2023 අප්‍රේල් 02 වන ඉරිදා

රටට වැඩක් නැති ඊ පාස්පෝට් යට නොපෙනෙන අණ්ඩරය

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 63

විදේශ ගමන් බලපත්‍රය යනු රටක පුරවැසිභාවය සහතික කරන වටිනාම සහතිකයයි. රටින් රටකට යාමට අවශ්‍ය එකම අවසර පත්‍රය වන විදේශ ගමන් බලපත්‍රය අද පුද්ගලයෙක් සතු අවශ්‍යම ලියකියවිල්ලක් බවට පත්ව ඇත. සැබවින්ම එය රජය සතු දේපලකි.

අපේ රටේ විදේශ ගමන් බලපත්‍රය ගැන පසුගිය කාලය පුරා අහන්න දකින්න ලැබුණේ එතරම් සුබදායී පුවත් නොවේ. ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබාදීමට නොහැකිව ආගමන විගමන දෙපාර්තමේන්තුව අන්ත අසරණ විය. ඊට හේතු කීපයක් බලපෑවේය. ඉන් එකක් වන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ සිදු වූ ඩොලර් හිඟයයි. ඒ නිසා එකවර මහා පරිමාණයෙන් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකිවූයේ නැත. අනෙක් කරුණ වන්නේ කවරදාටවත් වඩා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ජනතාව වැල නොකැඩී පෝලිම්ගතවීමය. මීටත් වඩා දරුණුවටම බලපෑවේ ජාත්‍යන්තර අවුලකි. එනම් රුසියා - යුක්‍රේන යුද්ධය හමුවේ ලොවපුරා කඩදාසි හිඟයක් ඇතිවීමත් සමඟ නිෂ්පාදකයන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට හැකියාවක් නොතිබීම ය. මේ ප්‍රශ්න නිසා විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවිය. ඊට හොඳම අත්දැකීමක් ලියුම්කරුට ඇත. ලියුම්කරුගේ පවුලේ දෙදෙනකු විදේශ ගමන් බලපත්‍රයක් වෙත ඉල්ලුම් කළේ නොවැම්බර් 1 දාය. මේ ලිපිය ලියන මොහොත වනවිටත් එය ලැබී නැත.

කෙසේ වෙතත් ඉතාම ආර්ථික අසීරුතා මැද විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබාදීමත් එක්තරා අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ජනතාව ලෙස අප එය පිළිගත යුතුය. එහෙත් පුදුමයට මෙන්ම, සිනායන සිදුවීමක් වන්නේ මෙතරම් වැඩේ අල වී ඇති මොහොතක පාලකයන්ගේ මැදිහත් වීම මත කඩිමුඩියේ ඇති වූ ඊ පාස්පෝට්මේීනියාවය. එහි ඇත්ත කතාව දැනගත් පසු පාලකයන් මේ තරම් ඉක්මනින් ඊ පාස්පෝට් එකක් ජනතාවට ලබාදීමට ඇති උනන්දුව ගැන පුදුමයට වඩා ඇතිවන්නේ සැකයෙකි. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් පූර්ණ සොයා බැලීමක් සිදුකෙරුවෙමු.

ඊ පාස්පෝට් කතාව ප්‍රථමයෙන්ම කරළියට එන්නේ යහපාලන ආණ්ඩුව සමයේදීය. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඩිලාරෑ සමාගම වෙත රජයේ කැබිනට් සංදේශයක් මත එය පවරන්නේ ඉතාම දූෂිත ලෙසය. 2017 වසරේ ජූනි 13 දින මෙරට තොරතුරු තාක්ෂණ ආයතනයත්, ඩිලාරෑ සමාගමත් මේ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනය සඳහා අවබෝධතා ගිවිසුමක් පවා අත්සන් කර තිබීම පුදුමසහගත දෙයක් විය. එනම් තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව එකම සමාගමකට එය පැවරීම සැබවින්ම එය දූෂිත ක්‍රියාවක් විය. ඒ නිසාම එය අවසානයේ කුඩුපට්ටම් වී ගියේ ඊ පාස්පෝට් සංකල්‍පය අවසන් කරමිනි.

පාලකයන්ගේ ඇතැම් සිහින වෙත ළඟාවීම සඳහා ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවන සිහින වෙත කැන්දන් යාම ඉතිහාසයේ පටන්ම සිදුවී තිබේ. එම කතාව සහතික කරමින් රටේ ආර්ථිකය සෘණ මට්ටමින් යන මොහොතක තකහනියේ නැවතත් ඊ පාස්පෝට් එක ගෙන ඒම පවා එකී දූෂිත ක්‍රියාවලියේම කොටසක් වන බවට සැකයක් ඇතිවීම සමාන්‍ය දෙයකි. ඒ සැකය ඇතිවන්නේ මේ ක්‍රියාවලියේ ඇති අප්‍රභංශ වැඩ නිසාය.

වර්තමාන විදෙස් ගමන් බලපත්‍රයේ නිෂ්පාදන වියදම හරියටම ඩොලර් 5කි. එහෙත් පාලකයන් විසින් හඳුන්වාදෙන නව ඊ පාස්පෝට් එකේ වියදම ඩොලර් 20කි. මේ මොහොතේ ඩොලර් 5ක් ගෙවා ඉල්ලුමට සැපයුම ලබාදිය නොහැකි මොහොතක ඩොලර් 20ක් වැය කර ඊ පාස්පෝට් එකක් හඳුන්වා දෙන්නේ කුමන ලාබ ප්‍රයෝජනයක් සඳහාද යන්න ගැටලුවකි.

වර්තමානයේ ඩොලර් 5ක විදේශ ගමන් බලපත්‍රය එක් දින සේවාව හරහා රුපියල් 20,000කට ජනතාවට ලබාදෙයි. සමස්ත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් රජය වාර්ෂිකව ලබන ආදායම රුපියල් බිලියන විස්සකි. එම ආදායම රාජ්‍ය සේවක වැටුප් සඳහා සෘජුව යොදවනු ලැබේ. එහෙත් ඩොලර් 20 වටිනා ඊ විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දුනහොත් ආණ්ඩුවට එහි පාඩුව දරන්නට වනු ඇත. ඒ නිසා අවම වශයෙන් රුපියල් බිලියන 7කවත් පාඩුවක් මහා භාණ්ඩාගාරයට දරන්නට වනු ඇත. ඒ විදෙස් ගමන් බලපත්‍ර වර්තමාන මිලට ලබාදෙන්නේ නම් පමණි. එහෙත් මේ මොහොතේ පාඩුවක් දරාගෙන ආණ්ඩුව ජනතාවට එවැනි සේවාවක් පවත්වාගෙන යනු ඇතැයි සිතිය නොහැක. ඒ නිසා නියත වශයෙන්ම විදෙස් ගමන් බලපත්‍රයේ අතිරික්ත වියදම වූ ඩොලර් 15 නියත වශයෙන්ම ජනතාව වෙත පටවනු ඇත. ඊටත් වඩා පාඩු ලබන බිලියන 7ක පමණ මුදල ඩොලර් ලෙස විදේශයට ඇදී යනු ඇත. විදෙස් ගමන් බලපත්‍රය පමණක් නොව තාක්ෂණික උපාංග පවා මෙහිදී වෙනස් විය යුතු අතර එකී බරපැනද මේ මොහොතේ දරන්නට වන්නේ ආණ්ඩුවට හෝ ජනතාවටය. ආණ්ඩුව දැරුවත් එහි අවසානය අපට දරන්නට වනු ඇත. එසේ නම් මෙවැනි අවදානමක් ගන්නේ ඇයිද යන්න ගැටලුවකි.

කෙසේ වෙතත් රුසියාවේ රජය සමඟ මෙම ඊ පාස්පෝට් වැඩපිළිවෙළ සිදුවන බව කීවත් සැබවින්ම අපට දැනගන්නට ඇති පරිදි එය පෞද්ගලික සමාගමකි. විශේෂයෙන් එය පෞද්ගලික සමාගමක් නම් එනම් විදෙස් රජයක් මැදිහත්ව සිදුවන්නේ නම් එය ඉතාම බරපතල සිදුවීමක් වන අතර අපේ රටේ දත්ත වෙනත් රටකට යාමම දැඩි අවදානමක් බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් පෞද්ගලික සමාගමක් ආධාර දීමක් වශයෙන් මේ දේවල් සිදුකරන්නේ නැත. මේ සඳහා උපරිම පිරිවැය දරන්නට වන්නේ ආණ්ඩුවටමය. ඡන්දයක් පවා තියාගැනීමට තුට්ටුවක් නැති රටක මේ ආකාරයේ ඊ පාස්පෝට් මේනියාවක් ඇතිවීම පිටුපස නියත වශයෙන්ම ලොකු අත් තිබිය හැක.ඒ වෙන කිසිවක් නොව අපේ රටේ දේශපාලකයන්ගේ න්‍යාය වන්නේ &මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන වග* නිසාය. ඒ නිසා මේ වැඩේ එක පැත්තකින් හොඳ මීයකි.

කඩිමුඩියේ ගෙනෙන්නට යන  ඊ විදේශ ගමන් බලපත්‍රයක් හරහා අපට විශේෂ වරප්‍රසාදයක් ලැබේද යන්න අපි මෙහිදී සොයා බැලුවෙමු. ශ්‍රී ලංකාව සතුව ඊ විදේශ ගමන් බලපත්‍රයක් තිබෙනවා යන වචනය පමණක් අපට අහන්නට සිදුවන අතර ඒ හරහා විශේෂ වාසියක් ඇති වන්නේ නැත. එම ඊ විදේශ ගමන් බලපත්‍රය ලංකාවට පමණක් වලංගු වන අතර ජාත්‍යන්තර වශයෙන් එය සාමාන්‍ය ගමන් බලපත්‍රයක් පමණක් වනු ඇත. ඊ විදේශ ගමන් බලපත්‍රයක ජීව දත්ත තොරතුරුවලට අමතරව තවත් සෞඛ්‍ය තොරතුරු ඇතුළත් වන අතර ඒ සියල්ල එක් පද්ධතියකට ඇතුළත්ව සියලු තොරතුරු ඊ විදෙස් ගමන් බලපත්‍රය හරහා විදෙස් රටකට ඇතුළත් වනවිට පෙන්වනු ලබයි. කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි සාර්ථකම ඊ විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක වන්නේ යුරෝපයේය. යුරෝපයේ ඕනෑම රටකින් ඇතුඵ වුවත් සියලු දත්ත එකම පද්ධතියක ක්‍රියාත්මක වේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක් එය ලබාගත් පසුව එම පහසුකම ක්‍රියාත්මක වන්නේ අපේ රටේ පමණි. අනෙක් ඕනෑම රටකට ගමන් කරන විට එය සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් පමණක් වනු ඇත. එසේ නම් මෙපමණ කඩිමුඩියේ මෙම ඊ විදෙස් ගමන් බලපත්‍රය සකසන්නේ කුමක් අරමුණෙන්ද? අපේ විදෙස් ගමන් බලපත්‍රයේ අවුලක් නිසාද?

නැත. අප විදෙස් ගමන් බලපත්‍රයේ කිසිදු ප්‍රශ්නයක් නැත. ඇත්තේ අපේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ලබාදෙන ලියැකියවිලිවලය. අපේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ලබාගන්නේ උප්පැන්න සහ හැඳුනුම්පත පමණි. මේ ලියැකියවිලි දෙකම අද වනවිට ඉතාම දූෂිත ලෙස කළුකඩවලින් සකසනු ලබයි. එවාහී ව්‍යාජ බව සහතික නොවන නිසා ඒ ලබාදෙන ඕනෑම ලියකියවිල්ලක් වෙත විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ හැකියාව ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ රිෂානා නාෆික්ගේ සිදුවීමය. රිෂානාට වැඩි වයසක් දමා සකසන ලද උප්පැන්නයට අනුකූලව විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කර තිබිණි. අවසානගේ රිෂානා හිස ගසා දැමීමට සූදානම් වන අවස්ථාවේ ඇය ළමයකු බව හැම දෙනා කීවත් ආණ්ඩුවට එය ලෝකයට කීමට හැකියාවක් ඇති වුණේ නැත. එයට හේතුව එසේ කීවා නම් අපේ රටේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇතිවන කළු පැල්ලම නිසාය. මේ නිසා අවසානයේ ඇගේ හිස ගසා දමනතෙක් ආණ්ඩුවට කිසිවක් කර ගැනීමට හැකිවුණේ නැත. ඒ නිසා මේ ඊ පාස්පෝට් එක හරහා රටට ලැබෙන වාසියක් බැලු බැල්මට නැත. ඊ පාස්පෝට් නිකුත් කළද ඊට අදාළ ලියැකියවිලි ව්‍යාජ ලෙස ලබාදෙන ඒවා වුණොත් ඒ විදෙස් ගුවන් බලපත්‍රයෙන්ද වැඩක් නැත.

අප දැන් ආර්ථික වශයෙන් ක්‍රමයෙන් ඔඵව උස්සමින් සිටින්නේ අනවශ්‍ය වියදම් කපා හැර ආනයනික සීමා පැනවීමත් මූල්‍ය ආධාර ලැබීමත් සහ අප විසින් ලබාගත් ණය නැවත නොගෙවීමත් නිසාය. එහෙත් අප ණය ගෙවීමට නැවත පටන් ගත් පසුව අවම වශයෙන් මාසයකට ඩොලර් මිලියන 600ක් ණය වාරික වශයෙන් ගෙවන්නට සිදුවනු ඇත. ඒ නිසා මේ ආර්ථිකය නමැති ලෙඩා මරණාසන්නව ඇඳේ සිටින මොහොතේ ඇඟිල්ලක් සෙලවූ පමණින් ආ දැන් පණ ආවා යැයි සිතා සෙල්ලමට ගැනීම එතරම් සුදුසු වන්නේ නැත. මේ හදිසි ඊ පාස්පෝට් කතාවත් එවැනිම දෙයකි. දැන්වත් මේ ගැන පාලකයන් සිතුවහොත් එය වටිනා බව අපගේ මතයයි.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02