ලියාන් කියන්නේ 11 හැවිරිදි චීන ජාතික කුඩා දරුවෙකි. මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මේ පුංචි ලියාන් මව පියා තනිකර මේ ලෝකය හැර ගියේය. ලියාන් මියගිය පසු ඔහුගේ අක්මාව සහ වකුගඩු තවත් එවැනිම අසාධ්‍ය රෝගියකුට බද්ධ කිරීමට චීනයේ වෛද්‍යවරුන්ට හැකිවිය. ඒ මියයාමට ප්‍රථම ලියාන් සහ මවුපියන් ශරීර කොටස් පරිත්‍යාග කිරීමට කැමැත්ත දී තිබූ නිසාය. ලියාන් වැනි කුඩා දරුවකු මෙවන් වූ ආදර්ශවත් සිතිවිල්ලකින් පසුවීම සම්බන්ධයෙන් වෛද්‍යවරු සිය ප්‍රශංසාව ඔහුගේ මවුපියන්ට පුද කළහ. එපමණක් නොව අක්මාව සහ වකුගඩුව බද්ධ කිරීමෙන් පසු චීන රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය පුංචි ලියාන්ගේ සිරුර ට්‍රොලියක තබා ඒ ඉදිරිපිට තුන්වතාවක් හිස නමා ආචාර කළේ පුංචි දරුවාට ගෞරවයක් ලෙසය.
වෛද්‍යවරුන්ගෙන් වැඳුම් ලබමින් අවුරුදු 11 පුංචි ලියාන් අවසන් ගමන් ගියද ඔහුගේ නාමය මුළු ලොවපුරා අදටත් රැව් පිළිරැව් දෙන්නේය.
මෙවැනිම සංවේදී කතාවක් පසුගියදා අපේ රටෙන් අහන්නට ලැබුණේ කුරුණෑගල අඹන්පොළ දීය. විහඟනා නුවන්ති ආරියසිංහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයට අයත් අඹන්පොළ කනිෂ්ඨයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා මහව ගජනැග්ගම මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනයත් ලැබූ ඇය උසස්පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසුවූවාය. පියා රියැදුරෙකි. මව ගෘහණියකි.
සහෝදර සහෝදරියන් දෙදෙනකුගේ ආදරය සෙනෙහස මැද හැදී වැඩුණු විහඟනාට ආදරයට කීවේ බට්ටී කියාය. සතුන් කෙරෙහි මහා කරුණාවක් දැක්වූ පුංචි විහඟනා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කෙරුණි. එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළේ පසුගිය දිනකදීය. “තාත්තේ හිත හදාගන්න උත්සාහ කරන්න.” රෝහලේ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයෙන් පසු විහඟනාගේ පියා බොහෝ දේ වටහා ගත්තේය.
වෛද්‍යවරුන් අනාවරණය කරගන්නේ විහඟනාගේ මොළයේ ගෙඩියක් ඇති වී ඇති බවත් එය විහඟනාගේ ජීවිතය කුරිරු අන්දමින් බිලිගනිමින් සිටින බවත්ය. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර කරමින් සිටියදී මොළයේ හටගත් පිළිකාවක් හේතුවෙන් මොළයේ මියයාමෙන් ඇයට යළි ජීවය ලබාදීම වෛද්‍යවරුන්ටත් අභියෝගයක් වූයේය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එම අභියෝගය සමගින් සටන් කර පුංචි විහඟනාගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද දෛවය එයට මග හරස් කළේය. ඒ අතරතුර 19 හැවිරිදි විහඟනා මරණ මංචකයේදීත් පින් පුරවාගෙන කාටත් හොරෙන් මේ ලෝකය අතහැර සුරලෝකයට ගිහින් සිටියාය. විහඟනා ජීවත් වී සිටි කාලයේදී ඇයගේත් මවුපියන්ගේත් කැමැත්ත අනුව ඇය මියගිය පසු ඇස් දන්දීමට අවශ්‍ය සියලුම ලිපිලේඛන සකසා අවසන් වී තිබුණි. එසේම වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත විහඟනාගේ ශරීර කොටස් ද අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන් 6 දෙනකුට ජීවිතය ලබාදීමට සමත්විය.
මේ හේතුවෙන් විහඟනාගේ හදවත සහ පෙනහලු බද්ධ කරනු ලැබූවේත් අසාධ්‍ය තත්ත්වයේ සිටි නිර්වින්දන වෛද්‍යවරියකට වීම විශේෂත්වයකි. එම අවයව වෙන වෙනම බද්ධ කළ අවස්ථා ඕනෑතරම් තිබුණද මෙම අවයව දෙක එකවර එක් පුද්ගලයකුට බද්ධ කිරීමේ සැත්කමක් මෙරටදී සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. මේ සැත්කම කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ ශල්‍යාගාරයේදී ඉන්දියානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සහ දේශීය විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් එක්ව සිදුකර ඇත්තේය. ඒ වගේම විහඟනාගේ වකුගඩු මහනුවර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් දෙකටත් , අක්මාව රාගම ශික්ෂණ රෝහලටත් පරිත්‍යාග කර තිබු අතර එම අවයව රෝගීන් තිදෙනකුටම ජීවිතය ලබාදීමට සමත් විය. විහඟනා ජීවත්ව සිටි අවසාන කාලයේදී සිය සහෝදරිය සමගින් එක්වී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඔන්ලයින් අයැදුම්පතක් මගින් සිය දෑස් පරිත්‍යාග කිරීමට ඉල්ලුම් කර තිබී ඇත. එහෙයින් එම දෑස්වලින් තවත් දෙදෙනකුට ආලෝකය ලබාදීමද සිදුවනු ඇත. විහඟනාගේ ඇට මිදුළුද පරිත්‍යාග කර ඇති අතර එයත් වෙනත් රෝගීන් වෙත බද්ධ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. විහඟනා ඉකුත් 25 වැනිදා අඹන්පොළ පොදු සුසාන භූමියේදී ඥාතීන්ගේත් හිතමිතුරන්ගේත් සෝ සුසුම් මැද අවසන් ගමන් ගියාය.
ලෝක අවයව පරිත්‍යාග දිනය වන්නේ අගෝස්තු 13 වැනිදාය. එසේම ඉන්ද්‍රීය පරිත්‍යාගශීලීන්ගේ ජාතික දිනය ලෙස පෙබරවාරි 18 වැනිදා නම් කර ඇත්තේය. මියගිය පුද්ගලයකුගේ අවයව 9 ක් සහ පටක 75 ක් දක්වා සාමාන්‍යයෙන් පරිත්‍යාග කළ හැකි බව විශේෂඥයන්ගේ අදහසයි. එසේම මොළය මියගොස් පැය 12ක් ඇතුළත එය සිදු කළ යුතු බවත් වෛද්‍ය නිර්දේශයයි. ඇස් දන්දීමේදී විහඟනා මෙවන් වූ දාන පාරමිතාවක් පුරනුයේ 2020 වර්ෂයේදී අවයව සහ පටක බද්ධ කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ද අපේ රටේ නිර්මාණය කර ඇති මොහොතකය. ඉන්ද්‍රීයයන් බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථාන 09ක් කොළඹ, මහනුවර ඇතුළුව රටපුරා ක්‍රියාත්මකය. ලෝක සෞඛ්‍ය සමුළුවේ 57 වැනි ප්රඥප්තිය සහ මිනිස් අවයව බද්ධ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මූලධර්ම මත පදනම්ව මෙම ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කර ඇත.
I සසංක චලන ගිම්හාන