2023 අප්‍රේල් 09 වන ඉරිදා

සංචාරක මඟපෙන්වන්නන්ගේ අවුල

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 306

සංචාරකයන් ලෙස පැමිණ, මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා සිදු කරමින් සිටින පිරිස්වල රැකියා අවස්ථා අහිමි කරන විදේශිකයෝ පිරිසක් වෙති. ඔවුන් පිළිබඳ තොරතුරු අප වෙත ගලා  ආවේය. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය මේ මොහොතේ අප ආර්ථිකය දරා සිටින ප්‍රධාන කර්මාන්තයකි. එම නිසා මෙම තොරතුරු ඉතා සංවේදීය.

මේ පිළිබඳ තොරතුරු හරිහැටි දන්නා කර්මාන්තයේ නියුතුවූවන් පවා නිහඬව දරා සිටින්නේ බැවිනි. බලධාරීන් ද මුනිවත රකින්නේ එනිසාම විය හැකිය. එහෙත් මෙම අනාවරණය තවදුරටත් පමා කිරීම ජාතියේ පසුතැවිල්ලට හේතු විය හැකිය. එම නිසාවෙන්ම මෙම තොරතුරු අපි ඔබ හමුවේ තබමු. මන්ද සංචාරක කර්මාන්තය හරහා මේ රට තුළට ගලා එන විදේශ විනිමය හොර රහසේම රටින් පිටවන තැනට මෙම ජාවාරම දුරදිග ගොස් ඇති බව අප වෙත අනාවරණය වීමය. 

මෙරට සංචාරක මාර්ගෝපදේශනය සඳහා විදේශිකයන්ට අවස්ථාවක් නොමැත. එසේම මෙරට තුළ නීත්‍යානුකූල අවසරයකින් තොරව ආපන ශාලා හෝ හෝටල් පවත්වාගෙන යාමට ද විදේශිකයන්ට අවසරයක් නොවේ. එහෙත් මෙම කටයුතු ද්විත්වය මෑත කාලීනව කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන සංචාරකයන් රැසක් පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ.

මේ වන විට මෙහි මූලිකයන් වී ඇත්තේ රුසියානුවන්ය. ශ්‍රී ලංකාව තුළ රුසියානු සංචාරක මාර්ගෝපදේශනය ක්‍රමයෙන් රුසියානුවන් අතට පත්වෙමින් තිබේ. අප වෙත තොරතුරු ලබාදුන් රුසියානු සංචාරක මගපෙන්වන්නන් පවසන පරිදි, ආගමන විගමන අංශවල ඉහළ පෙළේ නිලධාරීන් හා දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ආශිර්වාදය ද මේ සඳහා ලැබී තිබේ. මෙරට යම් යම් ක්ෂේත්‍රවල කටයුතුවල නිරත වීමට වීසා ලබාගැනීමේ හැකියාවක් පවතින බව සැබෑය. ඒ සඳහා ආගමන විගමන අංශවල අනුමැතිය හිමිවේ. දේශීය සංචාරක මාර්ගෝපදේශකයන් පවසන පරිදි අල්ලසට දූෂණයට යටවී නිලධාරීහු මෙම සංචාරකයන් වෙත එවැනි වීසා නිකුත් කරති. 

එම වීසාවලට මුවා වී මෙම රුසියානු ජාතිකයෝ සංචාරක මගපෙන්වන්නන් ලෙස සහ සංචාරක ව්‍යාපාරිකයන් ලෙස මෙරට තුළ කටයුතු කරති. සැබැවින්ම සංචාරක මාර්ගෝපදේශනය වෙනත් රටක පුද්ගලයකුගේ සේවාව ලබාගැනීමට බුද්ධිමය අවශ්‍යතාවයක් නොමැති ක්ෂේත්‍රයකි.

සමස්තයක් ලෙස ගත් කල මෙරට ඇතැමුන්ගේද ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක වන මෙම ජාවාරම, රුසියානුවන්ට අමතරව චීන, ඉන්දියානු වැනි සංචාරක කණ්ඩායම් වෙතින් ද යම් පමණකට හඳුනාගත හැකිය. එහෙත් අතිශය බරපතළ ලෙස රුසියානු සංචාරක කර්මාන්තය සිය පාලනය යටතට ලබාගෙන ඇත්තේ රුසියානු ජාතිකයන් පිරිසක් විසිනි. දේශීය වශයෙන් පවත්වාගෙන යන වෙළෙඳසල් සහ ආයතන පිළිබඳ වැරදි තොරතුරු සංචාරකයන්ට ලබා දී ඔවුන් නොමග යැවීමට ද මෙම පිරිස කටයුතු කරමින් සිටිති. 

තමන් වෙත ලැබිය යුතු කොමිස් මුදල් සම්බන්ධව හෙට්ටු කිරීම්වලදී, රුසියානු සංචාරකයන් නොමග යවන බවට තර්ජනය කිරීමට පවා මෙම පිරිස් මැලි නොවන බවට තොරතුරු වාර්තා වී තිබේ. ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන් පවා (National Guide) මෙම තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිති.

එහෙත් එම පිරිස ප්‍රසිද්ධියේ හඬ නැගීමට මැලි වන හේතුවක් ද වේ. සංචාරක කර්මාන්තය තුළ නම් දැරෑ චරිත කිහිපයක් මෙම ජාවාරම පිටුපස සිටීම ඊට හේතුවයි. පසුගිය සමයේ මේ සම්බන්ධව කරුණු රජයේ ඉහළම බලධාරීන් වෙත වාර්තා කර ඇතත් ඵලක් වී නොමැත. ඇතැම් තැනක රුසියානු සංචාරක කර්මාන්තයට විරුද්ධව, කතා කිරීමක් ලෙස මෙය අර්ථ නිරෑපණය කොට මේ සම්බන්ධව අදහස් දක්වන පාර්ශ්ව වෙත බලපෑම් කළ අවස්ථා පිළිබඳව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙහිලා සඳහන් කළ යුත්තේ රුසියානු සංචාරක කර්මාන්තයෙන් යැපෙන කිසිවකු රුසියානු සංචාරක වෙළෙඳපොළ අහිමි කර ගැනීමට කැමැති නොවන බවයි. නමුත් මෙම ආක්‍රමණය හමුවේ සිය රුකී රක්ෂා අවදානමට ලක්වීම පිළිබඳ ඔවුන් සංවේදීය. තවද රජයේ ඇතැමුන් පවසන පරිදි සුදුස්සන් නොමැති නිසාවෙන් මෙවන් කටයුතුවලට ඉඩකඩ දී තිබේ. කෙසේ වෙතත් මෙරට රුසියානු සංචාරක කර්මාන්තය හා සම්බන්ධ දැනුමැති කණ්ඩායම් ඕනෑතරම් සිටින බව ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් අප සමඟ පැවසූහ.

මේ වන විටත් ඇතැම් රුසියානුවන් මෙරට තුළ තාවකාලිකව නිවාස ගොඩනැගිලි කුලියට හෝ බද්දට ගනිමින්, ව්‍යාපාර පවත්වාගෙන යාමට ද කටයුතු කරමින් සිටින බව පෙනී යයි. මෙම අනවසර ආයතන වෙත පැමිණෙන රුසියානුවන්ගෙන් ශ්‍රී ලංකාව තුළ මුදල් අය නොකෙරෙන බව කියැවේ. වාර්තා වන පරිදි එම ගනුදෙනු සිදුවන්නේ රුසියානු මූල්‍ය පද්ධතිය තුළයි. එවන් අවස්ථාවල මේ රටට ලැබිය යුතු විදේශ විනිමය සැලකිය යුතු පරිමාවකින් අහිමිව යාම ද වළක්වාගත නොහැකිය.

කෙසේ වෙතත් මෙරටට පැමිණෙන සංචාරකයන් මෙරට තුළ ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වීම අලුත් යමක් නොවන බව ද පැවසිය හැකිය. සංචාරකයන් ලෙස පැමිණෙන ඇතැම් පිරිස් මෙරටදී විවාහ වී, දේපළ අත්කරගෙන ව්‍යාපාර කරමින්, රුකියා කරමින් දිවි ගෙවති. කෙසේ නමුත් මේ තාක් ඒ සියල්ල සිදුවූයේ විධිමත් නෛතික රාමුවක් යටතේය. එහෙත් මේ මොහොතේ අප පෙන්වා දෙන ක්‍රියාවලිය සිදුවෙමින් ඇත්තේ එවන් නෛතික පිළිගැනීමක් සහිතව නොවේ.

රටක් ලෙස බංකොලොත් වී ඇති අපට සංචාරක පැමිණීම මහමෙරක් බව අමුතුවෙන් කිවයුතු තැත. එම සංචාරක වෙළෙඳපොළ කඩාකප්පල් කිරීමට ද කිසිවකුට අවශ්‍යතාවයක් නොවේ. එහෙත් බංකොලොත් වූ අප රාජ්‍යයේ දූෂිත යාන්ත්‍රණයන් භාවිත කරමින් විදේශිකයන්ට දේශීය සංචාරක කර්මාන්තයට හානි කිරීමට ඉඩ ලබා දීම යුක්ති යුක්ත නොවේ. වගකිවයුත්තන් මේ පිළිබඳ කඩිනමින් සංවේදී විය යුතුමය.

දැනට සිදුවෙමින් ඇත්තේ මෙරට පුරවැසියන්ගේ රුකියා අහිමිවීම සහ විදේශ විනිමය අහිමිව යාම පමණි. එහෙත් මෙම තත්ත්වයන් වළක්වා නොගතහොත් දිනයක මත්ද්‍රව්‍ය මාෆියාව, ලිංගික ශ්‍රම වෙළෙඳාම, මිනිස් ජාවාරම ඇතුළු කලකින් විසඳාගත නොහැකි වූ බරපතළ ගැටලුවලට රට ලෙස අප මැදිවනු ඇත. 

I චමිඳු නිසල් ද සිල්වා