ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හෙවත් ප්‍රතිත්‍රස්ත පනත 2023 අප්‍රේල් මස අග වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එය තවත් සති කිහිපයකට කල් දමා ඇතැයි අධිකරණ අමාත්‍ය විජ්‍්‍යදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. මේ වනවිට එම පනතට විවිධ අංශවලින් විරෝධයක් මතුවෙමින් තිබේ. මෙම කෙටුම්පතේ 82 වගන්තිය අනුව වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද කිසියම් සංවිධානයක් ත්‍රස්ත වරදක් ලෙස මෙම කෙටුම්පත මගින් දක්වා ඇති වරදකට හේතුවන ක්‍රියාවක නිරත වන බවට පොලිස්පතිවරයා නිරිදේශ කළහොත් එම සංවිධානය තහනම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරේ. එමෙන්ම කෙටුම්පතේ 3(2) (ඊ) වගන්තිය අනුව අත්‍යවශ්‍ය සේවාවකට හෝ ඊට අදාළ පහසුකමකට බාධා කිරීමද ත්‍රස්තවාදයට සම්බන්ධ වරදකි. එවැනි ක්‍රියාවකට කෙරෙන ඕනෑම ආකාරයක ප්‍රචාරයක් ත්‍රස්තවාදය දිරිගැන්වීමේ ක්‍රියාවක් ලෙස සලකා දඬුවම් දීමට කෙටුම්පත මගින් අවස්ථාව සලසා දී තිබේ. මෙය ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන විවිධ වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා යොදාගත හැකි බව විද්විද්වතුන්ගේ මතය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රතිත්‍රස්ත පනත කලින් පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉක්මවා ගිය මෙරට ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරන පනතක් බවටය. වෘත්තීය සමිති, ඉල්ලීම් හා ගැටලු සම්බන්ධයෙන් කෙරෙන සාමාන්‍ය ජනතා උද්ඝෝෂණ, කිසිවක් කළ නොහැති වන ලෙසට මෙම පනත සකස් කර ඇතැයිද ආණ්ඩුවට විරුද්ධව කිසියම් මාධ්‍ය ආයතනයක් සාකච්ඡා කර තිබුණොත් මෙම පනත යටතේ ඔවුන් සිරභාරයට ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ පනත ගේන්නේ ජනතාවගේ ආරක්ෂාවට
- අධිකරණ ඇමැති
නව පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.
''ඇයි ඉන්දියාව, ඇමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි ලෝකයේ රටවල් රුසක ත්‍රස්ත විරෝධි පනත තියෙන්නේ. ඒ රටවල ත්‍රස්තවාදය තිබෙන නිසාද? ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙන්නේ කුමන අවස්ථාවකදීද කියලා සාස්තර කාරයන්ට කියන්න බැහැ. ඕනෑම රජයක් ඒ සඳහා සූදානමින් සිටිය යුතුයි. එවැන්නක් කළ නොහැකි නම් එය ආණ්ඩුවක් නොවෙයි. ලක්ෂ 20ක කොන්ත්‍රත්තුවක් මත ක්ලේමෝ බෝම්බයක් තබා දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රිතුමාවත් ඝාතනය කරන්න ද්‍රවිඩ ත්‍රස්ත කණ්ඩායම් උත්සාහ කළා. ඔවුන් තවම සිරදඬුවම් විඳිනවා. අද ඔවුන්ම කියනවා මෙවැනි නීති එපා කියලා. ඕනෑම කෙනෙකුට මෙම පනත මගින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වනවා කියා ශ්‍රේෂඨාධිකරණයට යන්න පුළුවන්. කිසියම් කෙනෙක් ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වීමේ අපේක්ෂාවක් නොමැති නම් මේ පනතට බිය විය යුතු නැහැ. විරෝධය පානවා කියන්නේ ඔවුන් අනාගතයේ ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන්නට අදහසක් තියෙනවා කියන එකයි. ආණ්ඩුව කිසිම අයුරකින් බියවන්නේ නැහැ. ආණ්ඩුවට තියෙන එකම බිය ලංකාවේ ජනජීවිතය අවුල්වේවි කියන එකයි. ප්‍රභාකරන්ගේ කාලෙ වගේ තව ලක්ෂ එකහමාරක් දෙකක් මරා දමයි කියලයි. මේ පනත ගෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට විනා ජනතාවගේ නිදහස නැති කිරීමට නොවෙයි.''
කෙසේ නමුදු යෝජිත පනත සම්බන්ධයෙන් රට තුළ පමණක් නොව ජාත්‍යන්තරය තුළද විරෝධයක් මතුවෙමින් තිබේ. යෝජිත ත්‍රස්ත විරෝධී පනත, සම්මත වුවහොත්, මානව හිමිකම් කඩවීම් විශාල වශයෙන් සිදුවනු ඇති අතර, දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම, අනිසි ආකාරයෙන් භාවිත කිරීමට හැකිවනු ඇතැයි ස්විට්සර්ලන්තයේ ජිනිවාහි පිහිටි යුක්තිය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පසුගිය මාර්තු 31 දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එහි මෙලෙස සඳහන්ය.
ශ්‍රී ලංකා රජය විසින් 2023 මාර්තු 22 දින පිටු 97කින් යුතු “ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත” ප්‍රකාශයට පත් කර තිබේ. එය සම්මත වුවහොත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අංක 48 ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත. 1979 (ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනිව ගෙන එන නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සඳහන් විධිවිධාන ඉවත් කරනු ඇතැයි කොමිසම අපේක්ෂා කරයි. ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම විශේෂයෙන් පනත් කෙටුම්පතේ 4(1)(a) වගන්තිය පිළිබඳව අතිශයින් සැලකිලිමත් වන අතර, එය සම්මත වුවහොත්, ත්‍රස්තවාදය සම්බන්ධ වරදට මරණ දණ්ඩනය හඳුන්වා දීමට නියමිතය.. 1976 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තහනම් කිරීම හේතුවෙන් දශක ගණනක් පුරා එය ක්‍රියාත්මක වූයේ නැත. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් වන හෙයින් කෲර, අමානුෂික සහ අවමන් සහගත මරණීය දණ්ඩනයට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සියලු තත්ත්වයන් යටතේ විරුද්ධය.
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ලිවිඕ සිලි (Livio Zilli) සඳහන් කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් පැන නගින හෝ ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා සාධාරණීකරණය කිරීමක් ලෙස මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු බවයි.
නව පනත් කෙටුම්පතෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව ඇතැම් විධිවිධාන වෙනස් කර තිබේ. රුඳවුම් භාරයේ සිටින පුද්ගලයකු තම නීතීඥවරයා නොමැතිව පොලිස් නිලධාරියෙකුට ලබා දෙන පාපොච්චාරණය පිළිගත හැකිය යන විධිවිධානය ඉවත් කර ඇති අතර අත්අඩංගුවට ගන්නා නිලධාරියා විසින් වහාම හෝ අවම වශයෙන් පැය 24ක් ඇතුළත විත්තිකරුගේ ළඟම ඥාතීන්ට අත්අඩංගුවට ගැනීම පිළිබඳව දන්වන ලියවිල්ලක් නිකුත් කිරීමේ අවශ්‍ය වේ. කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට සහ සෙවීමට කාන්තා පොලිස් නිලධාරීන් යෙදවිය යුතු වන අතර අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු චූදිතයා තෝරා ගන්නා භාෂාවකින් ලබා දීමට අවසර දිය යුතුවේ. රුඳවුම් නියෝගයක් නොමැතිව පුද්ගලයකු රඳවා සිටින විට සෑම දින 14 කට වරක් ඔහු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතුවේ.
මෙම ධනාත්මක කරුණු වලට වඩා පනත් කෙටුම්පතේ ගැටලුකාරී කරුණු වැඩි බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ අදහස වී තිබේ. මරණීය දණ්ඩනය හඳුන්වාදීම පිළිබඳ ඉහත සඳහන් කළ කරුණට අමතරව, විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ, 3 වැනි වගන්තියේ ඇති නොපැහැදිලි අර්ථ දැක්වීමයි. විසම්මුතිය යටපත් කරන සහ සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා එවැනි ක්‍රියා ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථකථනය කිරීමට නව පනත මගින් අවකාශ සැලසේ. 16 වැනි වගන්තිය අනුව පනතේ ඇති ඕනෑම නියෝගයක් කඩකිරීම ත්‍රස්ත ගණයට වැටෙන වරදක් වනු ඇත. ඒ අනුව ඕනෑම ආකාරයක විරෝධතාවකට එරෙහිව එය අනිසි ලෙස භාවිත කිරීමට වත්මන් රජයට සහ අනාගත පරිපාලනයට හැකියාව සැලසෙනු ඇත.
ජාත්‍යන්තර නීතිය යටතේ සාධාරණ නඩු විභාගයක් සඳහා ප්‍රධාන පූර්ව කොන්දේසි අනුව අපරාධ වැරදි නීතියෙන් අර්ථ දැක්විය යුතු වන අතර එය නීත්‍යානුකූලභාවයේ මූලධර්මයට අනුකූල විය යුතුය. නීත්‍යානුකූල භාවයේ මූලධර්මයට අනුව අපරාධ වර්ගීකරණය කිරීම සහ අපරාධකාරී ක්‍රියා පිළිබඳ පැහැදිලි නිර්වචනයක් සහිතව දඬුවම් ලැබිය හැකි වරද නිවැරදි ලෙස විස්තර කිරීමත්, සාපරාධී ලෙස තහනම් නොවන ක්‍රියා වලින් එය වෙන්කර හඳුනා ගන්නා සාධක පැහැදිලි කිරීමත් අවශ්‍යය. අපැහැදිලි නීති මගින් නීතියේ ආධිපත්‍යය බිඳ දමයි, මන්ද එමගින් අත්තනෝමතික ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සහ නඩු පැවරීමට දොරටු විවරවන බැවිනි.
නව නීති ඒ අයුරින් බලාත්මක කළහොත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සීමිත අධිකරණ අධීක්ෂණයක් ලබා දෙන අතර නීතිය ක්‍රියාමක කරන නිලධාරීන්ට ඔවුන් වෙත දැනට පැවරී ඇති බලතලවලට වඩා අතිරේක බලතල හිමිවනු ඇත. නිදසුනක් වශයෙන්, 28(2)(අ) වගන්තිය යටතේ, කිසියම් නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් ලබා දෙන ලද රුඳවුම් නියෝගයක් මහේස්ත්‍රාත්වරයකුට විමර්ශනය කළ නොහැකිය. දැනට සකස් කර ඇති 28 (ආ) (iii) වගන්තියට අනුව, රුඳවුම් නියෝගයක් නිකුත් කර නොමැති හෝ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කර නොමැති විට, මහේස්ත්‍රාත්වරයකුට චූදිතයකු නිදහස් කළ හැක්කේ ස්ථාන භාර නිලධාරියා එය ඉල්ලා සිටියහොත් හා මහේස්ත්‍රාත්වරයා ඊට එකඟ වුවහොත් පමණි. එවැනි විධිවිධානයක් මගින් සිදුවන්නේ අධිකරණයට නිසි ලෙස හිමි බලතල පොලිසියට පැවරීමකි. මෙහිදී විත්තිකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාගේ තීරණය කිරීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම අනුව එය කිරීමට සිදුවනු ඇත.
රුඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ගැනීමේ උපරිම කාලය මාස 12ක් (37 වැනි වගන්තිය) වන අතර, විත්තිකරුට එරෙහි චෝදනාව, විමර්ශන මගින් අනාවරණ වූ කරුණු සහ තවදුරටත් රඳවා තබා ගැනීමට හේතු ඇතුළත් රහස්‍ය වාර්තාවක් පොලිසිය විසින් පළමු මාස තුනෙන් පසු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය. (36 වගන්තිය). නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් ලබාදෙන ලද රුඳවුම් නියෝගයක් මහේස්ත්‍රාත්වරයකුට විමර්ශනය කළ නොහැක. රුඳවුම් නියෝගයක් නොමැති නම්, විත්තිකරු සෑම දින 14 කට වරක් මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය. (38 වැනි වගන්තිය).
මෙම පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත්වරුන්ට රුඳවුම් ස්ථානවලට පිවිසීමට සහ නීතීඥයන්ට චූදිතයන් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන අතර, පසුගිය වසර 44 තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් අනුව පෙන්නුම් කරන්නේ මහේස්ත්‍රාත්වරුන්ට බොහෝ විට ඒ සඳහා කාලය නොමැති බැවින් එවැනි ක්‍රම මගින් චූදිතයන්ට එතරම් ආරක්ෂාවක් හිමි නොවන බවයි. මහේස්ත්‍රාත්වරුන්ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් බන්ධනාගාර වැනි රුඳවුම් ස්ථාන කරා පිවිසීමට බොහෝ විට වේලාවක් නොලැබෙන අතර නීතීඥයන්ට රුඳෙවියන් හමුවීමට අවස්ථාව ලබා දී තිබේ. එහෙත්, එය කලාතුරකින් හා පෞද්ගලික මට්ටමින් සිදු වන බව පෙනේ.
නව පනත් කෙටුම්පත සම්මත වුවහොත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සමාලෝචන මණ්ඩලයක් සහ අධීක්‍ෂණය සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ස්වාධීන සමාලෝචන මණ්ඩලයක් පිහිටුවනු ඇත. කෙසේ වෙතත්, එවැනි ආයතනවලට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කිසියම් ඵලදායී අධීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය ස්වාධීනත්වයක් හිමි නොවිය හැකිය..
යෝජිත පනත යටතේ කිසියම් සංවිධානයක් පනතේ සඳහන් වරදකට හෝ ඊට සමාන ක්‍රියාවක නිරත වී ඇති බවට තහවුරු කළ හැකි සාධාරණ හේතු තිබේ නම්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කිරීම යටතේ පොලිස්පතිවරයාගේ හෝ රජයේ නිර්දේශ මත එම සංවිධාන තහනම් කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත. (82 වගන්තිය).
පොලිස්පතිවරයා හෝ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන් හෝ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඉල්ලා සිටින්නේ නම්, ජනාධිපතිවරයාට ඕනෑම ස්ථානයක් “තහනම් ස්ථානයක්” ලෙස නම් කළ හැකිය (85 වගන්තිය). තහනම සඳහා කාල සීමාවක් නියම කර නොමැත. උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා තහනම් නියෝග ලබා ගැනීමට පොලිසියට මහේස්ත්‍රාත්වරයා හමුවට යාමට අවශ්‍ය නොවන හෙයින් ඕනෑම විසම්මුතියක් මර්දනය කිරීමට මෙම පනත මගින් අවස්ථාව සලසයි, එමෙන්ම ඔවුන් විරෝධතා පවත්වන ස්ථානය තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. එවැනි ක්‍රියා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාව අනුව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය යටතේ ආරක්‍ෂා කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ, සාමකාමීව රුස්වීමේ සහ සමාගමයේ නිදහස යන සියල්ල උල්ලංඝනය කරයි.
නීතිපතිවරයා විසින් සාපරාධී ක්‍රියා කල්දැමීමට හෝ අත්හිටුවීමට නිර්දේශ කර ඇති පුද්ගලයන් සඳහා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රෙගුලාසි නිකුත් කිරීමට ද ජනාධිපතිවරයාට හැකිය (100 වැනි වගන්තිය). මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවලදී ය. චෝදනා හෝ නඩු විභාගයකින් තොරව මාස ගණන් හෝ බොහෝ විට වසර ගණනින් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ වෙනත් අපයෝජනයන් සඳහා භාවිත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ඉල්ලා සිටී. මානව හිමිකම් කමිටුව ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් නිරන්තරයෙන් ඉල්ලා ඇත. එහෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසත්, නව කෙටුම්පත මගින් ඉදිරිපත් කර ඇති පෙර පැවැතියාටත් වඩා තදබල නීති මගින් එය යළි ප්‍රතිස්ථාපනය කිරීමට දරන උත්සාහය වහාම නවත්වන ලෙසත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා