2023 අප්‍රේල් 02 වන ඉරිදා

ගැටලු රැසක් මැද අලුත් අවුරුද්දට පමුණුව සූදානම්

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 304

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. සෑම වසරකදීම සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී නොනිදන නගරයක් ලෙසට මහරගම පමුණුව හැඳින්විය. මේ කාලයේදී මහරගම නගරය ඉතා කාර්යබහුලය. අලුයම් කාලයේදී මෙන්ම දහවල් කාලයේද එක හා සමාන ජනතාවක් මහරගම පමුණුව නගරය වෙත ඇදී එති. ඔවුන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවය.

මෙවරද පමුණුව කාර්යබහුල නගරයක් වී තිබේ. අලුයම දෙකේ සිට සාමාන්‍ය ජනතාව මෙන්ම තොග වෙළෙන්දෝ ද රෙදි පිළි රුගෙන යාමට මෙහි පැමිණෙති. ඈත නගරවල පිහිටි බොහෝ ඇඳුම් අලෙවිසල් වෙත රෙදි පිළි රැගෙන යන්නේ මහරගම පමුණුවෙනි.

''අපි ආවේ මාතර ඉඳන්. ඊයේ රෑ තමයි අපි මාතර ඉඳන් බස් එකේ ආවේ. අපි පස්දෙනෙක් ආවා. හැබැයි ගිය අවුරුද්දෙ නම් හත් දෙනෙක් ආවා. මේ අවුරුද්දෙ ඒ අයගෙන් දෙන්නෙක් මේ රැකියාවෙන් අයින් වුණා. මේ තියෙන ආර්ථිකයත් එක්ක මේ රැකියාව කරන්න අමාරුයි. ගිය අවුරුද්දෙ පමුණුවෙන් ගත්ත රුපියල් තුන්සීයේ සාය මේ අවුරුද්දෙ රුපියල් දාහක්. ඉතින් රුපියල් දාහකට මේ සායත් අරගෙන ගිහින් අපි ගමේ කීයට දෙන්නද? බස් ගාස්තු වැඩියි. පාන්දර කොළඹට ඇවිත් තේ එකක් බොන්න, බනිස් ගෙඩියක් කන්න කීයක් යනවද? මේ බඩු ටික මහරගමින් දෙහිවලට ගෙනියන්න ත්‍රීවිල් එකට කීයක් ගන්නවද? මේ හැමදේම ගණන් ගිහින්. ගිය අවුරුද්දෙ අපි අවුරුද්දට බඩු ගන්න හතර පාරක් පමුණුවට ආවා. මේ පාර අපි තවම ආවේ එකපාරයි. මේ ගත්ත රෙදි ටිකවත් විකුණගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැහැ. ඒ තරමට මේ පාර රෙදිවල මිල ගොඩක් වැඩියි.'' රෙදි පිළි මිලදී ගැනීමට පැමිණි රුවන් හෙට්ටිගේ මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

මේ දිනවල දහවල් කාලයේදී පවතින්නේ දැඩි අව් රශ්මියකි. මෙම අව් රශ්මිය නොතකා දහවල් කාලයේදීද රෙදි පිළි මිලදී ගැනීමට ජනතාව මහරගම නගරයට පැමිණෙති. මේ නිසාම බොහෝ විට මහරගම නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතී. විශේෂයෙන් පමුණුව පාරේ සහ මහරගම පරණ පාරේ ඇත්තේ දැඩි රථවාහන තදබදයකි. මහරගම පොලිසියේ රථවාහන අංශය මෙම තදබදය අවම කර ගැනීමට විශාල සහායක් ලබා දෙයි.

මහරගම පමුණුවේ වෙළෙඳ කටයුතු අදියර දෙකකින් සිදු කෙරෙයි. අලුයම් කාලයේදී සහ දහවල් කාලයේදී වෙළෙඳාමේ නිරත වන මොවුහු අලුයම දෙකේ සිට උදෑසන අට පමණ වනතුරු එක් කණ්ඩායමක් ලෙස වෙළෙඳාමේ නිරත වෙති. ඔවුන් බොහෝ විට වෙළෙඳාමේ නිරත වන්නේ මහරගම පරණ පාරේය. මහා මාර්ගයේ අයිනකට වන්නට තාවකාලිකව ඉදි කරන ලද කුඩා කඩපිල්වල ඔවුහු තම වෙළෙඳාම් කටයුතු සිදු කරති. මාර්ගයේ ඇති වීදි ලාම්පුවල එළිය මේ සඳහා ඔවුන්ට උපකාරි වුවද එය ප්‍රමාණවත් නොවේ. ඒ නිසාම තාවකාලිකව ඉදි කරන ලද සෑම කඩපිලකම විදුලි පන්දම්වල එළිය දකින්නට ලැබේ.

''ගිය අවුරුද්දෙ තරම් මේ අවුරුද්දෙ ඇඳුම්වලට තවමත් ඒ තරම් වෙළෙඳාමක් නැහැ. ගිය අවුරුද්දෙ අපෙන් පුත්තලම, තංගල්ල, නුවර, අකුරුස්ස වගේ පැතිවලින් බොහෝ ව්‍යාපාරිකයන් පැමිණ තොග වශයෙන් රෙදි අරගෙන ගියා. අපි සායවල් මහනවා. ගිය අවුරුද්දෙ අපේ සායවලට ඉතා විශාල ඉල්ලුමක් තිබුණා. අපි වෙනුවෙන් නිවාස දහඅටක ඇඳුම් මැහුවා. කෑලි ගාණට තමයි ඒ අය ඇඳුම් මැහුවෙ. අපි රෙදි කපලා දුන්නාම ඒ අය අපිට සායවල් මහලා දුන්නා. මේ වෙද්දි රෙදි පුදුම මිලයි. ඒ වගේම නූල්, බොත්තම් පවා මිල වැඩියි. ඒ හැමදේම අතරේ විදුලි ගාස්තු ඉහළ යාම අපිට ලොකු ගැටලුවක්. මේ ඇඳුම් මහන අය ස්වයංරුකියාවක් විදිහට තමන්ගේ නිවෙස්වල ඉඳලයි අපේ ඇඳුම් මහලා දෙන්නෙ. ගෙදර වැඩ කරන අතරතුරේදි තමයි මේ බොහෝ කාන්තාවන් ඇඳුම් මහන්නෙ. ඒ වෙනුවෙන් ඉතා හොඳ මිලක් ඔවුන්ට ලැබුණා. නමුත් මේ අවුරුද්දෙ අපි මහන ඇඳුම්වලට ගිය වසරේ තරම් ඉල්ලුමක් නැහැ. ගිය අවුරුද්දෙ ඉල්ලුමට සාපේක්ෂව සායවල් දෙන්න බැරි වුණා. නමුත් ගිය අවුරුද්දට සාපේක්ෂව තවමත් මේ අවුරුද්දෙ ඇඳුම් ගන්න පමුණුවට ආපු පිරිස අඩුයි.'' යැයි මහරගම පමුණුවේ රෙදි පිළි ව්‍යාපාරිකාවක් වන සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය දේශයට පැවසීය.

''ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දෙ නම් පමුණුවේ වෙළෙඳාම ගොඩක් අඩුයි. ගිය අවුරුද්දෙ මේ වනවිට අලුයම වෙළෙඳාම් කරද්දි තොග මිලදී ගන්න බොහෝ පිරිසක් පමුණුවට ආවා. මෙතනට එන වෙළෙඳුන්ගේ අඩුවක් නම් නැහැ. ගිය අවුරුද්දෙ වෙළෙඳාම් කරපු අය ඉන්නවා. හැබැයි අපෙන් මෙතනට ඇවිත් ඇඳුම් මිලදී ගන්නා තොග වෙළෙඳුන්ගේ නම් අඩුවක් තියෙනවා. වෙළෙඳාම අඩු වෙන්න ප්‍රධාන හේතුව විදුලි ගාස්තුව ඉහළ යාමයි. ඒ වැඩිවීමත් එක්ක ඇඳුමක් මහන්න වැය වන මිලේ වැඩිවීමක් තියෙනවා. රෙදිවල මිල වැඩි වුණා. බොහෝ වෙලාවට පමුණුවට තොග මිලදී ගැනීම් සඳහා පිට පළාත්වලින් වෙළෙඳුන් පැමිණියා. සුපිරි වෙළෙඳසල්වලින් ඉතා වැඩි මුදලකට ඇඳුමක් ගන්න බැරි කෙනා පමුණුවෙන් ඇඳුමක් මිලදී ගත්තා. නමුත් අද වෙද්දි පමුණුවේ ඇඳුම්වලත් බිම් මිලෙහි ඉහළ යාමක් සිදුවුණු නිසා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් තියෙනවා. අපි හැමදාම අලුයම තුනේ සිට උදේ අට වෙනතුරු පමුණුවේ වෙළෙඳාම් කරනවා.'' යැයි මහරගම අලුයම අලුත් පාරේ තොග වෙළෙඳාම් සංගමයේ ලේකම් අශෝකා රණවක දේශයට පැවසීය.

මහරගම පමුණුව රෙදි පිළිවලට ඉතා ප්‍රසිද්ධ වුවද මෙහිදී රෙදි පිළි පමණක් නොව, නිවෙසට අවශ්‍ය අනෙකුත් භාණ්ඩද මිලදී ගත හැකිය. පාපිසි, ප්ලාස්ටික් භාණ්ඩ, බඳ පටි, හිස්වැසුම්, ඔරලෝසු, සෙල්ලම් බඩු, තිර රෙදි, රේන්ද, සපත්තු ආදී බොහෝ දෑ මෙන්ම පළතුරු ආදිය ද මෙහිදී මිලදී ගත හැකිය. වෙනත් වෙළෙඳසල්වලට සාපේක්ෂව මේවායේ මිලෙහි යම් අඩුවක් පවතී. මේ දිනවල අයිස්ක්‍රීම්, සිසිල් පැන් වෙළෙඳාමෙන්ද ලාභයක් ලැබිය හැකිය. අව් රශ්මිය නිසා බොහෝ දෙනා සිසිල් පැන් වීදුරුවක් මිලදී ගැනීමට පෙළෙඹෙන්නේ නිතැතිණි.

මේ දිනවල ගැට කපන්නන්ගෙන්ද අඩුවක් නැත. පමුණුවට රෙදි පිළි මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ පමණක් නොව පිට පළාත්වලින් පැමිණෙන තොග වෙළෙඳුන්ගේද මුදල් පසුම්බිය සොරකම් කරන සොරුන් පමුණුවේ අඩුවක් නැත. ඒ නිසාම පමුණුවට පැමිණෙන කවුරුත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය.

''ගිය වසරට වඩා මේ වසරේදි ඇඳුම්වලට තියෙන ඉල්ලුමේ අඩුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදුලි ගාස්තුව ඉහළ යාමයි. ඒ නිසා බොහෝ ඇඳුම් මසන්නන් මේ කාර්යයෙන් ඈත්වෙලා ඉන්නවා. අපි එක්ක බොහෝ විට සුළු ව්‍යාපාරිකයන් තමයි වැඩ කරන්නෙ. ඒ අයට ලැබෙන මුදල මදිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් ඇඳුම් මහන්නෙ ගෙවල්වල වැඩ රාජකාරි කරන අතරෙයි. සමහරු ඇඳුම් මහන්නෙ රාත්‍රී කාලේ. ඒ නිසා විදුලි බිල අසීමිතව ඉහළ යාම නිසා මේ රුකියාව පාඩුයි කියලා බොහෝ දෙනා මෙයින් ඈත්වෙලා තියෙනවා. පමුණුවට තොග මිලදී ගැනීම සඳහා දුර පළාත්වලින් හැම අවුරුද්දකම බොහෝ තොග වෙළෙඳුන් එනවා. මේ වසරේ ඔවුන්ගේ පැමිණීම ගොඩක් අඩුයි. ඒ අයට ඉස්සර එන ගමනකට හත් අටසීයක වියදමක් ගිහින් තියෙනවා. නමුත් අද ඔවුන්ට මහරගමට එන්න රුපියල් දෙදාහකට ආසන්න වියදමක් යනවා. ඉස්සර ඒ තොග වෙළෙඳුන් පමුණුවට සතියකට දවස් දෙකක් ආවත් අද ඔවුන් සති දෙකකට එක දවසයි එන්නෙ. ඉස්සර ලක්ෂ තුනකට විශාල ගෝනි හතරක ඇඳුම් අරගෙන යන්න පුළුවන්. අද ඒ මුදලට ගන්න පුළුවන් වෙන්නෙ ගෝනි භාගයක් හරි ගෝනියක හරි ඇඳුම් විතරයි. ඒ නිසාම අද වෙද්දි මේ ව්‍යාපාරය තරමක් දුරට කඩා වැටිලා තියෙන්නෙ.'' යැයි අලුයම අලුත් පාර තොග වෙළෙඳ සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක මහතා දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02