කරුවලේ විභාගෙ ලියූ උසස් පෙළ සිසුවෝ ලකුණු එනකල් ඇඟිලි ගනිමින් බලාගෙන සිටිති. දරුවන්ගේ පිළිතුරු පත්‍ර බලන්නට ගුරුවරුන් හිඟය. අවුරුද්දට කලින්ම බලධාරීන් කඹ ඇදිල්ලකය. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමෙන් ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාලවීම පිළිබඳ කවුරුත් කතා නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ගුරුවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ නොවී සිටිති. 2023 ජනවාරි මාසයේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සිසුහු 339,000ක් පෙනී සිටියහ. විභාගයේ උත්තර පත්‍ර බලන්නට නියමිතව තිබුණේ පෙබරවාරි 23 වැනිදාය. මේ වනවිට මාස දෙකකටත් ආසන්නය. පිළිතුරු පත්‍ර ඇගයීමට ආසන්න වශයෙන් සති 06ක් ගතවන අතර ඒ සඳහා පරීක්ෂකවරුන් වශයෙන් ගුරුවරු 19000 ක් සහ ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස සරසවි ආචාර්යවරු 1400 ක් පමණ සහභාගි වෙති. පසුගිය වසරේ සිට මේ සඳහා ගුරුවරුන්ගෙන් අයැදුම්පත් කැඳවීම සිදු කළද මෙතෙක් ලැබී ඇත්තේ අයැදුම්පත් 13,000ක් පමණක් බව වාර්තා විය.
මේ හේතුවෙන් සංයුක්ත ගණිතය, විද්‍යාව, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී විෂයයන්වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම කිසිදු අයුරකින් ආරම්භ කළ නොහැකි තත්ත්වයක් පවතින බවත් වාර්තා විය.
වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් ඉකුත් 29 වැනිදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුවද එය එකඟත්වයෙන් තොරව අවසන් වී තිබූ බව කීය. එක එක අත එක එක කතාය. එහෙයින් මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට අපි සිතුවෙමු.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ කීය.
''රජය මැදිහත් වී අසාධාරණ බදු ප්‍රතිපත්තියට සාධාරණයක් ඉටු නොකළහොත් පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉවත් වනවා කියා අපි කිව්වේ උසස් පෙළ විභාගය පවත්වන්නටත් මාසයකට කලින්. එහෙත් විභාගයත් අවසන් වෙලා තවම පිළිතුරක් ලැබී නෑ. අපිට වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. රුහුණෙ ප්‍රශ්න මේකට අදාළ නෑ. උත්තර පත්‍ර බැලීම සම්බන්ධයෙන් අපට තියෙන්නේ එක ඉල්ලීමයි. එනම් බදු ප්‍රශ්නය විසඳා දෙන්න කියලා. අධික බදු බර හේතුවෙන් පීඩාවට පත් වී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහනයක් දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව විදිහට පොදුවේ අපි යෝජනා කිහිපයක් ලබා දීලා තියෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කල් දීලා තියෙනවා. එහෙත් දැනට තාවකාලික ප්‍රශ්න ටිකට තාවකාලිකව විසඳුම් ඕනෑ. ජනාධිපති සමඟ සාකච්ඡාවක් ලබාදෙන්නම් කියලා ජනාධිපති ලේකම් කිව්වත් තවම එය සිදුවී නෑ. ආණ්ඩුව හෙට සිට හෝ මෙයට විසඳුමක් දුනහොත් ආචාර්යවරු සිංහල අවුරුදු දිනවල හරි පිළිතුරු පත්‍ර බලයි. පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වන්නේ අපේ ගැටලුවකින් නෙමෙයි. ආණ්ඩුව මෙයට ප්‍රතිචාර දක්වන්නේ නොමැති නිසයි. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාරියේ කොටසක් නෙමෙයි. අපි මේක ස්වෙච්ඡාවෙන් කරන දෙයක්. අපි ආණ්ඩුවට කල් දුන්නා. ආණ්ඩුව මාස තුනක් විතර ඉඳන් මේ ප්‍රශ්නය කල් මරනවා. මෙතැන ප්‍රශ්නය එයයි.'' යැයි මහාචාර්ය බන්නැහැක මහතා වැඩිදුරටත් පැවසුවේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන්නේ එහෙම කතාවකි.
උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන්ට ගෙවන දීමනාව වැඩි කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඉකුත්දා පැවසුවේය. එසේම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා මේ මස 18 වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බවද හෙතෙම පැවසුවේය.
ඔබට සතුටුයිද දැන්? මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසූයේ මෙවැන්නකි.
''දීමනා ප්‍රමාද වීම සහ පූර්ව දීමනා කලට වේලාවට නොගෙවීම, ඒ ගෙවන දීමනාත් කප්පාදු කිරීම ආදී කරුණු නිසයි මෙවැනි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. කලින් ගාස්තු ගෙව්වෙත් විශාල වශයෙන් ප්‍රමාද වෙලා. කප්පාදුවක් කරලයි ගෙව්වේ. මේකට විරෝධය පළ කරන්න ගුරුවරු මෙදා සැරේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට අයැදුම් කළේ නෑ. පෙබරවාරි 22 තමයි ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන්න තිබුණේ. ගිය මාසේ 8 වැනිදා ඇමැති සමඟ සාකච්ඡාවකදීත් අපි මේ ගැන කිව්වා. අප්‍රේල් මාසෙත් මුල ගිහින්. ලොකු කාලයක් ප්‍රමාද වෙලා. මේක ඇතුළේ සම්පූර්ණයෙන් අසාධාරණය සිදුවන්නේ දරුවන්ට. අපි දිගින් දිගටම මෙය දැනුවත් කළා. මෙය ලංකා ගුරු සංගමය විදිහටත් ගුරු විදුහල්පතිවරුන්ගේ සමිති සන්ධානය විදිහටත් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් නෙමෙයි. දීමනා ප්‍රශ්නය විසඳලා විතරක් මාකින් ආරම්භ කරන්නත් බෑ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තවම වෘත්තීය ක්‍රියාමාර්ගයක සිටිනවා. අපි දිගින් දිගටම බලධාරීන්ට කිව්වා මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා දරුවන් වෙනුවෙන් මෙම කාර්යය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියලා.''
විභාග පිළිතුරු පත්‍රයක් ඇගැයීමට පරීක්ෂකවරයකුට රුපියල් 150 – 175 ක ගෙවීමක් සිදු කරන අතර දිනකට ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ලබාදුන් රුපියල් 1,450 ක මුදල ඉහළ නැංවීමට රජය විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක්ද ලබාගෙන තිබුණි. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ උසස් පෙළ විභාග ඇගැයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන්ට දිනකට රුපියල් 2000 ක අවම සංගෘත දීමනාවක් සහ පිට පළාත්වල සිට පැමිණෙන පරීක්ෂකවරුන්ට රුපියල් 2900 ක දීමනාවක් දෛනිකව ගෙවීමට තීරණය කළ බවයි. මෙම වැඩි කළ දීමනාවෙන් සෑහීමකට පත්වෙනවාද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී මහින්ද ජයසිංහ මහතා පැවසූයේ ''ඒක ඉතින් ගුරුවරුන්ගෙන් තමා අහන්න වෙන්නේ.'' යනුවෙනි.
ආණ්ඩුවට රිද්දන්න දරුවන්ගෙන් පළිගැනීම අපේ රටට අලුත් දෙයක් නොවේ. එය ඊයේ පෙරේදා සිදුවන්නක්ද නොවේ. අහිංසක දරුවන්ට රිදෙව්වාම ආණ්ඩුවට බොහෝ රිදෙනවා යැයි ඔවුහු සිතති. එහෙත් බලධාරීන් කම්මලේ බල්ලා වගේය. අනෙක් පිරිස වගේම බලධාරීහුද එය අනෙක් අතට සිදු කරති. පසුගිය කාලයේ උසස් පෙළ විභාගය අස්සේ බලධාරීන් හිත්පිත් නැතිව ලයිට් කැපුවේ දරුවන් මාර්ගයෙන් ජනතාවට රිද්දන්නට විය හැකිය. විදුලි සේවකයෝ ලයිට් කපති. බස් සේවකයෝ පාසල් දිනවල වැඩ වරති. මේ හැම තැනකින්ම තැලෙන්නේ මේ ප්‍රශ්නවල අගක් මුලක් නොදන්නා අහිංසක දරුවෝ වෙති. දරුවන් දඩමීමා කරගෙන සිදු කරන මෙවැනි ක්‍රියා නිද්‍රා සහගතය. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියන ළමා රක්ෂක අධිකාරිය මෙවන් අවස්ථාවලදී කොහේ ඇත්දැයි නොදනිමි.
ලංකා ගුරු සේවා සංගමය පවසනුයේ මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවත් එය ගුරුවරුන්ගේ ස්වයං තීරණයක් බවත්ය. සංගමයක් ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලනුයේ විභාග පරීක්ෂක ගුරුවරුන්ට කප්පාදුවකින් තොරව දීමනා ගෙවන ලෙසය. සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලන්නේ ප්‍රධාන විභාග පරීක්ෂකවරුන් වන සරසවි ආචාර්යවරුන් උපයන විට අය කරන බද්දෙන් ඔවුන් නිදහස් කළහොත් උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන බවයි. එසේම ඔවුන් කියනුයේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිද්ධිය මෙයට අදාළ නොමැති බවයි. මෙම ඉල්ලීම් සියල්ලම විසඳෙන තුරු වැල් පාලම මෙන් මෙය ඇදි ඇදී යන බවත් එතෙක් උත්තර පත්‍ර පරීක්ෂාව සිදු නොවන බවත් පැහැදිලිය. ගාණ වැඩි කළත් ප්‍රශ්නය විසඳී නැති හැඩකි. ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවක බලධාරීන්ද බීරි අලින්ට වීනා වයනවා මෙන් නිහඬය. බලධාරීන් මෙන්ම නිලධාරීන්ද දරුවන්ගේ මුවාවෙන් මස් රාත්තලම ඉල්ලීම කෙතරම් යුක්ති යුක්තදැයි තම තමන්ගේ හෘද සාක්ෂියෙන්ම විමසිය යුතු වන්නේය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසනුයේ ගුරු සංගම් එකඟ වීමෙන් නොබෝ දිනකින් පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට හැකි බවයි.
I සසංක චලන ගිම්හාන