2023 අප්‍රේල් 02 වන ඉරිදා

එකේ පන්තියේ ඉඳන් ළමුන්ට ’’කඩුව’’

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 115

මෙතෙක් මව් භාෂාවේ වචන පමණක් ඇසෙමින් පැවති අප රටේ එක ශ්‍රේණියේ පන්ති කාමරවලට දැන් ඉංග්‍රිසි වචන ඇහෙන්නට පටන්ගෙන තිබේ. දරුවන් කෙටි ඉංග්‍රීසි වාක්‍ය ගුරුවරිය සමඟ කියන්නට ඉගෙන ගනිමින් තිබේ. මේ වෙනසට හේතුව මාර්තු මස 30 වැනිදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කිරීමේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩසටහනයි. දැන් කුඩා දරුවන්ටද කඩ්ඩ භාවිත කරමින් හරඹ කිරීමට අවස්ථාව ලැබී තිබේ. 

ඉදිරියේ දී 6-9 ශ්‍රේණි හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ. 
එමෙන්ම තොරතුරු තාක්ෂණය සමඟ විෂයානුබද්ධව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමටද සැලසුම් කර ඇති බවත් ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර සිටී. 
විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ සැලසුම ගැන දැනට වසර තුනකට පමණ පෙර සිට විවිධ අවස්ථාවලදී සාකච්ඡා කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්තා දෙස බලන විට පැහැදිලි වේ. කොවිඩ් අවදානම් නිසා එය ආරම්භ කිරීම ප්‍රමාද වූ බව පෙනේ. 

කෙසේ වුවත් මෙතෙක් ඉංග්‍රීසි දරුවන්ට ඉගැන්වූයේ පුහුණු ඉංග්‍රීසි ගුරුවරුය. දැන් කඩිනමින් පුහුණු කළ ප්‍රාථමික ගුරුවරු දරුවන්ට ඉංග්‍රීසි කථනය හුරු කරවීමට යොදාගෙන තිබේ. මේ වැඩසටහන සඳහා ප්‍රාථමික ගුරුවරු 13800ක් පුහුණු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවයසි. මේ ගැන වෘත්තීය සමිතිවල ස්ථාවරය දැනගැනීමට අප කතා කළේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහටයි: 

''එක පන්තියේ සිට ඉංග්‍රිසි ඉගැන්වීම ගැන අපේ විරෝධතාවක් නෑ. නමුත් මෙහිදී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අප රටේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරු හිඟයක් තිබෙනවා. මේ වන තෙක් විධිමත් ලෙස ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන්නේ තුන වසරේ සිටයි. දැනට සිදු ඇත්තේ ප්‍රාථමික ගුරුවරුන්ට යම් පුහුණුවක් ලබාදීලා භාෂාව හුරු කරවීමට යොදා ගැනීමයි. එහෙම වචන ටිකක් කියා දීලා දරුවන්ට උගන්වන්න බෑ. ඉංග්‍රීසි ගැන දැනුමක් ඇති ගුරුවරුන්ට නම් මෙය එතරම් ගැටලුවක් වන්නේ නෑ. නමුත් සිංහල මෙන්ම දෙමළ ප්‍රාථමික ගුරුවරු අතරත් ඉංග්‍රීසි ගැන දැනුමක් නැති ගුරුවරු ඕනෑතරම් ඉන්නවා. මේ ගුරු පුහුණුව ගැටලුසහගතයි. මේක හොඳ වැඩක් වුණත් ගැටලුසහගතයි.

අපි යෝජනා කරන්නේ අලුතින් ඉංග්‍රීසි ගුරුවරු බඳවාගත යුතු බවයි. දැනට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි ගුරුවරු ලබාදෙන්නේ 3, 4, 5 ශ්‍රේණිවලට පමණයි. ඒ විදිහටම 1, 2 ශ්‍රේණිවලටත් ඉංග්‍රීසි ගුරුවරු ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.''

ඉංග්‍රීසියෙන් උගන්වන පාසල් සහ ඉංග්‍රීසි නමට පමණක් උගන්වන පාසල් ලෙස ද සමාජයේ බෙදීමක් පවතී. ඉංග්‍රීසි පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට දෙමාපියෝ පොරකති. ඉංග්‍රීසි භාෂාව දන්නා - නොදන්නා පුද්ගලයන් ලෙස විවිධ බෙදීම් නිර්මාණය වී ඇති අතරම එම භාෂා දැනුම අනුව පුද්ගලයන් විනිශ්චය කිරීම අප සමාජය තුළ අදටත් දැකිය හැකි දෙයකි. 

ඉංග්‍රීසි භාෂාව ‘කඩ්ඩ’ නැත්නම් ‘කඩුව’ භාවිත කිරීමට දැන සිටීම උසස් සමාජයට පිවිසීමට සුදුසුකමක් ලෙස අදත් සැලකේ. දැන් කඩුව පොලිෂ් කර ගැනීමේ වරම පාසල්වල පොඩ්ඩන්ටත් ලැබී තිබේ. හෝකන්දර ජාතික පාසලේ ආචාර්ය ජයසිරි මනමේන්ද්‍ර වෙනස දකින්නේ මේ අන්දමිනි: 

''ජාත්‍යන්තර පාසල්වලනේ මෙතෙක් කල් එක ශ්‍රේණියේ සිට ඉංග්‍රිසියෙන් ඉගැන්වූයේ. ඒක ආණ්ඩුවේ පාසල්වලටත් පැමිණීම හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ. හැබැයි මේක නමට විතරක් කරන දෙයක් නොවී විධිමත්ව ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි. නිසි පුහුණුවෙන් යුත් ඉංග්‍රීසි ගුරුවරු මේ වැඩේට අවශ්‍යයි. මේක හැම පාසලකමට පටන් ගන්නවා නම් ඒ පාසල් ජනප්‍රිය වී ළමුන්ට ඉංග්‍රිසි භාෂාවට ඇති බිය නැතිවී යාමටත් හේතුවක් වේවි. දැන් වැඩිපුර ළමයි ඉංග්‍රීසි භාෂාවෙන් දුරස් වෙන්න හේතුව ඒ භාෂාවට ඇති නොකැමැත්තයි. පොඩි කාලේ පටන් හොඳ භාෂා දැනුමක් ලැබුණා නම් ළමයි ලොකුවන විට හොඳින් ඉංග්‍රීසි ගැන අවබෝධයක් ලබා ගන්නවා. සැමට සාධාරණව අධ්‍යාපනය ලබා දිය යුතුයි යන ප්‍රතිපත්තියට මෙය අනුගත වෙනවා. කුඩා පාසල්වල ළමයි සංඛ්‍යාව අඩු නිසා ගුරුවරුන්ට එක් ළමයෙක් ගැන වැඩි අවධානයෙන් යුතුව ඉංග්‍රීසි ඉගැන්විය හැකියි.''

ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස හැඳින්වීම පිටුපස ඇත්තේ යටත්විජිත යුගයේ මානසිකත්වය හෙළි කරන පුවතකි. පැරණි යටත් විජිත භාෂාව ශ්‍රී ලංකාවේ සමාජ පන්ති සලකුණු කරන්නක් ලෙස පවතින අතර, එය ඉංග්‍රීසීන් අත තිබුණු කඩුවට සමාන කර තිබේ. දැනටත් බොහෝ සිසුන් උසස් පෙළ පන්තිවලදී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාගන්නේ නැත. ඉංග්‍රීසි කාල පරිච්ඡේදය කට් කිරීම බොහෝ පාසල්වල සිසුන් අතර ජනප්‍රිය වැඩකි. නමුත් එහි ප්‍රතිඵල දැනෙන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුව රුකියා ලබාගැනීමට ගිය විටය. 

ලොව පුරා ඉංග්‍රීසි බස භාවිත කරන ජන සංඛ්‍යාව බිලියන 1.30කට ආසන්නය. ඔවුන් ඉංග්‍රීසි පළමු හෝ දෙවැනි භාෂාව ලෙස භාවිත කරන අතර, සමාජ මාධ්‍ය ජාල ඇතුළු ලෝකය හා සම්බන්ධ විය හැකි බොහෝ අවස්ථා ඉංග්‍රීසි භාෂාව හා බද්ධ වී තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය පර්සි විජේවර්ධන මේ ගැන දැක්වූයේ මෙවන් අදහසකි: 

''ඉංග්‍රීසි විතරක් නොවෙයි, සිංහල හා දෙමළ භාෂාත් පොඩි පන්තිවල ඉඳන්ම ඉගැන්විය හැකිනම් හොඳයි. ඒ වගේම කුසලතා සංවර්ධනය සඳහා පළමු පන්තියේ සිටම ගණිතය සහ තොරතුරු තාක්ෂණය ගැනත් අවබෝධයක් ලබාදීම වැදගත්. නිර්මාණාත්මක නවෝත්පාදන හැකියාව ගැනත් අවධානය යොමුකළ යුතුයි. දැන් එක වසරේ සිටම ශිෂ්‍යත්වය ඉලක්ක කර ළමුන් පීඩාවට පත්කිරීම නතර කළ යුතු වෙනවා. 

අධ්‍යාපනයේ අනාගත අරමුණ විය යුත්තේ ව්‍යවසායකයන් බිහිකිරීම විය යුතුයි. ඉංග්‍රීසි භාෂා දැනුම හොඳ ව්‍යවසායකයකු වීමට අවශ්‍යයි. සිසුන්ට භාෂාව ඉගැන්විය යුත්තේ නිසි පුහුණුවක් ලද ගුරුවරු යොදාගෙනයි. ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම අවශ්‍යයි. හොඳ ගුරුවරු නැතිවුණොත් ළමුන්ට භාෂාව එපා වෙනවා. දැනටත් බොහෝ සිසුන්ට ඉංග්‍රිසි එපාවීමට හේතුව ගුරුවරුන්ගේ නොහැකියාවයි. ළමුන්ට පොඩි පන්තිවලදීම ඉංග්‍රීසි එපා කරවන්නේ ගුරුවරු. උගන්වන භාෂාව ළමුන්ගේ දරාගැනීමේ මට්ටම සමඟ සමපාත විය යුතුයි. ඒ වගේම මේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රියාවලියේ පැහැදිලි අරමුණක් තිබිය යුතුයි. එවැනි අරමුණක් සහිතව ක්‍රියාත්මක වන විටයි ඉන් සාර්ථක ඵල නෙලාගත හැක්කේ. 

ඒ වගේම මෙසේ උගන්වන භාෂාව ළමුන්ගේ විභාග සුදුසුකමක් ලෙස නොසැලකිය යුතු බවයි මම හිතන්නේ. එය ඔහුට අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට ඇති බාධකයක් නොවිය යුතුයි.'' 

ඉංග්‍රීසි භාෂාවේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේදී සිදු වූ බවට ඉතිහාසයේ සඳහන්ය. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ජර්මන් ගෝත්‍ර තුනක් වන ඇන්ග්ල්ස්, සැක්සන් සහ ජූට්ස් භාවිත කළ භාෂාවන් පැරණිතම ඉංග්‍රීසි බසෙහි ආරම්භය ලෙස සැලකේ. අප රටට ඉංග්‍රීසි පැමිණියේ 1796 දී ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවේ මුහුදුබඩ පෙදෙස් අල්ලාගෙන පසුව ලංකාවට යටත් කරගෙන සියවස් එකහමාරක් සිටි නිසයි. පසුව ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත විය.

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02