2023 අප්‍රේල් 09 වන ඉරිදා

ලංකාවේ මිනිස්සු කොහිල කාපු තරමක්!

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 483

නැති බැරිකමට කොහිල කෑම නිසා කොහිල පරිභෝජනය 45%කින් වැඩි වී ඇතැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙරට කෘෂි ක්ෂේත්‍රය පිළිබඳව සහ ආහාර පරිභෝජනය පිළිබඳව පර්යේෂණ පවත්වන හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය එළිදැක්වූ Economic Crisis and Household food Security in Sri Lanka - 2022 යන පර්යේෂණයෙන් ඒ බව තහවුරු වී ඇත.

2021 වර්ෂයේ සිටම මෙරට පැවැති ආර්ථික අර්බුදය සම්බන්ධව සිදුකළ එම පර්යේෂණයේ පර්යේෂණ වාර්තාවෙන් මෙරට පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාවේ සිදු වූ වෙනසක් සහ පරිභෝජන රටාවට සිදු වූ හානිය අනාවරණය කරගෙන තිබේ. පර්යේෂණ වාර්තාව අනුව 2021 හා 2022 කාලය තුළ ගෘහස්ථව එළවළු පරිභෝජනයේ කොහිල ව්‍යංජන සඳහා යොදා ගැනීමට ඇති ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එමෙන්ම වැඩි දෙනෙක් තම නිවෙස් අවටින් සපයාගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාරයට සපයාගෙන ඇත. කොහිල ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව බෝංචි සියයට 30කින්ද කැරට් සියයට 29කින්ද වට්ටක්කා සියයට 27කින්ද වම්බටු සියයට 27කින්ද කොළ සහිත එළවළු සියයට 10කින් ද පරිභෝජනයට ගැනීම අවම වී තිබුණි.

ආහාර පරිභෝජන රටාවේ ඉහළ පහළ යාම සඳහා ආර්ථික සාධකය පැහැදිලිව බලපා තිබූ අතර කොහිල පරිභෝජනය ඉහළ ගිය කාලය තුළ මෙරට ආහාර උද්ධමනය 95% දක්වා ඉහළ ගොස් තිබුණි. පර්යේෂණ කාලය පුරාම කොහිල ඉල්ලුමේ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර ඉහළ ප්‍රතිශතයක් පෙන්වා ඇත්තේ 2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා කාලය තුළයි. අදාළ කාලය තුළ කොස්, පොලොස්, තිබ්බටු ඇතුළුව ගෘහස්ථව වගා කළ එළවළු පරිභෝජනය ඉහළ ගොස් තිබූ බවයි එම පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ඉදිරිපත් පර්යේෂණ වාර්තාවේ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය යොමු වී තිබුණි. ආහාර අනාරක්ෂිතතාවය ගත්කළ නාගරික අංශයේ ආහාර සුරක්ෂිතතාවය සියයට 43ක් ද ග්‍රාමීය අංශයේ සියයට 52ක් හා වතු අංශයේ සියයට 67ක් ලෙස ආහාර අනාරක්ෂිතභාවයට ලක්ව ඇත. තිරසාර සංවර්ධන ඉලක්ක 17 අතර ආහාර සුරක්ෂිතතාවයට වැඩි අවධානයක් යොමුවන අතර මෙම පර්යේෂණයෙන් අධ්‍යයනය කළ කාලය තුළ මෙරට ආහාර සුරක්ෂිතතාවය බරපතල අභියෝගයට ලක්ව තිබුණි. ඒ සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහනේ අවධානය යොමුව තිබීම සැලකිල්ලට ගත යුතුය.

මෙම පර්යේෂණයේදී ආහාර සඳහා යොදාගන්නා අයිතම පිළිබඳ සමීක්ෂණයෙන් අනාවරණය වූයේ රටේ ජනගහනයෙන් සියයට 86ක් ආහාර සඳහා යොදාගන්නා අයිතමයන් පුමාණය අඩු කර ඇති බවයි. සියයට 75ක් ආහාර අයිතමයන් පිළියෙළ කර ගැනීම සඳහා යොදා ගැනීම අවම කරගෙන ඇත. සියයට 45ක් ආහාර ගන්නා වාර ගණන අවම කළ අතර තවත් සියයට 38ක් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරගෙන තිබුණි. 

ආහාර සඳහා දෛනිකව උපයන මුදලින් කරනු ලබන වැය කිරීම පිළිබඳ සමීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ වතු අංශයේ සියයට 68ක් තමන් උපයන මුදලින් වැඩි පුමාණයක් ආහාර සඳහා වැය කර තිබීමයි. එමෙන්ම රත්නපුර, අම්පාර, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75ක් තමන් උපයන මුලු මුදලම ආහාර ලබා ගැනීම පිණිස වැය කර ඇත.

සමස්තයක් ලෙස 2021 වසරේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වන හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිතව අමතර ආහාර පරිභෝජනය සියයට 3.4ක් දක්වා පහළ වැටී තිබු අතර 2022 ඔක්තෝබර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2.26ක් අමතර ආහාර පරිභෝජනය මුළුමනින්ම නවත්වා තිබිණි. ආර්ථික අර්බුදයත් සමඟ බඩු මිල ඉහළ යාම‍ සහ ජීවන බර ඉහළ යාම හේතුවෙන් ආහාර මිල දී ගැනීම අත්‍යවශ්‍ය දේවල්වලට පමණක් සීමා කරගැනීම ආහාර පරිභෝජන රටාවේ වෙනසට හේතු වී තිබේ. අත්‍යවශ්‍ය ආහාර මිල දී ගැනීම සඳහා මාසික වේතනය ප්‍රමාණවත් වන සෑම පවුලක්ම අමතර ආහාර සීමා කරගැනීමත් මාසික ආදායම අත්‍යවශ්‍ය ආහාරවලට ප්‍රමාණවත් නොවන අවස්ථාවල ආහාර ගන්නා වේල් පුමාණය අඩු කරගැනීමත් සිදු කරගෙන ඇත. ඒ අතර කොහිල කොළ සහ කොහිල අල ඉල්ලුම ඉහළ යාමට කාරණ දෙකක් දායක වී ඇත. කොහිල කොළ සහ කොහිල අල සෙසු එළවළුවලට සාපේක්ෂව වෙළඳපොලේ අවම මිලකට සපයාගත හැකි වීමත් බොහෝ නිවෙස් අවටින් වෑංජන සඳහා පහසුවෙන් සපයාගත හැකි එළවළු වර්ගයක් වීමත් නිසාය.

නිතර ජලය රඳා පවතින ස්ථානවල කොහිල වගා කළ හැකි නිසා වගුරු බිම් අසල සහ නිවෙස් අවට ජලය රඳා පවත්නා ස්ථානවල සරුවට වැඩෙයි. ගෙවත්තේ ළිඳ අසල ජලය රඳා පවතින ලෙස ලියද්දක් සකසා කොහිල වගා කිරීම බහුල වශයෙන් සිදුවන අතර, ග්‍රාමීය ප්‍රදේශවල වාණිජ මට්ටමින්ද කොහිල වගා කරනු ලැබේ. ජල සම්පාදනය යටතේ වියළි කලාපයේද ඉතා සාර්ථකව කොහිල වගා කළ හැකි වේ. විශේෂයෙන් වියළි කලාපයේ ජලය රඳා පවතින ස්ථානවල කොහිල මැනවින් වැඩේ. ලංකාවේ වැඩි වශයෙන් කොහිල වගා කරනු ලබන්නේ මහනුවර, කෑගල්ල, ගම්පහ හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ය.

කොහිල වගාව ඉතා අඩු වියදම් වගාවක් මෙන්ම කෘමීන්ගෙන් සිදුවන හානිය අවම නිසා පහසු වගාවකි. කොහිල කොළ මෙන්ම කොහිල අලද ආහාරයට ගන්නා අතර සීතල ගුණය සහිත ආහාරයකි. ආයුර්වේදයේ කොහිල මූලග්ගිනි ගායට ඉතා හොඳ ඔසුවක් යැයිද කියනු ලැබේ. කෙසේ වුවත් මේ වනවිට එළවළු මිල පහත වැටීම නිසා සෙසු එළවළු පරිභෝජනය සාමාන්‍ය අතට හැරෙමින් පවති. උක්ත පර්යේෂණය සිදු කළ කාල වකවානුතුව තුළ 95ක් දක්වා ඉහළ ගොස් තිබූ මෙරට ආහාර උද්ධමනය මේ වනවිට සියයට 57ක් දක්වා අවම වීමක් පෙන්නුම් කරයි. හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පර් යේණය අවසානයේ රසායනික පොහොර තහනම නිසා කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑම, ආර්ථික අර්බුදය නිසා ගෘහ ජීවිතයට සිදු වූ බලපෑම හා වනසතුන් ගෙන් සිදුවන වගා හානි හා වළක්වා ගැනීම සඳහා කළ නිර්දේශ විශේෂ ස්ථානයක් ගනී.

I සකීෆ් සාම්