2023 මාර්තු 26 වන ඉරිදා

පුංචි ඡන්දේ අලුත්ම තත්ත්වේ

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 58

දේශපාලන කරළියේ ලුණු ඇඹුල් රසැතිව කතා කරන ඇතැම් මාතෘකා කෙටි කාලයක ඇවෑමෙන් රස මැකී හපවීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් "මැතිවරණයක්" බඳු ප්‍රබල තේමාවක් හපයක්ව යාම කොතරම් යුක්ති යුක්තදැයි ගැටලුවකි. පළාත් පාලන මැතිවරණය පිළිබඳ වූ කතිකාවට සිදුවූයේ කුමක්ද? අප ඒ පිළිබඳ සොයා බැලීමට උනන්දු වූයේ එබැවිනි.

පසුගිය බ්‍රහස්පතින්දා පළාත් පාලන මැතිවරණය පිළිබඳ නවතම තත්ත්වය ප්‍රකාශයට පත්විය. මැතිවරණ කොමිසම නිවේදනය කළේ මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු නොවන බවයි. මෙදින මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක ද නිරත විය.

සාකච්ඡාව අවසානයේදී කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයට අනුව කියැවුණේ, සාකච්ඡාවට බඳුන් කළ කරුණු පිළිබඳ සලකා බලා, ඡන්ද විමසීමේ නීතිය පිළිබඳව ද අධ්‍යයනය කොට, මැතිවරණ දිනය පිළිබඳ කොමිසම ඉදිරි කාලයේදී තීරණයකට එළඹෙනු ඇති බවයි. කෙසේ වෙතත් අප්‍රේල් 25 වැනිදාට පැවැත්වීමට තීරණය කළ පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් දැමූ බවක් මෙම නිවේදනය හරහා නොකියවිණි.

මේ අතර දේශපාලන පක්ෂ මෙම සාකච්ඡාව අතරතුර මැතිවරණය සම්බන්ධ යෝජනා සහ අදහස් රුසක් ඉදිරිපත් කර තිබුණි. පිරිසක් සඳහන් කර තිබුණේ අප්‍රේල් 25 වැනිදාට මැතිවරණය පැවැත්වීමට නොහැකි බැවින්, නිශ්චිතව  දිනයක් සඳහන් කොට මැතිවරණය කල් දැමිය යුතු බවකි. එහෙත් තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ මැතිවරණය පැවැත්වීමට නිශ්චිත දිනයක් සඳහන් නොකොට මැතිවරණය කල් දමා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සාධක පූර්ණය වීමෙන් අනතුරුව දින නියම කළ යුතු බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අදාළව දැනට අධිකරණයේ පවතින නඩුකර මගින් දී ඇති අතුරු නියෝග අනුව ඡන්ද විමසීම කිසිසේත් කල් ගෙවිය නොහැකි බව තවත් කණ්ඩායමක් සඳහන් කර තිබේ. මීට අමතරව විධායකය, ව්‍යවස්ථාදායකය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කොට ඡන්ද විමසීම සම්බන්ධව අවසන් තීරණය ලබාගන්නා ලෙස ද තවත් කණ්ඩායමක් යෝජනා කර ඇත.

මෙවන් වටපිටාවක් තුළ සිකුරාදා මාධ්‍ය වාර්තා කළේ පුංචි ඡන්දය දින නියමයකින් තොරව කල් ගිය බවකි. එහෙත් මැතිවරණ කොමිසම එවැන්නක් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ නොකළ බව සඳහන් කළ යුතුය. ඊට හේතුව අධිකරණයේ පවත්නා නඩුකරය සහ අතුරු නියෝගය බව පැහැදිලිය.

කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධව නැවත නැවතත් උද්ගත වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් පරිපාලනමය අවුල් වියවුල් රුසක් ඇතිවිය. රජයේ වැටුප් රහිත නිවාඩු ලබාගෙන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් රුසක් අවුලෙන් අවුලට පත්වූහ.

මේ අතර පසුගිය සතියේ මාර්තු 19 වැනිදායින් පසුව පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් විය. ඒ අනුව මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී ඇත. මෙලෙස පළාත් පාලන ආයතනවල බලය මහජන නියෝජිතයන් අතින් ගිලිහී යාම ඉතා අහිතකර තත්ත්වයකි.

මැතිවරණ කොමිසමද පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරුන් පිළිබඳ අසතුටින් පසුවන බවද පෙනී ගියේය. උද්ගතව ඇති තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ලෙස අහිතකර බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා බීබීසිය වෙත පවසා තිබුණි.

“නිලධාරින්ගේ පාලනය තියෙනවයි කියන එක මහජන නියෝජිතයන්ගේ පාලනය හා සමාන වෙන්නේ නෑ. මොකද නිලධාරීන්ට මහජන නියෝජිතයන්ට තියෙන වගකීම නැහැ. ඒගොල්ලෝ අවසානේ වගවෙන්න ඕනෙ මහජනතාවට. නිලධාරීන්ට එහෙම නෑනේ."

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා මේ තාක් මැතිවරණ කොමිෂන් සභාව දරා ඇති වියදම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ බී.බී.සී සිංහල සේවය විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. ඒ අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර ඇතැයි කියැවේ.

2023 පෙබරවාරි මස අවසන් වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධිකය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තුගත කර ඇති සමස්ත වියදම රුපියල් මිලියන 9326 කි. එනම් බිලියන 9.3 කි. මැතිවරණය පැවැත්වීමට හරස් වී ඇත්තේද මෙම මුදලයි. ඒත් මැතිවරණය නොපැවැත්වීම නිසා නාස්තියද සුළු පටු නොවේ.

මේ අනුව ලක්ෂ සංඛ්‍යාත මුදල් වියදම් කොට විටින් විට කල් දමමින් තවදුරටත් නිශ්චිත තීරණයක් ලබා නොගෙන මැතිවරණය සමඟ ඔට්ටු සෙල්ලම් කිරීම කොතරම් යුක්ති යුක්තදැයි අපි අවසානයේ ප්‍රශ්න කර සිටිමු.

 

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02