උත්සව සමයේදී භාණ්ඩවල ඉල්ලුම ඉහළ යයි. විවිධාකාරයෙන් පාරිභෝගිකයාගේ අතට මුදල් ලැබීම නිසා ඔහුට වැඩියෙන් මිලට ගැනීමට හැකි වේ. ආර්ථික විද්‍යාවේ මෙය හඳුන්වන්නේ ක්‍රය ශක්තිය ඉහළ යාම ලෙසටය. එසේම උත්සව කාලයේදී ජනතාවට වෙනදා විශාල ඉල්ලුමක් නොපැවැති භාණ්ඩවලට පවා ඉල්ලුමක් ඇතිවෙයි. එයට හේතුව මෙම කාලයේදී සාමාන්‍ය දිනවල නොපැවැති අන්දමට ඇඳුම් පැළඳුම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සුවිශේෂ ආහාර වර්ග, විනෝද භාණ්ඩ, රසකැවිලි ආදිය සඳහා අවශ්‍යතා පැන නැගීමයි.
භාණ්ඩ ඉල්ලුම ගැන කල් ඇතිව දන්නා වෙළෙන්දෝ වෙනදාට වඩා විශාල තොග වෙළෙඳපොළට මුදාහරිති. මේ සිංහල අවුරුදු උත්සව සමය සුවිශේෂ වන්නේ වසර දෙක තුනකට පසු නිදහසේ උත්සව පැවැත්වීමට ජනතාවට හැකි වී තිබීමය. භාණ්ඩ විශාල ලෙස නිකුත් වන විට මිල පහළ යයි. වෙළෙඳපොළේ තරගයක් ඇතිවේ. මේ තරගය නිසා වෙළෙන්දෝ අනෙකාට වඩා තම භාණ්ඩය අලෙවි කර ගැනීමට යාම නිසා ඒවායේ මිල අඩු කරති. වට්ටම් දීම්, කොටස් වශයෙන් ගෙවීමට දීම්, තෑගි ප්‍රදානයන් නිවෙසට ගෙනැවින් දීම් ආදී වශයෙන් පාරිභෝගිකයා ආකර්ශනය කර ගැනීමට විවිධ උපක්‍රම යොදාගනිති.
බොහෝ දෙනා ඉල්ලා සිටිනුයේ ආනයනික ද්‍රව්‍යයයි. සිරිතක් වශයෙන් වෙළෙඳපොළේ භාණ්ඩ මිල අඩු කළ යුතු වුවද මෙවර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය මිල අඩු කිරීමක් ගැන උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පසුගියදා දේශය පුවත්පතට පැවසුවේ තම සංගමයේ සාමාජිකයන් මෙවර භාණ්ඩ මිල අඩු කිරීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවකි. එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නේ පසුගියදා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම පාරිභෝගිකයාට කෙසේ වෙතත් තම ව්‍යාපාර කටයුතුවලට අහිතකර ලෙස බලපා ඇති බවය. අමෙරිකානු ඩොලරයට ගෙවීමට ඇති රුපියල් ප්‍රමාණය අඩුවීම යහපත් ආර්ථික ප්‍රවණතාවක් ලෙස අගය කරන නමුත් ගහෙන් ගෙඩි එන්නා සේ එකවරම ඇතිවූ මෙම තත්ත්වය නිසා තම ආනයනකරුවන්ට පසුගිය දිනවල රුපියල් බිලියන 4 – 5 ප්‍රමාණයක පාඩුවක් සිදුවූ බව ඔහු කියයි. එය ඔවුන් බලාපොරොත්තු නොවූවකි.
''රුපියල වර්ධනය වීමට පෙර අප ආනයනය කළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් ලක්ෂ ගණනක් අපේ ගබඩාවල තිබුණා. තවත් සමහරක් නැව් මගින් රටට ප්‍රවාහනය කරමිනුත් තිබුණා. ඒවා අප ඇණවුම් කළේ ඩොලරය රුපියල් 350 ක පමණ පරාසයක තිබියදීයි. අපි හිතුවේ නැහැ මෙතරම් ඉක්මනින් ඩොලරය විශාල ලෙස බහීය කියලා. දින කිහිපයක් තුළ ඩොලරය රුපියල් 330 – 320 ට පහළ යාම නිසා රටේ ආනයන බඩු මිල පහළ ගියා. උදාහරණයක් ලෙස පැවසුවොත් කිලෝව රුපියල් 250 – 260 ට ආනයනය කළ පරිප්පුවල මිල කිලෝව රුපියල් 225 – 230 දක්වා අඩු වුණා. ඒ වගේම සීනි කිලෝවක තොග මිල රුපියල් 200 කට පමණ පහළ ගියා. ඒ වනවිට මෙම ආහාර ද්‍රව්‍ය කිලෝ ලක්ෂ ගණන් ගෙනැවිත් අපි ගබඩා කරගෙනයි හිටියේ. ඉතින් මේවා අපට අඩු මිලට නිකුත් කරන්න සිදුවූවා. එයට හේතුව දිගටම මුදල් යට කරලා තබාගන්න බැරිවීමයි. අනික ඉදිරියේදී තවත් මිල අඩු වුණොත් අපි විශාල අමාරුවක වැටෙනවා. අනෙක් හේතුව ඉදිරියේදී ගෙනෙන බඩු ගබඩා කර තැබීමට අපේ ගබඩාවල ඉඩ ලබාගන්න ඕනෑ. එහෙම තිබියදී ගොඩබාන්නේ නැතුව වරායේ තබාගතහොත් ප්‍රමාද ගාස්තු හා අධිභාර ගෙවන්න වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වුණා අඩු මිලට දෙන්න.''
ඔහු පෙන්වා දෙන්නේ ආනයන වෙළෙඳුන් යනු කෝටි ප්‍රකෝටිපතියන් නොවන බවයි. ඒ අය තම ඉඩකඩම්, දේපල ආදිය පවා බැංකුවලට ගිනි පොලියට උගස් තබා මුදල් ලබාගෙන ආයෝජන කරන අය වෙති. ඒ නිසා ඔවුන්ගේ දේපල සින්න වී දරු පවුල් මහ මඟට වැටෙන අනතුරක් පැවැති බව හෙතෙම ප්‍රකාශ කරයි. ගෙනා ආහාර ද්‍රව්‍ය ළඟ තබාගන්නවාට වැඩියෙන් කීයට හෝ අලෙවි කර මුදල් කළ යුතු තත්ත්වයකට වෙළෙඳුන් ඇදවැටී තිබුණි. ඒ නිසා විශාල අලාභයක් යටතේ පසුගිය දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඔවුන්ට සිදුවිය. රජය මේ පිළිබඳ මැදිහත් නොවීම ගැන ආනයනකරුවන්ගේ සංගමය අසතුට පළ කරයි. රජය කළ යුතුව තිබුණේ ආනයනකරුවන්ට සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම යම් සහනයක් සැලසෙන අයුරු සාපේක්ෂ පියවර ගැනීම වුවද වගකිවයුත්තන් මේ පිළිබඳ අවධානය යොමුකර නොමැත. එයින් විශාල අසාධාරණයක් සිදුවිය.
''මේ තත්ත්වයෙන් යම් පමණකට හෝ මිදීම සඳහා මෙවර ආනයනික භාණ්ඩවල මිල අඩු කිරීමකට යාමට අපට නොහැකියි. වෙන අවුරුදුවල උත්සව සමයට මිල පහත හෙලා යම් සහනයක් ලබා දුන්නත් මෙවර එය කරන්න බැහැ. ඒත් අපි භාණ්ඩ මිල කිසි ලෙසකින්වත් වැඩි කරන්නේ නැහැ. පවතින මිලටම අලෙවි කරනවා. එහෙම නැතුව අපට මේ තත්ත්වයෙන් කිසි ලෙසකින්වත් ගොඩ එන්න බැහැ.'' ඔහු කියයි.
ඒ අතරම වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව අනාවරණය වන්නේ රජය පසුගිය දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කිහිප වරක් අඩුකර ලක් සතොස හරහා ඒවා අලෙවි කිරීමට කටයුතු කර ඇති බවය. එසේ වුවද එම මිල විවෘත වෙළෙඳපොළ වෙත ගමන් කළ බවක් දැකගත නොහැකිය. ලක් සතොස හරහා මිල අඩු කළ භාණ්ඩ වන්නේ සහල්, සීනි, පරිප්පු, සීනි, හාල්මැස්සන්, අර්තාපල්, බීලූනු, සුදුලූනු, තිරිඟු පිටි ආදියයි. එහෙත් මෙම භාණ්ඩ වුවද ලක් සතොස ආයතනවල බොහෝ අවස්ථාවල ඇති තරමට ලබාගැනීමට නොමැති බව පෙනී ගොස් තිබේ. සේවකයන් කියන්නේ ලැබුණු භාණ්ඩ අලෙවි කර අවසන් බවය. සුපිරි වෙළෙඳසල් හරහා මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු කළ මිලට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කළද බොහෝ සුපිරි වෙළෙඳසල්වල අලෙවි වන්නේ මෙම භාණ්ඩවලින් එක දෙකක් පමණක් බව ලියුම්කරු විසින් සුපිරි වෙළෙඳසල්වල මිල ගණන් නිරීක්ෂණය කරනු ලැබීමේදී හෙළි විය. ඒ නිසා රජයේ අඩු කළ මිල දිවයින පුරා ක්‍රියාත්මක වන බවක් දක්නට නොමැත. ලක් සතොස වෙළෙඳසල් මුළු දිවයිනේම ඇත්තේ හයසිය ගණනකි. ඒ නිසා මෙම මිල ගණන්වලට ඒවා ලබාගැනීමට ජනතාවට ඇති අවස්ථාව අහිමි වී තිබේ. මේ නිසාම නගරබද මෙන්ම ගම්බද විවෘත වෙළෙඳපොළේ එම භාණ්ඩ පහළ මිලට අලෙවි කරන බවක් පෙනෙන්නට නැත. වෙළෙන්ඳන් ළඟ ඒවාට නිදහසට කරුණු එමට තිබේ.
''මේවා මිල අඩු කරන්න බැහැ. ඉස්සර ගෙනා බඩු''
''අපට ඔය කියන මිලට ලැබෙන්නෙ නැහැ. ලැබෙනවා නම් දෙන්න පුළුවන්''
''ඕවා ටී.වී.එකේ, රේඩියෝ එකේ, පත්තරවල විකුණන මිල මිසක් වෙළෙඳපොළේ මිල නොවෙයි.''
මේ ආදී වශයෙන් ඔවුහු හේතු ඉදිරිපත් කරති. එක් උදාහරණයක් වශයෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉදිරිපත් කළ හැකිය. තිරිඟු පිටි කිලෝවක මිල දෙවරක් පහළ වැටී මේ වනවිට කිලෝවක මිල රුපියල් 210 ක් වී තිබේ. මිල අඩු වූ විට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පැවසුවේ ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බවය. ඒ වන විටද විවෘත වෙළෙඳපොළේ ග්‍රෑම් 450 ක පාන් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අපහසු වූ නමුදු බර අඩු පාන් රුපියල් 180, 170, 160 ආදී විවිධ මිල ගණන්වලට අලෙවි කරමින් පැවතිණි. ඒවා රුපියල් 10 කින් අඩු වුවද පාරිභෝගිකයාට ලැබුණු වාසියක් නැත. විවෘත වෙළඳපොළේ පාන් ගෙඩියක බර සහ මිල ස්ථාවර අගයක පවත්වාගෙන යාමට රාජ්‍ය ආයතනවලට නොහැකිව ඇත. එසේම සෙසු බේකරි නිෂ්පාදනවල මිලද අඩු කරන ලෙස පැවසුවද තවමත් අලෙවි වන්නේ වැඩි මිලටය. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසූ විට එහි උසස් නිලධාරියකු පැවසුවේ පාන්වල බර තීරණය කළ යුත්තේ තම ආයතනය නොව කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව බවකි.
''පාන් ගෙඩියට උපරිම මිලක් පනවලා තිබුණට ඒ මිලට නිෂ්පාදකයන් පාන් දෙන්නේ නැහැ. පිටි මිල අඩු වුණාට වෙනත් අමුද්‍රව්‍ය සහ සංඝටකවල මිල වැඩි වූ බව පවසමින් ඉහළ මිලට අලෙවි කරනවා. පෙති පාන්, පැකට් පාන් ආදී විවිධ මෝස්තරවලින් වෙළෙඳපොළේ වැඩි මිලට අලෙවි කරනවා. අපි පහුගිය දිනවල වැඩි මිලට පාන් අලෙවි කරන ස්ථාන වටලා නීති මගින් ක්‍රියා කළා. එහෙත් මෙම තත්ත්වය නඩු දමලා අවම කරන්න බැහැ. පාන් විතරක් නොවෙයි, අපි නොයෙක් ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරනවා. ඒ නිසා එක වර්ගයකට පමණක් විශේෂයක් දක්වන්න බැහැ. අධිකාරියට තිබෙන සම්පත් සීමිතයි. ඒ නිසා අපේ රාජකාරිත් සීමාවෙලා තියෙනවා.''
මෙම කතාවෙන් ගම්‍ය වන්නේ භාණ්ඩ බර අඩුවෙන් සහ මිල වැඩියෙන් අලෙවි කිරීම නැවැත්වීමට වැටලීම්වලින් නොහැකි බවය.
උත්සව සමය කිට්ටු වනවිට ගැටගැසුණු ප්‍රශ්නයක් වූයේ බිත්තර හිඟයයි. බිත්තරවලට රුපියල් 44 හා 46 ක පාලන මිලක් පැනවුවද එයින් මිල අඩුවීමක් සිදු නොවූ අතර සිදුවූ එකම ප්‍රතිඵලය වූයේ වැඩි මිලට හෝ ගැනීමට වෙළෙඳපොළේ බිත්තර නොමැති වීමය. ඒ තාක් වෙළෙඳපොළ පාලනය කළ මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයෝ ස්වකීය නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් නොකළහ. මෙම බිත්තර හිඟය කොතරම් උග්‍ර වූයේද යත්, බිත්තර සොයා නගරයේ හා ගම්බද කඩපිල් ආක්‍රමණය කිරීමට පාරිභෝගිකයන්ට සිදුවිය. ආණ්ඩුවට බිත්තර ආනයනය කිරීමට සිදුවූයේ වෙළෙඳපොළක් ඇති කිරීමට නොහැකි වූ නිසාය. කිහිප වරක්ම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට සැලසුම් සකස් කළද ඊනියා කුරුළු උණ වසංගතයක් නිර්මාණය කරමින් ආනයනයට බාධා කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරිහුද කටයුතු කළහ. වැඩි දෙනාගේ අදහස වන්නේ මේ කුරුළු උණ කතාන්දරය බිත්තර ආනයනය අඩාල කිරීම සඳහා බිත්තර ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ වාසිවලට ගිජු වූ ඊනියා රාජ්‍ය සේවකයන් පිරිසක් ඇටවූ උගුලක් බවය. කෙසේ හෝ බිත්තර ආනයනය කළ පසු ඇතැම්හු කොමිස් කුට්ටි ගැන කතා කරමින් ඇමැතිවරයා විවේචනය කිරීමට පෙළඹී සිටිති. කුරුළු උණ කතාව නිසා මෙම ආනයනික බිත්තර සාමාන්‍ය වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් බිත්තර හිඟවීම හා මිල ඉහළ යාම පාලනය කිරීමට තවමත් නොහැකිව ඇත. කෙසේ වුවද මේ වනවිට සාමාන්‍ය වෙළෙඳපොළේ බිත්තර නැත්තටම නැතිව තිබේ.
ඒ සමඟම පසුගිය සතියේ සිට එකවරම කුකුළු මස්වල මිල ඉහළ ගියේය. කුකුළු ගොවිපළ මුදලාලිලා කියන්නේ මෙතෙක් කල් මස් අලෙවි කළේ පාඩුවට බවය. මෙම මිල ඉහළ දැමීම නිසා යන්තම් ජාම බේරාගැනීමට හැකිවූ බව ඔවුහු පවසති. ඇත්තටම මෙය නම් අපභ්‍රංස කතාවකි. සියල්ල අතේ රෝල් බව පැවසිය යුතුය. කුකුළු මස්වලට වැඩිපුර ඉල්ලුමක් පවතින උත්සව සමයේ හිටි හැටියේ මස් මිල ඉහළ දමා විශාල ලාභයක් උපයන්නට ව්‍යාපාරිකයන් කළ ප්‍රෝඪාවක් බව නම් පැහැදිලිය.
මේ අතර පසුගිය අඟහරුවාදා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල 20% කින් පහළ දමන බවය. ඒ අනුව රුපියල් 500 වූ කොත්තුවක මිල රුපියල් 400 දක්වා පහළ යයි. සෙසු ආහාර ද්‍රව්‍යවල මිලද 20% කින් අඩු කරන අතර ප්ලේන්ටියක මිල රුපියල් 10 කින් අඩු කරන බවද එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේය. කෙසේ වුවද ආපන ශාලා හිමියන්ගේ සංගමය මෙයට පෙර ආහාර ද්‍රව්‍යවල මිල පහත හෙලුවද හෝටල් සහ ආපන ශාලා හිමියන් එම මිලට අලෙවි කිරීමට කටයුතු නොකළ බව අපට මතකය. ඒ නිසා මෙවර වුවද පාරිභෝගිකයන් අසේලගේ ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබාවි යැයි සිතිය නොහැකිය.
කෙසේ වුවද මේ වනවිට ගෑස්වල මිල ඉතිහාසයේ පළමු වරට කිලෝ 12.5 සිලින්ඩරය රුපියල් 1000 කට වැඩියෙන් අඩුකර ඇති අතර කුඩා සිලින්ඩරවල මිලද එයට සාපේක්ෂව පහළ දමා තිබේ. එහෙත් ගෑස්වලින් පිසින ආහාර ද්‍රව්‍යවල මිල තවමත් අඩුව ඇති බවක් නොපෙනේ. ආප්පය, ඉඳිආප්පය සහ කෙටි කෑමවල මිල අඩු වී නැත. ආප්පය රුපියල් 30 – 40 ටද ඉඳිආප්පය රුපියල් 7 – 8 ආදී වශයෙන්ද තවමත් අලෙවි කෙරේ. හැලපය, පෑන් කේක්, මාළු පාන්, පැටිස්, රෝල්ස් ආදී ආහාර ද්‍රව්‍යවලද මිල අඩු වී නොමැත. සිංහල අවුරුදු සමයට විශේෂ ඉල්ලුමක් පවතින කැවුම්, කොකිස්, ආස්මී, වැලි තලප, මුං අලුවා ආදී ආහාරවල මිලද තවමත් පවතින්නේ මුලින් ඉහළ දැමූ ගණන්වලටය. සමස්තයක් වශයෙන් පවසන්නේ නම් අඩු කළ හැකිව තිබෙන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිලක් අඩු වී නොමැති බව නම් සත්‍යයකි.
වෙළෙඳපොළට මැදිහත් වීමට නීත්‍යානුකූල බලය හිමි රාජ්‍ය ආයතන ගණනාවක් තිබේ. එහෙත් ඒවායේ බලධරයන් නිසි ලෙසට තම රාජකාරි හා වගකීම් ඉටු කරනවාදැයි සැකයක් මතුවන්නේ වෙළෙන්ඳාට ජයටම පාරිභෝගිකයා සූරාකෑමට අවස්ථාව ලැබී ඇති නිසාය. එක එක ආයතන වෙනත් අයට බෝලය පාස් කරමින් ඇඟ ගලවා ගන්නා සෙල්ලමක නිරත වන බවක් පෙනෙන්නට ඇත. මේ තත්ත්වය අනුව නුදුරේදී එළඹෙන අවුරුදු සමයේදී පාරිභෝගිකයාට විශාල අසාධාරණයක් සිදුවීමට ඇති ඉඩ වැඩිය.
රජය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කෙතරම් පහළ දැම්මද එම සහනය පාරිභෝගිකයාට නොලැබේ නම් ලැබෙන ප්‍රතිඵලයක් නැත. ඌරා කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් යැයි කියැවෙන්නේ මෙවැනි අවස්ථාවලදීය. මේ නිසා වගකිවයුත්තන් වෙළෙඳපොළ මිලට මැදිහත් වී පාරිභෝගිකයාට සහන ලබා දීමට කටයුතු කිරීම මේ වනවිට අත්‍යවශ්‍ය වී තිබේ. එසේ සිදු නොවුණහොත් රුපියල් 50 කට පැවැති සීනි බද්ද ශත 25 ට අඩු කිරීමෙන් සිදුවූ වින්නැහිය අත්විඳීමට මෙවරද ජනතාවට සිදුවෙනවා නියතය.
I යසවර්ධන රුද්රිගූ