ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයක් අනුමත වූ බව රජය නිල වශයෙන් ප්‍රකාශ කළේ පසුගිය 20 වැනිදාය. මාස 48ක් තුළ ක්‍රියාත්මක වන දීර්ඝ කාලීන වැඩසටහනකට යටත්ව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේ 4% ක වාර්ෂික පොලියකට යටත්වය. පළමු ණය වාරිකය වන ඩොලර් මිලියන 330ක් මේ වනවිට ලැබී තිබේ. විස්තීරණ ණය පහසුකමක් යනු නිශ්චිත කාලසීමාවක් පුරා යම් වැඩසටහනක ප්‍රගතිය සලකා බලමින් පියවරෙන් පියවර අරමුදල් සපයන වැඩසටහනක් ලෙස අර්ථ දැක්වේ. ඒ අනුව මුළු ණය මුදලම එකවර නොලැබේ.
මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත්කර ඇති අයුරු මෙම ණය මුදල දීමෙන් අපේක්ෂා කරන බලාපොරොත්තු හතරකි.
රටේ මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කිරීම. ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්වූ පිරිස් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක ජාලයක් සැකසීම. දූෂණය හා නාස්තිය අවම කිරීමෙන් රටේ සාර්ව ආර්ථික ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම. ණය තිරසරභාවය ඇති කිරීම.
මෙයට පෙර ශ්‍රී ලංකාව 16 වරක් මූල්‍ය අරමුදලෙන් ණය ඉල්ලුවද අවස්ථා 6 කදී එය ප්‍රතික්ෂේප වී ඇත. සෙසු ණයවලදී එකඟතා කොන්දේසි දිගටම ඉටු කිරීමට රටට නොහැකි වීම නිසා ඉල්ලීම් දිගටම ගමන් කර නැත. කෙසේ වුවද රජය බලාපොරොත්තු වන්නේ මෙවර හෝ මුළු ණය මුදල දිගටම ලබාගෙන රටේ ආර්ථික ස්ථායිතාවක් ඇතිකර ගැනීම වෙයි.
මෙම ණය මුදල ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි සහ අවාසි පිළිබඳ මේ දිනවල නොයෙක් දෙනෙක් කතාබහ කරති. ඇතැමෙක් මේ පිළිබඳ සර්ව ශුභවාදී ලෙස බලන අතර ඇතැමෙක් අශුභවාදීව දකිති. ශ්‍රී ලංකාවට මෙයින් ලැබෙන ආර්ථික වාසි සහ අවාසි දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික දෘෂ්ටිකෝණවලින් විමසීමට පුළුවන. එහෙත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස දුරින් සිට මෙම අවස්ථාවේදී සර්ව ශුභ හා අශුභවාදී වශයෙන් කතා කිරීමට වඩා වැදගත් වන්නේ එකඟතාවයේදී ඇති කරගත් කොන්දේසි අනුව සලකා බැලිය යුතු බවය.
අරමුදලේ කොන්දේසිවලට එකඟ වීමේදී රටේ දේශපාලනික වාසි අවාසි, ස්ථාවරභාවයට හෝ සමාජයීය ස්ථාවරභාවයට සිදුවන බලපෑම් පිළිබඳ සැලකිල්ලට නොගැනීමට සිදුවේ. ඇතැම් දෙනා මෙය හඳුන්වන්නේ තිත්ත බෙහෙත් බීමක් ලෙසටය. බොහෝ දෙනා මෙම කොන්දේසිවල ඇති දැඩි බව සහ අමානුෂිකභාවය පිළිබඳ විවේචනයට පාත්‍ර කරති.
රාජ්‍ය ආදායම 2026 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා වැඩිකර ගැනීම ප්‍රධාන කොන්දේසියක් වේ. රජය පසුගියදා බදු ව්‍යුහයේ තීරණාත්මක වෙනස්කම් රුසක් සිදු කළේ මෙම කොන්දේසිය සැපිරීම උදෙසාය. වැට් බදු අනුපාතිකය 15% දක්වා යළි වැඩි කළ අතර, උපයන විට ගෙවන බද්ද 36% දක්වා ඉහළ නංවා තිබේ. 2025 වසර වනවිට ධන බද්ද හා හුවමාරු බද්ද ලෙස අලුත් බදු දෙකක් හඳුන්වා දීමද අලුත් කොන්දේසියක් වෙයි. උපයෝගිතා සේවා සඳහා රාජ්‍ය ආධාර නොලැබිය යුතු අතර ඒවායේ පිරිවැයට සරිලන මිලක් නියම කළ යුතු වේ. රජය ඉන්ධන මිල හා විදුලිය බිල ඉහළ නැංවීම මෙම කොන්දේසියට අනුරෑපීව සිදු කරන ලද්දකි. ජල ගාස්තු වැඩි කිරීමටද මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් පවතී. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමටද මේ වනවිට ආරම්භ කර ඇති අතර ලිබරල් ආර්ථික සිද්ධාන්තය අනුව රජය ව්‍යාපාර කටයුතුවල නිරත නොවිය යුතුය යන අදහස ජනතාව තුළ කිඳා බැස්සීමට රජය කටයුතු කරන්නේ මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසි අනුව වෙයි. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන විටම වාගේ රජය ප්‍රකාශ කළ අතර නුදුරේදී ණය හිමි රටවල් සමඟ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ වීමට නියමිතය.
ඉටු කිරීමට දුෂ්කර කොන්දේසි ලෙස සැලකෙන්නේ දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 110% ක් වන සමස්ත ණය ප්‍රමාණය 2028 වසර වනවිට 96% දක්වා පහළ දැමීම, රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.4% ක් දක්වා අඩු කිරීමද වෙයි. දළ මූල්‍ය අවශ්‍යතාව 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 32% ක් වන අතර එය 2027 දී 13% දක්වා අඩු කළ යුතුය යන කොන්දේසියද ඉටු කිරීමට අපහසු ඒවා අතර වේ. එසේම දේශීය ණය කපා හැරීමට එකඟ විය යුතු අතර රාජ්‍ය බැංකුවලින් හා ඊ.පී.එෆ්. හා ඊ.ටී.එෆ්. අරමුදල්වලින් මෙන්ම භාණ්ඩාගාර බිල්පත්වලින් සහ සුරුකුම්පත්වලින් ලබාගත් දේශීය ණයද ඉවත් කිරීම මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙයි.
මෙම කොන්දේසි සියල්ලම ඉටු කළ නොහැකි බවට සැකයක් නැති වුවද යම් පමණකට හෝ මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු නොකර ඊළඟ ණය වාරික ලබාගැනීම ගැටලුකාරී වනු ඇති බවට සැක පහළ වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට පැනවූ කොන්දේසි ඉටු කිරීම කොතරම් දුරට ප්‍රායෝගික වේද යන්න ගැන අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ මෙම කොන්දේසි එකිනෙකට පරස්පර වන අතර ඉටු කිරීම සිහිනයක් පමණක් වනු ඇති බවයි.
''බොහෝ විට කියන්නේ අයි.එම්.එෆ්. දී ඇත්තේ කොන්දේසි මාලාවක් කියලයි. එහෙත් මේවා කොන්දේසිවලට වැඩිය ඉලක්ක ලෙස හැඳින්වීම නිවැරදියි. එයට හේතුව මේවා ඉටු කිරීමට දින වකවානු ලබා දී තිබීමයි. ඒ කාලවලට පෙරදී සම්පූර්ණ කළ යුතු වෙනවා. පවතින වාතාවරණය තුළ එය ඉටුකළ හැකිවේද යන්න අවිනිශ්චිතයි. මෙම ඉලක්කවලට අවනත වූවා යැයි කියතත් ඒවා සපුරාලීමට අවශ්‍ය ආර්ථික සහ දේශපාලන පසුබිමක් අපට නැහැ. එය ඇතිකරලීමෙන් තොරව ඉටු කරන්නේ කෙසේද යන්න ගැටලුවක්. මෙම ඉලක්ක සපුරාලීම සඳහා දේශීය ආර්ථික රටාව වෙනස් විය යුතුයි. පවතින තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනවා නම් බලාපොරොත්තු ඉටුකර ගන්න නොලැබෙන බව කිව යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2026 වසර වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සංචිත ඩොලර් ප්‍රමාණය බිලියන 10.9 දක්වා වැඩිකර ගත යුතු වෙනවා. 2022 වසර අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබුණේ අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක ප්‍රමාණයක්. එය එසේ නම් අරමුදල බලාපොරොත්තු වන පරිදි මෙතරම් ප්‍රමාණයකින් සංචිත වැඩිකර ගන්න අපහසුයි. එයට හැකියාවක් නැත්තේ අපට දුර්වල සංකෝචන ආර්ථිකයක් ඇති නිසයි. මෙම ආර්ථිකය ප්‍රසාරණය කර නොගෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 10ට වැඩියෙන් ඉහළ නංවා ගැනීම අපහසුයි. සංචිත වැඩිකර ගැනීමට නම් විදේශ වෙළෙඳාමෙන් ලාභ ලැබිය යුතුයි. විදේශ ප්‍රේෂණ අපේ රටට ආ යුතුයි. එහෙත් එවැනි සැලසුමක් අප තුළ දක්නට නැහැ. තාවකාලික පැලැස්තර යොදලා වැඩක් නැහැ.
විදේශ සංචිත වැඩිකර ගැනීමට විදේශ ණය අරගෙන ඒවා දමන්න පුළුවන්. මෙච්චර කල් කරලා තියෙන්නේ එයයි. එහෙම නැතිනම් රටේ දේපළ විදේශවලට අලෙවි කරලා ඩොලර් ලබාගන්න පුළුවන්. දැන් පටන්ගෙන තියෙන්නේ එයයි. එහෙත් ඒ සියල්ල තාවකාලික විසඳුම්. මේ සඳහා ආර්ථික ව්‍යුහය වෙනස් කළ යුතු වෙනවා. රටේ අකාර්යක්ෂමතාව නැති කළ යුතුයි. අපනයන වැඩි කළ යුතුයි. එහෙත් එවැනි වැඩපිළිවෙළක් තිබෙන බවක් පෙනෙන්නෙ නැහැ. අතීතයේ තිබූ ක්‍රියාවලිය දිගටම ගෙන යන බවයි පෙනෙන්නෙ. කලින් වගේ ණයට ඩොලර් ලබාගෙන සංචිත වැඩි කරගෙන ප්‍රතිඵලයක් නැහැ. දේශීය ආර්ථිකය සංවර්ධනය කරලා විදේශ විනිමය ඉපයිය යුතුයි. ඒ සඳහා ආර්ථික ගමන් මග වෙනස් කිරීම අවශ්‍ය වෙනවා.
රජයේ දළ මූලනය හෙවත් ණය ගෙවීම් 2026 අවුරුද්ද වනවිට 15.9% දක්වා අඩු කරගත යුතු බවට මූල්‍ය අරමුදල අවධාරණය කරනවා. 2022 වසර වනවිට 34.5% ක දළ මූලනයක් පවතින ශ්‍රී ලංකාව 2026 වසර වනවිට 117% කින් පමණ ණය ගෙවීම් අඩු කරගත යුතු බවට මූල්‍ය අරමුදල ඉලක්ක නියම කර තිබෙනවා. මෙය ප්‍රායෝගිකව කළ හැක්කක් නොවෙයි. 40% - 50% පමණ අඩුකර ගන්න පුළුවන් වේ යැයි කිව්වද මෙතරම් විශාල ප්‍රමාණයකින් අඩුකර ගැනීම අවිනිශ්චිතයි. දිගටම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීම අපහසුයි.
මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යම්තාක් දුරකට හෝ සැබෑවක් කර ගැනීමට නම් අල්ලස, දූෂණය හා නාස්තිය අවම කළ යුතු අතර රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි. ආයතනවල ඵලදායීතාව යම් පමණකට හෝ සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිකර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයි. එහෙත් පවතින ආර්ථික හා දේශපාලන පසුබිම තුළ රජයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමේදී එවැනි ක්‍රියාමාර්ගයකට ඔවුන් අවතීර්ණ වේ යැයි සිතිය නොහැකියි.
වංචා, දූෂණ හා නාස්තිය නැති කිරීමට දෙන උපදෙස් පිළිගන්නට, ඒවා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් තිබෙන බවක් පෙනෙන්න නැහැ. රටේ මෙතරම් විශාල ආර්ථික අර්බුදයක් උද්ගත වූයේ වංචාව හා දූෂණය ඔඩුදිවීම නිසයි. ඉදිරියේදිවත් ඔවුන් තමන් යන ගමන් මග වෙනස් කරාවි කියලා හිතාගන්න බැහැ. රටේ දේශපාලනඥයන් අඛණ්ඩව ක්‍රියා කර ඇත්තේ දූෂණය ඉදිරියට පවත්වාගෙන යමින් ජනතාවට දේශපාලන වාසි දෙමින් ඔවුන් රවටා මැතිවරණ ජයග්‍රහණය කිරීමට පමණයි. ඔවුන් තවදුරටත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට පෙළඹෙනවා ඇති.
මේ වනවිට ආසියාවේ ප්‍රමුඛතම වංචා දූෂණ පනතක් ගෙනා බවට පුරසාරම් දොඩවනවා. එහෙත් මෙවැනි නීති ගෙන ඒමෙන් ඒවා දුරු කරන්න බැහැ. අදටත් අල්ලස් දූෂණ පනතක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවක්ද ක්‍රියාත්මකයි. එහෙත් පවතින නීති ක්‍රියාත්මක නොකරන පසුබිමක අලුත් ඒවා හඳුන්වා දීමෙන් වැඩක් වන්නේ නැහැ.
මූල්‍ය අරමුදලට අවශ්‍ය තොරතුරු දෙන්නේද අපේ නිලධාරීන්. ඒ ලියවිලි හදන්නේ අපේ අයයි. අරමුදල ඒවා පාදක කරගෙන තමා විසඳුම් දෙන්නේ. මෙහිදී සිදුවන්නේ ලියකියවිලි හරඹයක් මිසක ප්‍රායෝගික විසඳුමක් නොවෙයි. යථා තත්ත්වය බොහෝ විට සැඟවිලා තියෙන්න පුළුවන්. අපි තවම ඉන්නෙ ණය ගෙවීම නවත්වලා බව අමතක කරන්න හොඳ නැහැ. තාම ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගිහින් නැහැ.
මූල්‍ය අරමුදල දුන් ඉලක්කවලට යාමට නම් මුලින්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඔවුන් ආධාර දෙන රටවලින් බලාපොරොත්තු වන්නේද ආර්ථිකය ශක්තිමත් කිරීමක්.
මේ විදිහට ආණ්ඩුව කරන්නේ තමන්ට අවශ්‍ය අයට හානියක් නොකර අනිත් අය බිල්ලට දීමක්. ගැටලු ඇතිවෙලා තියෙන්නෙ ඒ නිසයි. අද ඒ අය කරන්නෙ කඩදාසිවලින්, ලිපිගොනුවලින් කරන බව පෙන්වීම මිස ප්‍රායෝගික ගැටලුවලට පිළියම් යෙදීම නොවෙයි. තව කොපමණ කාලයක් මේ සියල්ලම කරගෙන යා හැකිද යන්න අවිනිශ්චිතයි.''
I යසවර්ධන රුද්රිගූ