2023 අප්‍රේල් 02 වන ඉරිදා

රත්තනපිටියෙන් මතු වූ මාර බයික් ටික

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 61

''ලංකාවෙ පදින්න තහනම් බයික් වගයක් හංගාගෙන ඉන්නවා. බොරුවට පොත් හදලා සමහරුන්ට විකුණනවා. ආසාවට ගත්ත ළමයි නිකරුණේ මැරෙනවා. මේවා ගැන හොයලා බලන්න.''

බස්නාහිර පළාත්  බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් ඒකකය වෙත මෙකී තොරතුරු ලැබී තිබුණි. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ ක්‍රියාත්මක මෙම බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ තොරතුරු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන ලෙසය. ඒ අනුව වැටලිම සිදුකිරීමට බාර කෙරුණේ බොරලැස්ගමුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් වෙතය.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුර සම්බන්ධයෙන් තවදුරටත් කඩිනමින් සොයා බැලූ එම නිලධාරීන් බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගබඩා සංකීර්ණයක් පිළිබඳවද හඳුනාගෙන තිබිණ. එසේ වැටලීම් ආරම්භ කළ නිලධාරීහු අධි එන්ජින් ධාරිතාවයෙන් යුත් මෙරට භාවිතය හෝ ආනයනය සපුරා තහනම් යතුරුපැදි සොයා බොරලැස්ගමුව රත්තනපිටිය විශ්වවිද්‍යාල පාරේ මෙහෙයුම සිදුකර තිබුණේ පසුගිය 24 වැනිදාය.

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේද උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ දූෂණ මර්දන අංශ නිලධාරීන් සැකකටයුතු ප්‍රසිද්ධ ගබඩාව වටලා තිබුණි. එම ස්ථානය විදේශවලින් ආනයනය කරන ජලනල හා උපාංග ගබඩාවකි. එම අවස්ථාවේ ආයතනයේ හිමිකරු නොසිටි නමුත් උපක්‍රමශීලීව ඔහු එතැනට කැඳවා ගැනීමට පොලීසිය කටයුතු කොට ඇත. ඔහු එතැනට පැමිණෙන අතරතුර එම ව්‍යාපාරිකයාට අයත් ගබඩාවේ රහස් කාමරයක තිබූ අධිබල ධාරිතාවයෙන් යුතු මිල අධික මෙරටට ආනයනය පවා තහනම් යතුරුපැදි අටක් සොයාගෙන තිබිණ. සැකකාර ව්‍යාපාරිකයා එතැනට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ක්‍රියාකර ඇත.

මෙම ව්‍යාපාරිකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 40 වැනි වියේ පසුවන ඔහු ජලනල උපාංග ආනයනය කරන මුවාවෙන් අධිබල එන්ජින් ධාරිතාවකින් යුත් යතුරුපැදි අමතර කොටස් තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වා ගෙන ඇති බව තහවුරු කරගෙන ඇත. එසේ හොරට ගෙන්වාගත් අමතර කොටස් රහසිගත අයුරින් එකලස් කරන්නට ඇති බව පොලිසිය සැක කරයි. රත්තනපිටිය විශ්වවිද්‍යාල පාරේ පිහිටි ගබඩා සංකීර්ණය පරීක්ෂාවේදී හමුවූ අධිබල යතුරුපැදි අතරින් යතුරුපැදි 5ක් ලියාපදිංචි කොට ඇති බව සඳහන් ලියකියවිලි කිහිපයක් ඉදිරිපත් කොට ඇත. ඉතිරි යතුරුපැදි තුන සඳහා කිසිදු සහතිකයක් ඉදිරිපත් කිරීමට ඔහු සමත්ව නොතිබුණි. සියලු යතුරුපැදි පොලීසිය බාරයට ගැණුන අතර යමහා, හොණ්ඩා, සී.බී.ආර්., බී.එම්.ඩබ්ලිව්. කේ.ජී.එම්., කවසාකි, අගුස්තා, ඩුකාට් යන මාදිලිවල යතුරුපැදි තිබී ඇතැයි පොලීසිය වාර්තා කළේය. ඇතැම් යතුරුපැදි රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා බවද වාර්තා වේ. මේ නිසා පොලීසිය සැකකරන්නේ අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු ලියාපදිංචි කළ යතුරුපැදි ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලියාපදිංචි කොටගෙන ඇති බවකි. එබැවින් ඒ සඳහා සොයාබැලීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් ආරම්භ කොට ඇත. එහි වැඩිදුර විමර්ශනය සඳහා රස පරීක්ෂණ අංශ නිලධාරීන්ද යොදවා සිටී.

ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් ලියාපදිංචි කොටගෙන තිබෙන යතුරුපැදිවලින් ඇතැම් විට සංචාරයේ යෙදුණු බව පවසා ඇත. ව්‍යාපාරිකයාගේ ගාණට කැමති වී අලෙවි කළ යතුරුපැදි පිළිබඳවද වාර්තා වී ඇත. 

බොරලැස්ගමුවට නුදුරු ස්ථානයක පිහිටි ප්‍රසිද්ධ වාහන සේවා සපයන ස්ථානයකි. එහි සේවය කළ හොරණ ප්‍රදේශයේ තරුණයකු මොහුගෙන් යතුරුපැදියක් මිලට ගෙන තිබුණේ අධික මුදලක් ගෙවමිනි. ඒ සඳහා තරුණයාගේ නිවැසියන් කිසිදු කැමැත්තක් දක්වා නැත. එවැනි පසුබිමක එම තරුණයා යතුරුපැදිය පදවමින් සිටි අවස්ථවාක හොරණ බුලත්සිංහල ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී ය. ඒ පිළිබඳව දැඩි සංවේගයට පත්ව සිටි ඥාතීන් යතුරුපැදිය විකිණූ පාර්ශ්වය සම්බන්ධයෙන්ද කෝපයෙන් පසුවී ඇත. මේ අනුව ව්‍යාපාරිකයාගේ අධිබල එන්ජින් ධාරිතාවෙන් යුතු යතුරුපැදි ගබඩාව පිළිබඳ පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ එම පාර්ශ්වයෙන් බවට ඇතැම්හු සැකකරති. 

කෙසේ හෝ සාර්ථක තොරතුරක් හරහා සිදුකළ වැටලීමෙන් පසුව ලියාපදිංචි නොකරන ලද යතුරුපැදි තුනක් හඳුනාගන තිබෙන අතර ඒවා රාජසන්තක වනු ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම වැටලීමට බොරලැස්ගමුව පොලීසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය, පොලිස් සැරයන් 68843 දේශාන්, පොලිස් කොස්තාපල්වරුන් වන 90293 තිලකරත්න, 91213 ඉසුරු සහ 103224 ලක්මාල් යන අය දායක වූහ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02