වසංගත, ආර්ථිකය අර්බුද ආදී විවිධ උවදුරු හේතුවෙන් ගෙවීගිය වසර කිහිපයේම අලුත් අවුරුදු සැමරීමට බොහෝ දෙනකුට නොහැකි විය. අවුරුදු සමයේ වෙළහෙළඳාමක් කරගෙන ජීවිකාව සරි කරගත් පිරිස් ඒ හේතුවෙන් පීඩාවට පත්වූහ. එහෙත් මෙවර තත්ත්වය තරමක් වෙනස් වී තිබේ. දහසක් දුෂ්කරතා මැද වුවද මහජනතාව අවුරුදු සමරන්නට සැරසෙන බව පෙනේ. මේ අතර අවුරුදු සමයේ මහමඟ වෙළඳාම් කරන පිරිස් වෙත සුබ ආරංචියක්ද ලැබී ඇත.
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ගෘහ ආශ්රිත කුඩා පරිමාණ නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව ප්‍රධාන මාර්ග දෙපස තබාගෙන අලෙවියට ආණ්ඩුවෙන් අවසර ලබා දී තිබේ. මෙම තාවකාලික අවසරය ලබා දී ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයයි. මෙම අවසරය ලබා දී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල වෙළඳාම් සිදුකිරීම සඳහාය.
මෙම අවසරය පිළිබඳ අනාවරණය කළේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. වර්තමාන ආර්ථික තත්වයන් පිළිබඳ සංවේදී වෙමින් මෙම අවසර ලබාදෙන බව ඔහු පවසා තිබුණි.
''රට තුළ පැවැති කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා. එමනිසා බොහෝ නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවයන් රුසකටද මුහුණ දීමට සිදුවුණා. ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදුකරන එවැනි ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීම සඳහා උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 01 වැනිදා සිට 18 වැනිදා දක්වා තාවකාලික අවසරයක් ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවා.''
කෙසේ වෙතත් මාර්ග ආශ්‍රිතව මෙවන් වෙළඳාම් සිදුකිරීමට නිසි අවසරයක් සහිතව සිදු කළ යුතුය. පදිකයන්ට සහ රථවාහන හැසිරවීමට බාධා නොවිය යුතුය. උත්සව සමයේ ප්‍රධාන නගරවල අනවසර වෙළඳපොළ හේතුවෙන් විශාල තදබදයක් නිර්මාණය වේ. එම නිසාවෙන් වෙළෙඳුන් වෙත ලබාදෙන මෙම අවස්ථාව නිසි කළමනාකරණක් සහිතව ලබාදීම වැදගත්ය.
ඇමැතිවරයා සඳහන් කරන පරිදි එම කටයුත්ත භාරවී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාටයි.
''මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට තාවකාලිකව මෙම අවසරය අවස්ථාව හිමිවනවා.''
මාර්ග ආශ්‍රිතව වෙළෙඳාමට සුදුසු ස්ථාන වෙන්කර ගැනීම් ඇතුළු අවසරයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධීකරණයෙන් සිදුවේ. කෙසේවෙතත් මෙය ස්ථිර ඉදිකිරීම් වෙනුවෙන් ලබාදෙන අවසරයක් නොවන බව බලධාරීහු සඳහන් කරති.
මේ වනවිටත් රටපුරා විවිධ ස්ථානවල මහ මඟ දෙපස විවිධ තාවකාලික අලෙවිසල් ඉදිවී ඇති අයුරු අප වෙත නිරීක්ෂණ වේ. කෙසේවෙතත් ඒවායින් බොහොමයක් නිසි අවසරයක් සහිතව ඉදි වූ අලෙවිසල් නොවේ. එම නිසාම ගාස්තු අය නොකරන මෙම සේවා නිසි පරිදි ලබාගෙන අවසරයක් සහිතව මඟ දෙපස වෙළෙඳාම් කිරීමට වෙළෙඳුන්ගේ පෙළඹවීම වැදගත්ය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධ මහතා කියා සිටියේ මහරගම ඇතුළු ප්‍රදේශවල නිසි අවසරයක් සහිත මෙවන් වෙළඳසල් ආරම්භ කර ඇති බවකි.
''මේ වනවිට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රෙදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන අප වෙන්කර දී තිබෙනවා. දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු අප්‍රේල් 01 සිට 18 දින දක්වා තාවකාලිකව ස්වයං රුකියාවල නිරත වන නිෂ්පාදකයන්ට සෘජුවම ශ්‍රී නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා.''
අවුරුදු මාසය ආරම්භ වූවා පමණි. මෙම වැඩසටහන සාර්ථක අසාර්ථක බව මැන බැලීමට තවත් කාලය ඉතිරි වී තිබේ. වෙළෙඳසැල් කොපමණ තිබුණද, භාණ්ඩ මිලදී ගැනීමට තවමත් අත මිට සරු නැත.
I චමිඳු නිසල් ද සිල්වා