2023 අප්‍රේල් 02 වන ඉරිදා

රාජ්‍ය ආයතන විකිණීමක්ද? නැත්නම් ආර්ථිකය බේරාගැනීමක්ද?

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 217

විස්තීරණ ණය පහසුකමක් ශ‍්‍රී ලංකාවට අනුමත කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය ගැන යෝජනා ඉදිරිපත් කොට තිබේ. විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය හා මාර්ග සංවර්ධන අධිකාරිය ගැන විශේෂයෙන් සඳහන් කර ඇත. මෙම ආයතන ඇතුළු රජයට අයත් කර්මාන්ත හා ව්‍යාපාර  සිය ගණනක් පවතින ව්‍යුහයෙන් වෙනස් කළ යුතු බව දක්වා ඇත. මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන ජූලි මාසයේදී මෙරටට පැමිණෙන අතර සැප්තැම්බර් මාසයේදී රටට ලැබෙන්නට නියමිත දෙවැනි ණය වාරිකයට කලින් ඇතැම් තීන්දු ගැනීමට සිදුවන බව අනාවරණය වන කරුණකි.

රජයට අයත් ආයතන අතර බරපතළ පාඩු ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය ගැන විශාල විරෝධයක් නැත. අලාභ ගෙවන ජනතාව මේවායෙන් රටට සහ ආර්ථිකයට සිදුවී ඇති හානිය ගැන තක්සේරුවක සිටී. ලාභ උපයන සහ සාර්ථකව ව්‍යාපාර කරගෙන යන ප‍්‍රධාන පෙළේ ආයතන පවා රජයේ පාලනයෙන් බැහැර කර පෞද්ගලීකරණය කරන සැලැස්මක් පවතින බව පෙනේ. ලාභ උපයන ආයතන විකිණීම ගැන වෘත්තීය සමිති හා විරුද්ධ දේශපාලන පක්ෂ තදබල විරෝධයක් ඇති කරමින් සිටී. ලාභ ලබන රජයේ ආයතන පෞද්ගලීකරණයට හේතුව කුමක්ද? තාවකාලික ණය සංචිතයක් රටට සපයන ජාත්‍යන්තර මූල්‍ය රාජ්‍ය ආයතන ඈවර කිරීම සඳහා බල කරන හේතුව හඳුනාගත යුතුය.

පුනරුදයට හේතු වූ රජයේ ආයතන ලැයිස්තුවක මතකය

ශ‍්‍රී ලංකාව එක්තරා යුගයක රාජ්‍ය අංශයේ කර්මාන්ත හා ව්‍යාපාර ජාලයක් මෙහෙයවන ලද බව නොරහසකි. සාර්ථක ව්‍යාපාරවල නිරතව සිටි දහස් ගණනක් අදටත් ඔවුන්ගේ පැරණි අතීතය සිහිපත් කරති. වානේ සංස්ථාව, රෙදිපිළි කම්හල්, ටයර් සංස්ථාව, සිමෙන්ති නිෂ්පාදනය, තිරිඟු පිටි, සීනි, කඩදාසි හා උකු කිරි නිෂ්පාදනය සඳහා ආරම්භ කර තිබුණු ඇතැම් ව්‍යාපාර ආසියාවේ විශාලතම ඒවා බව සිහිපත් කළ යුතුය.

සංවෘත ආර්ථිකයක් තිබුණු කාලයේ දීප්තිමත්ව තිබුණු මෙම ආයතනවල ස්වභාවය විවාත ආර්ථික ක‍්‍රමය හඳුන්වාදීමත් සමඟ වෙනත් පැත්තකට හැරිණ. ඒ වන විට තරගකාරීත්වයකට මුහුණ නොදෙන සහ නිෂ්පාදන මිලට පාරිභෝගිකයන්ට සපයන ක‍්‍රමයක් පැවැතිණ. නියම කරන ලද මිලට ගන්නට සිදුවූ අතර ජනතාවට විකල්පයක් තිබුණේ නැත. විවෘත ආර්ථිකය සමඟ ආනයනවලට ඉඩ ලැබුණි. වඩා උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට ආනයනය කර සපයන ලද අතර වෙළෙඳපොළ පැවැති තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්ත හා ව්‍යාපාර සංකීර්ණ ගැටලුවලට මුහුණ පෑ බව මතක් කළ යුතුය. ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපෙන පරිදි තත්ත්වයෙන් උසස්, අඩු මිල නිෂ්පාදන සඳහා කර්මාන්ත නවීකරණය කළ යුතුව තිබුණි. පැවැති ආණ්ඩුවලට ඒ සඳහා වත්කමක් තිබුණේ නැත. පැරණි නිෂ්පාදන ක‍්‍රම, කල් ඉකුත් වූ තාක්ෂණය හා නිෂ්පාදන පිරිවැය ආවරණය කරගත නොහැකි කර්මාන්ත විනාශයට පත්විය. අවශ්‍යතාව පරිදි රාජ්‍ය මුදල් යොදවා තවදුරටත් පවත්වාගෙන ගිය ඇතැම් අංශ විශාල වශයෙන්  මහජන මුදල් නාස්ති කරන අංශ බවට පත්විය.

දේශීය වෙළෙඳපොළ සඳහා නිපදවමින් සිටි මෙම කර්මාන්ත ජාත්‍යන්තරයට නැඹුරු කරන පිළිවෙළක් අනුගමනය කළ යුතුව තිබුණි. විවෘත ආර්ථික ක‍්‍රමය සමඟ අලුත් ආයෝජන, තරගකාරී ක‍්‍රම හඳුන්වාදීම මගින් කර්මාන්ත උද්දීපනයක් ඇති කරගත හැකි බව පෙනිණ. එහෙත් නිලධාරීන්ගේ සැලසුම්, ආණ්ඩුවල ප‍්‍රතිපත්ති සහ වෙළෙඳපොළ පුළුල් කරන ක‍්‍රම ගැන නොතිබුණු දැනුම ඒ සියල්ල ව්‍යවර්ථ කරන ලද බව දැක්විය යුතුය.

අලුතින් නැවත අරඹන ගමන

අසූ ගණන්වල සිට පෞද්ගලීකරණය ගැන අදහස් සාකච්ඡා කර තිබේ. රජයට අයත්ව තිබුණු වෙළෙඳ හා කර්මාන්ත අංශ රජයේ පාලනයෙන් බැහැර කර පවත්වාගෙන යා හැකි බව අවධාරණය කෙරිණ. වරින් වර බලයට පත්වන ආණ්ඩු, මහත් වටිනා ජාතික සම්පත් බව සඳහන් කරමින්, රජයේ ආයතන ජනතා මුදල් වැය කරන සුදු අලි වශයෙන් නඩත්තු කෙරිණ. සීනි කම්හල්, වානේ සංස්ථාව වසා දැමූ පසු නැවතත් ධනය යොදා බලගැන්විණ. කඩදාසි සංස්ථාව නැවත නිෂ්පාදන ආරම්භ කළ නමුත් අමුද්‍රව්‍ය නැත. නිෂ්පාදන අලෙවියෙන් විදුලිය බිල පවා ආවරණය කරගත නොහැකි විය. 

රජයට අයත් අලාභ ලබන ව්‍යාපාර අලුත් පැත්තකට හැරවීම සඳහා ඔබසතුකරණය නමින් පියවරක් ගත් අතර පසුව කෙළින්ම පෞද්ගලීකරණය වශයෙන් නම් කෙරිණ. ඒවායේ සේවය කරන ලද සේවකයන්ගේ විරෝධතා පාලනය කිරීමේ පියවරක් වශයෙන් සේවකයන්ට කොටස් පවරා විකුණන ක‍්‍රමයක් ද හඳුන්වා දුන්නේය. සිංගප්පූරුවේ ටමසෙක් වැනි ආයතන පිහිටුවන්නට යෝජනා කළ අතර පසුව සෙලංකා යනුවෙන් ආයතනයක් පිහිටුවා රජයේ අලාභ ලබන ව්‍යාපාර විකිණීමේ ප‍්‍රයත්නයක් ද අනුගමනය කළේය. කෙසේ වෙතත් මෙම සියලුම පියවර දේශපාලන උවමනා එපාකම් අනුව වරින් වර වෙනස් මුහුණුවරක් ගත් අතර අවසානයේදී රාජ්‍ය අයවැය ලේඛනයට බර තබමින් ආයතන නඩත්තු කරන ගමනකටම අවතීර්ණ විය.

පෞද්ගලීකරණය කළ රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගත්තේය. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය නියමිත කාලය අවසානයේ නැවත පැවරීමෙන් වළක්වන ලද අතර පසුව කොටස් අයත්ව තිබුණු එමිරේට්ස් සමාගම සතු ප‍්‍රමාණය ද මිල දී ගත්තේය. සීනි කම්හල්, කඩදාසි හා වානේ සංස්ථාව වරින් වර වෙනස් ආයෝජකයන්ට ද ආණ්ඩුවට ද මාරුවෙමින් පැවැතිණ. එම තීන්දුවල සාර්ථක හෝ අසාර්ථකභාවය ගැන විවාදයක් නැත. රජයේ සම්පත් යන දෘෂ්ටිකෝණයකින් සලකන කණ්ඩායමකට ඒ ගැන අයිතියක් තිබේ. නමුත් සෑම පැවැත්මකටම ජනතාව ගෙවන ලද වන්දියක් ඇත. 

ලාභ ලබන ටෙලිකොම් විකිණීම

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජයට අයත් කොටස් විකිණීම කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. පසුගිය මූල්‍ය වසරේ දීද, ටෙලිකොම් ආයතනය ලාභ උපයා ඇත. කෙසේ වෙතත් ටෙලිකොම් සමාගම අනාගත අභිමතාර්ථ සඳහා ආයෝජනය කළ නොහැකි තැනක පසුවේ. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය වේගයෙන් වෙනස් වෙමින් පවතී. ලෝකයේ ප‍්‍රධානම ව්‍යාපාර තොරතුරු තාක්ෂණය බව දැක්වේ. පස්වැනි පරම්පරාවේ සන්නිවේදනයට යටිතල පහසුකම් සපයන අතර එය කෙළින්ම කෘත්‍රිම බුද්ධිය සඳහා වේ. මිනිස් ශ‍්‍රමය රහිත, රොබෝ පාලනය ඇති කම්හල් ක‍්‍රියා කරවීම, වාහන හැසිරවීම හා වෛද්‍ය ක්ෂේත‍්‍ර සඳහා මෙම තාක්ෂණය අවශ්‍ය කෙරේ. නමුත් ශ‍්‍රී ලංකාවට මෙම ආයෝජනය කළ නොහැක. දැනට පවතින මෙවලම් වෙනුවට අලුත් තාක්ෂණය අවශ්‍යය. එය ආර්ථිකයට පිටිවහලක් වේ. අවශ්‍ය වෙනස්කම් සඳහා බාහිර ආයෝජන අවශ්‍ය අතර එය රටට තාක්ෂණය හා විදේශ විනිමය ලැබෙන මාර්ගයකි. රජය සතු කොටස් විකිණීමෙන් ආදායමක් උපයා ගත හැකිවේ. 

අලාභ වාර්තා කරන ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය සඳහා පසුගිය වසර පහ ඇතුළත තුන් වතාවක් දැන්වීම් පළ කර ඇත. උනන්දුවක් දක්වන ලද සමාගම් දෙකක් පවා එහි මූල්‍ය වාර්තා සොයා බැලීමෙන් පසු අකැමැත්ත ප‍්‍රකාශ කළේය. දේශීය හා විදේශීය වශයෙන් පවතින ණය ප‍්‍රමාණය වත්කම් ඉක්මවන බව දැක්වේ. කිසිම ජාත්‍යන්තර ආයතනයක් එවැන්නක් මිල දී ගැනීමට සූදානම් නැත. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, දුම්රිය සේවය වැනි ආයතන පිටුපස ඇති අභ්‍යන්තරය ද එයට නොවෙනස්ය. ඉතාම අහිතකර ආර්ථික අර්බුදයක පසුවන හා අයවැය පියවා ගත නොහැකි මූල්‍ය ගැටලුවක සිටින ශ‍්‍රී ලංකාවට රජයට අයත් සමාගම්වලින් ඉල්ලුමක් ඇති ආයතන පැවරීම හැර අනෙක් විකල්පයක් නැත.

ඉදිරි කාලය තුළ රජයට අයත් ආයතන සම්බන්ධ ලැයිස්තුවක් සකස් කළ යුතුය. මහා භාණ්ඩාගාරයේ අභ්‍යන්තර තොරතුරු අනුව රජයට අයත් ව්‍යාපාර ප‍්‍රමාණය හා ඒවා අයත් අමාත්‍යංශ ගැන නිශ්චිත දත්ත නැත. වරින් වර වෙනස් අමාත්‍යංශ යටතේ ගැසට් කරන ආයතන අතරින් කොටසක් නොදැනුවත්වම ගිලිහී ඇති බවක් දැක්වේ. කොප් වාර්තාව අනුව රජයට අයත් ආයතන ගණන හාරසිය හයක් බව කියැවෙන නමුත් තවත් වාර්තාවකට අනුව ආයතන ගණන පන්සිය විසි හතකි. කොටසක් කැබිනට් තීරණ අනුව වසා දමා ඈවර කර ඇත. එහෙත් වාර්ෂික වියදම් සඳහා මහජන මුදල් වැය කෙරේ. එය විශාල ප‍්‍රශ්නයක් බව පැහැදිලි කළ යුතුය.

ආණ්ඩුවල බලපෑමෙන් තොර ව්‍යාපාර 

ඉන්දියාව පසුගිය වසරේ පෞද්ගලීකරණ සැලැස්මක් ක‍්‍රියාවට නැංවීය. එයාර් ඉන්දියා ගුවන් සේවය, විදුලිය උත්පාදනය හා බෙදාහැරීම, දුම්රිය සේවයේ ඇතැම් අංශ, රක්ෂණ ව්‍යාපාරය ඇතුළු කොටස් එහි විය. පසුගිය වසරේ විකුණන ලද ගුවන් සේවය අත්පත් කරගත් සමාගම 2023 වසරේ අලුත් ගුවන් යානා 470 ක් ඇණවුම් කර ඇති අතර එය ලෝක වාර්තාවකි. රාජ්‍ය ව්‍යවසායවල බර අඩු කරගත් ඉන්දියාව 2023 අයවැය මගින් උපයන විට ගෙවන බදුවල විශාල සහනයක් ප‍්‍රකාශයට පත් කළේය. 
චීනයෙන් ලැබෙන වාර්තා අනුව 1996 සිට 2003 දක්වා කාලය තුළ ආණ්ඩුවට යටත්ව තිබුණු ආයතන ප‍්‍රමාණය 15෴ දක්වා අඩු කරන ලද අතර ඒවා පෞද්ගලික අංශයට විකුණා දැමීය. මෙලෙස විකුණන ලද ආයතන ප‍්‍රමාණය අසූ දහසකි. චීන ආණ්ඩුවට අයත්ව තිබූ පසුව පෞද්ගලීකරණය කළ සයිනොපැක් පෙට්‍රෝලියම් සමාගමට ශ‍්‍රී ලංකාවේ ආයෝජන අනුමැතිය පසුගියදා ලැබුණු අතර අද වන විට එය ලෝකයේ ඉසුරුමත් සමාගම් 500 අතර පස්වැනි ස්ථානයේ පසුවේ. බ්‍රිතාන්‍ය, ජර්මනිය, මැලේසියාව, තායිලන්තය, දකුණු කොරියාව, යුරෝපා රටවල් පෞද්ගලීකරණයෙන් විශාල වාසි අත්කරගත් රටවල්ය.

දේශපාලන බලපෑම්වලින් තොර සහ ඉක්මන් තීරණ ගනිමින් ක‍්‍රියා කරන අවකාශයක් ඇති කළහොත් රජයේ ආයතනවලට පැවැත්මක් තිබේ. බලයට පත්වන ආණ්ඩු හා ඒවායේ ප‍්‍රධාන මැති ඇමැතිවරු ආයතන බෙදාගන්නා අතර තමන්ගේ පාක්ෂිකයන් පත් කර පාලනය කරන්නට උත්සාහ කරති. ඊළඟ ඡන්දය දිනන ඉලක්කය ඇතිව අඩු මිලට සේවා සපයන ආයතන විශාල පාඩු ලබන අතර වෙළෙඳපොළ හැසිරීම ගැන අවබෝධයක් රහිත තීන්දු ගැනීමෙන් දැවැන්ත නාස්ති වාර්තා කෙරේ. රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මෙම නරක පැති ගැන විශාල වශයෙන් අනාවරණය කරන අතර රජයේ විගණන වාර්තා පිරික්සීමෙන් පසු රජයේ ආයතනවල බංකොළොත්භාවය වැටහේ. රටට අලුත් ආර්ථික ව්‍යුහයක් සකස් කර ගැනීම අරමුණු කරගෙන නව්‍ය සැලැස්මකට යා යුතු අතර ජාත්‍යන්තරයෙන් පාඩම් ඉගෙනගෙන රටට සැලැස්මක් සකස් කිරීම අවශ්‍යය.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02