2023 අප්‍රේල් 02 වන ඉරිදා

මහ පාරට එනබදු සටන!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 36

රට කැළඹූ වෘත්තීය සටන් ගෙවී ගිය සතියේ ප්‍රධානතම මාතෘකාවක් විය. බදු සංශෝධනය පිළිබඳ විරෝධයට අමතරව රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය පිළිබඳ වූ සටන් පාඨය ප්‍රබල ලෙස නැගුණි. ආණ්ඩුවේ ප්‍රතිචාරයද දරදඬු විය. මේ අතර ළඟ එන දැවැන්ත වෘත්තීය අරගලයක් පිළිබඳ ඉඟි පළ වන්නට ද පටන් ගත්තේය.

සති අන්තය එළඹෙන විට බදු සංශෝධනය පිළිබඳ අවසන් විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අවසන් තීරණය ගැනීමට සූදානමින් සිටියේය. පුළුල් පෙරමුණක් හරහා වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඔවුන් අවතීර්ණ වනු ඇතැයි අනාවැකි පළ වී තිබුණි.

“දේශය" සිදු කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා කීවේ, තවමත් වර්ජන ක්‍රියාමාර්ගයක් පිළිබඳ නිශ්චිතවම පැවසිය නොහැකි බවයි.

“වර්ජනයක් කරනවා කියලා තාම කියන්න බෑ. පසුගිය බදාදා අපි සාකච්ඡාවක් පැවැත්වූවා. 31 වැනි සිකුරාදාට කලින් උත්තරයක් නොලැබුණහොත් අපිට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මේ වෙනකොටත් සාකච්ඡා පැවැත්වෙනවා."

කෙසේ වෙතත් පසුගිය සතියේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන තවත් පාර්ශ්ව රුසක් සිය අදහස් මාධ්‍ය හමුවේ පළ කළහ. ඒ අනුව වෘත්තීයවේදීන් සිය ගැටලුවලට කඩිනම් අවධානය ලබාදීමට කටයුතු කරන ලෙස දන්වමින් අවසන් ලිපිය ජනාධිපතිවරයා වෙත යැවූ බවද කියැවුණි.

ජූනි, ජූලි මාස වන විට යම් සහනයක් ලබා දිය හැකි බව රජය පවසා ඇතැයි පසුගිය සතියේ වාර්තා විය. කෙසේ වෙතත් එම විසඳුමට වෘත්තීයවේදීන් එකඟතාව පළ කර නැත. ඒ අනුව අන්තර්කාලීන විසඳුමක් පිළිබඳ යෝජනාවක් ද රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. මෙලෙස පමා වෙමින් ඇත්තේ ඊට අදාළ සාකච්ඡාවයි.  ඒ අනුව යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අප්‍රේල් 03 වැනිදා සිට අනෙකුත් වෘත්තීය සමිති සමඟ එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රකාශ කළහ.

“අප ඉදිරිපත් කළ යෝජනාවලට මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ විතරක් නෙවෙයි, මෑත කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අපට අවස්ථාව උදා වුණා. එහිදී අපට පැහැදිලිව දකින්න ලැබුණෙ, රටේ ඇත්ත තත්ත්වය සහ ආර්ථික අර්බුදයට මූලික වූ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දිය යුතු සත්‍ය කරුණු ලබා දීමක් සිදු කරල නැති බවයි."

බදාදා සාකච්ඡාවෙන් අනතුරුව මෙම හෙළිදරව්ව සිදු කර තිබුණේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ සභාපති මහචාර්ය ඉන්දික කරුණාතිලක මහතාය.

මෙදින පැවැති සාකච්ඡාවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති 47ක පමණ පිරිසක් එක්ව සිටියහ. සෞඛ්‍ය, විශ්වවිද්‍යාල, බැංකු, ඉංජිනේරු ආදී ක්ෂේත්‍ර රුසක් නියෝජනය කරන පිරිසක් මෙහි වූහ.  වරාය, විදුලිබල ඇතුළු තවත් වෘත්තීය සමිති රුසක් සමඟ සිකුරාදා සාකච්ඡාව කොට අවසන් තීරණයට එළැඹීමට ඔවුහු තීරණය කළහ. ඒ අනුව විශ්වවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදන්ත ඉලංගසිංහ මෙලෙස පවසා තිබුණි.

“ජනාධිපතිවරයාට අවසන් ලිපිය යැවීමට අපි තීරණය කරලා තියෙනවා. අපිට දීර්ඝ කාලයක් ගත කරන විසඳුම් නෙවෙයි, අප්‍රේල් මාසය වන කෙටිකාලීන විසඳුමක් අවශ්‍යයි. අපි මේ රටේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා, ඒ සාකච්ඡාවෙන් පස්සේ බොහෝ විට ලබන තුන්වැනිදා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කරනවා."

රටේ සියලු වෘත්තීය සමිති එක්කර ගනිමින් බදු සංශෝධනය, බැංකු පොලී අනුපාතය සහ මර්දනය පිළිබඳව සේම වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම, ලාභ ලබන ආයතන පෞද්ගලීකරණයට එරෙහිව නව සටන් පාඨ සහිතව සටනට අවතීර්ණ වන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයෝ පවසති.

ඒ අනුව සෙසු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාව සිකුරාදා පැවැත්විණි. ඊට වෘත්තීය සමිති හතළිහකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී ඇතැයි කියැවේ. අප මෙම සටහන තබන මොහොත වන විටත් සාකච්ඡාව පැවැත්වෙමින් තිබේ.  එහි අවසන් තීරණය පසුව ප්‍රකාශයට පත් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා දේශය සිදු කළ විමසීමකදී පැවසීය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට පෙරාතුව වෘත්තීයවේදීන්ගේ සමිති සම්මේලනයේ ඇතැම් නියෝජිතයන් පවසා සිටියේ වෘත්තීය සමිති නායකයන් පිළිබඳ ආණ්ඩුව කටයුතු කරන ආකාරයට විරෝධය පෑමට තමන් සූදානම් බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ට සාකච්ඡාවක් හෝ  නොදී අනිවාර්ය නිවාඩු යවමින් වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට සමස්ත වෘත්තීය සමිති පෙළ ගැසීමට සූදානම් බව ඔවුහු සඳහන් කළහ.

I  චමිඳු නිසල් ද සිල්වා