවා ගබඩාවලින් පිට නොකර දිගටම තියාගන්න බැහැ. කල් ගතවන විට සීනිවල ස්වභාවය වෙනස් වෙනවා. දියවෙන්න පටන්ගෙන ප්‍රමිතිය වෙනස් වෙනවා. එතැනදි දිගටම තබාගෙන සිටියොත් පාඩුව වැඩි වෙනවා. ඒ නිසා තීරණයක් ගන්න සිදු වෙනවා.

රටේ ජනතාවට කන්න දෙන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයායි. විවෘත ආර්ථික ක්‍රමය යටතේ ව්‍යාපාරිකයාගේ වගකීම වැඩියි. පෞද්ගලික ව්‍යාපාරිකයන්ද කරන්නේ සේවයක්. මොකද රජය ව්‍යාපාරවලින් දුරස් වීමේ ප්‍රවණතාවක් තිබෙන නිසා. එහෙත් ජනතාව කූඨ ව්‍යාපාරිකයන් කියලා අපට දොස් තබනවා. ජනතාවට වැඩිපුර කන්න දෙන්නේ අපි බව ඔවුන්ට අමතකයි.

අද පවතින වෙළෙඳ රටාව අනුව වෙළෙඳපොළේ භාණ්ඩ අතර දැඩි තරගකාරිත්වයක් තිබෙනවා. කෙනෙක් වැඩියෙන් විකුණනවා. තව අයෙක් අඩුවෙන් අලෙවි කරනවා. අද පවතින මිල අඩුවීම දිගටම තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම දිගටම තියාගන්න බැරි අමෙරිකානු ඩොලරය මත සියල්ල තීරණය වෙන නිසයි. මෙවර රුපියලේ ශක්තිමත් වීම නිසා සීනි ආනයනකරුවන්ට විශාල අලාභයක් සිදු වුණා. එහෙත් එය කොපමණද කියලා නිසි ලෙස ගණනය කරන්න බැහැ. ආනයන වියදම්, ප්‍රවාහන වියදම්ද මෙයට එකතු කළ යුතුයි. එවිට සෑහෙන පාඩුවක් සෑම ආනයනකරුවකුටම දරාගන්න වේවි. එය දරාගෙන ව්‍යාපාරයේ රුඳී සිටීම මිස වෙන විකල්පයක් නැති බව පැවසිය යුතුයි.


තේ අපනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති දුෂාන්ත ද සිල්වා

''රුපියල ශක්තිමත් වීම ගැන ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සතුටු වෙනවා. එහෙත් එය සිදුවිය යුත්තේ ක්‍රමිකව බව අපේ අදහසයි. පසුගිය සති දෙක තුන තුළ රුපියල ශක්තිමත් වූ ආකාරය ඉතාම සංකීර්ණයි. රුපියල් 4 – 5ක අඩු වැඩිවීමක් අපට දරාගන්න අපහසු නැහැ. එහෙත් ඩොලර් එක රුපියල් 35 විතර පහළ වැටුණාම එය තේ අපනයනකරුවන්ට වගේම තේ දලු සැපයුම්කරුවන්ටත් එක විදියට බලපානවා. අපේ තේ වෙළෙඳපොළ මේ වනවිට 10% කින් විතර පහළ වැටිලා තියෙනවා. තේ දලු අපනයනකරුවන්ට ලැබුණු ආදායම කිලෝවට රුපියල් 200 කින් විතර පහළ ගියේ එක වරමයි.

තේ කර්මාන්තය පසුගිය කාලයේ අභියෝග රුසකට මුහුණ දුන්නා. ඒවායින් යන්තම් ගොඩ එන්නට හදන විට ලැබෙන ආදායමත් අඩු වුණාම කර්මාන්තය බිඳවැටීම නවත්වන්න බැහැ. ඩොලරය තවදුරටත් පහළ වැටුණොත් ආනයනකරුවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා නතර කරන්න සිදුවේවි. එහෙම වුණොත් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීම වළක්වන්න බැහැ. රටට ගෙනත් තියෙන ඒවායින් මිල ඉහළ යාවි. ළඟ එන උත්සව කාලයට කවදාවත් සිදු නොවුණු තරමේ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාවි. එවිට සිදුවන්නේ ඩොලරය අවප්‍රමාණ වීමෙන් කෙටි කාලයක් තුළ ලැබූ ලාභය වගේ දෙතුන් ගුණයක පාඩුවක් විඳින්න සිදුවීමයි. ඩොලරයට සාපේක්ෂව රුපියල් වටිනාකම උච්චාවචනය වීම කවදත් සිදුවන දෙයක් වුවත් මේ විදියට විශාල වෙනසක් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක්. රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙනවා වගේම රටේ ආර්ථිකයට මහඟු දායකත්වයක් දක්වන ආනයනකරුවන් සහ අපනයනකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව පෙන්වා දෙනවා.''
මේ පිළිබඳ අදහස් දක්වන පාරිභෝගික අයිතින් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක සහ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ ආනයනකරුවන් වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග විශාල ලෙස ආනයනය කර ගබඩා කර තබාගන්නා බවට මෙය හොඳ උදාහරණයක් බවය. 

''මේක අපේ රටේ සැමදාම පැවැති තත්ත්වයක්. ආනයනකරුවන් නිතරම කරන්නේ ඉදිරියේදි මිල ඉහළ යාවි යැයි බලාපොරොත්තුවෙන් විශාල ලෙස භාණ්ඩ ගෙන්වලා ගබඩා කර තබාගන්නවා. එහෙම තියාගෙන මිල වැඩි වූවාට පසු අලෙවි කර විශාල ලාභ ගන්නවා. ඔවුන් කවදාවත් වෙළෙඳපොළේ මිල ඉහළ ගොස් තිබෙන අවස්ථාවල තමන් අඩු මිලට ගෙනාවා යැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට දෙන්නේ නැහැ. දැන් ඒ උත්සාහය වැරදුණු විට කියනවා තමන්ට රුපියල ශක්තිමත් වීම නිසා පාඩු සිදුවන බව. අඩු මිලට ආනයනය කළ දේවල් වැඩි මිලට අලෙවි කරලා විශාල ලෙස ලැබූ ලාභයෙන් කොටසක් පාරිභෝගිකයාට දුන්නද? නැහැනේ. එහෙම නම් ඔවුන් කළ යුතු වන්නේ මෙවර යම් පාඩුවක් සිදුවෙනවා නම් එම පාඩුව මුලදී ලැබූ අතිරික්ත ලාභයෙන් පියවා ගැනීමයි. එහෙම නැතිව තමන්ට විශාල පාඩු සිදුවූවා යැයිද එනිසා ව්‍යාපාර අතහරින්න සිදුවූවා යැයිද කියමින් රජය සහ ජනතාව බියගැන්වීම නොවෙයි. ඔවුන් මෙතැනදි පරිත්‍යාගශීලී විය යුතුයි. ඒ මොකද ව්‍යාපාරවලින් ලාභ පාඩු දෙකම සිදුවිය හැකි නිසා.

ඇත්තටම නම් ඔවුන් ආනයනය කළ යුත්තේ ජනතාවට මාසයකට හෝ සීමිත කාලයකට අවශ්‍ය ප්‍රමාණය පමණයි. අසීමාන්විතව ගෙනත් ආහාර ද්‍රව්‍ය නරක් වූ පසු ඒවාද කෙසේ හෝ පාරිභෝගිකයාගේ ඇඟේ ගැසීමයි සිදුවෙන්නේ. මේ සඳහා ආනයන සැලසුමක් තිබිය යුතුයි.

තමන්ට පාඩු වූවා යැයි කියමින් තමන්ගේ භාණ්ඩ රජය විසින් අඩු කළ මිලට අලෙවි නොකර වැඩි මිලට විකිණීමට ඔවුන් යම් උපක්‍රමයක් සිදු කරනවා දැයි අපට සැකයක් මතු වෙනවා. මෙහෙම පෙන්වලා ඔවුන් අඩු මිලට ගෙනා දේවල් වැඩි මිලට විකුණන්න සැලසුම් කර තියෙන්න බැරිකමක් නැහැ. මෙහිදී රජය පාරිභෝගික සේවා අධිකාරිය ලවා ඔවුන්ගේ ගබඩා සහ ලිපි ලේඛන පරීක්ෂා කරවලා ඔවුන් කියන කතාවේ සත්‍යයක් තිබේදැයි සොයා බැලිය යුතුයි. එහෙම නැතිව ඔවුන්ට වැඩි මිලට අලෙවි කරන්නට ඉඩ දුන්නහොත් රුපියල ශක්තිමත් වීම පාදක කරගෙන ජනතාවට සහන සැලසීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ව්‍යර්ථ වෙනවා ඇති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු වුණොත් ආපන ශාලා හිමියන්ටත් පුළුවන් තම ආහාරවල මිල අඩු කරන්න. ඒ නිසා රජය තමන් දුන් සහනය ජනතාවට ලැබීමට සැලැස්වීම වැදගත් වෙනවා. භාණ්ඩ මිල තීරණය කළ යුත්තේ රජය මිස වෙළෙඳුන් නොවෙයි.''

මේ තත්ත්වය පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ රටේ භාණ්ඩ මිල තරගකාරිත්වය මගින් තීරණය වන නිසා වැඩි මිලට අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට හැකි නොවන බවය. එසේම ආනයනකරුවන්ට එක් වාරයකින් යම් පාඩුවක් සිදුවුවත් මිල සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු එම මිලට ආනයනය කර ලාභයක්ද තබාගෙන අලෙවි කිරීමට අපහසුවක් නොවන බව ඔහු පැවසුවේය. විවෘත වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වන නිසා වෙළෙඳුන්ගේ මිල වෙළෙඳපොළ බලවේගවලට සමානුපාතික විය යුතුය. ඩොලරය සඳහා අඩු රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවීම නිසා ආනයනකරුවන්ට සැමවිටම අසාධාරණයක් නොවන අතර එය කෙටි කාලයකට විඳ දරාගැනීමට ඔවුන්ට සිදුවන බවද කීය.

කොහොම නමුත් ළඟ එන උත්සව සමයේදී භාණ්ඩ මිල වැඩි නොවීමට අධිකාරිය පියවර ගනිමින් සිටින බව ඔහු කීවේය.

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02