2023 අප්‍රේල් 23 වන ඉරිදා

චීන - ශ්‍රී ලංකා රිළා ගනුදෙනුව!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 119

චීනය ශ්‍රී ලාංකික රිළවුන් 100,000 කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇත. එය අමුතු දෙයක් ලෙස පෙනුණද, ශ්‍රී ලංකාව එම ඉල්ලීම ඉටු කිරීමට සලකා බලමින් සිටියි. මේ අතර දැන් අමෙරිකාවටද ශ්‍රී ලාංකික රිළවුන් ඕනෑකර ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ සමාජ මාධ්‍ය කැළඹී ගියේ මේ රිලා ගනුදෙනුව සම්බන්ධ කරුණු වලිනි.

මෑත මාධ්‍ය වාර්තාවලට අනුව පළමු අදියර යටතේ රිලවුන් 100,000 ක් චීනයේ සත්වෝද්‍යාන වෙත යැවීමට චීන නියෝජිතයන් පිරිසක් කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සලකා බලා ඇත.

ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන සතුන් අතර රිළවුන් (Toque macaques) ප්‍රමුඛයන් වන අතර ශ්‍රී ලංකාවේ වර්තමාන වඳුරු ගහනය මිලියන තුනකට ආසන්න බව වැඩිදුරටත් එහිදී වාර්තා විය.

මේ අමුතු පන්නයේ ගනුදෙනුව පිළිබඳ දැන් විවිධ මතිමතාන්තර පැතිර පවතී. බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව සහ බෞද්ධ පසුබිමක් ඇති චීනය අතර මේ සත්ත්ව ගනුදෙනුව  ගැන සමහරු දකින්නේ සත්ත්ව හිංසාවක් සිදුවනවාය යන අදහසිනි. මේ රිලා පෝතකයන් චීනයේ වාජිකරණ ආහාර විකුණන අවන්හල්වල ඉහළ මිලකට අලෙවි වනු ඇතැයි සමහරුන් පෙන්වා දී තිබුණි. තවත් අය තර්ක කළේ මේ සතුන් චීනයේ ඇති විවිධ ජෛව පර් යේෂණාගාරය සඳහා ගෙන යනු ඇති බවටය. ඒ වුවද මේ වන විටත්  වඳුරු ගැටලුවට තදින් මුහුණ දෙමින් සිටින ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව අතරින් මේ ගැන මතුව තිබුණේ සුබවාදී ප්‍රතිචාරයකි.

ශ්‍රී ලංකාවේ රිළවුන්, Toque macaque වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත. ඒ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය මගිනි. ඔවුන්ගේ (IUCN, 2015), IUCN රතු ලැයිස්තුවේ තර්ජනයට ලක්ව ඇති විශේෂ අතර රිලවුන්ද, Toque macaque, දක්නට ලැබේ. කාලයත් සමඟ ඔවුන් සංඛ්‍යාවෙන් අඩුවෙමින් පවතින බව ජාත්‍යන්තර විශේෂඥයන්ගේ මතය වී ඇති බව එයින් පෙන්නුම් කෙරේ.

ලංකාව තුළ පමණක් රිළා වඳුරු ගහණය මිලියන තුනක් ඇති බවට ඉදිරිපත්ව ඇති වාර්තාව මේ වනවිට විද්වතුන්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

අද ලෝකයේ වෙසෙන වඳුරන් විශේෂ 200 කට වැඩි ප්‍රමාණයක් වෙති. මේ අතරින් බොහෝ වඳුරන් කල්ලි ලෙස සිටිය හැකි අතර ඔවුන් තනි තනිව ගණන් කිරීම දුෂ්කරය. ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් ලොව වැඩිම  ගහනයක් සහිත විශේෂයක් ලෙස 200,000 ක පමණ මුළු සාමාජික සංඛ්‍යාවක් සහිත,  gelada විශේෂය ලැයිස්තුගත කර තිබේ. එබැවින් පැහැදිලිවම මෙරට රිළවුන් Toque macaque සංඛ්‍යාව මිලියන 3 ක් විය නොහැකි බව මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික ලිපියක් සපයන යාපනය සහ කොළඹ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙක් වන ආචාර්ය මුරලි වල්ලිපුරනාදන් තර්ක කරයි.

ඒ අනුව මෙ ගහනයේ ඉහළම සාමාජික ප්‍රමාණය ලෙස අපට 200,000 ක පමණ සංඛ්‍යාවක්ය යන්න විද්‍යාත්මක උපකල්පන අනුව ඇස්තමේන්තු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.  එබැවින් මේ ගනුදෙනුවේ පළමු අදියරේදී වඳුරන් 100,000 ක් චීනයට අපනයනය කිරීමෙන් මෙරට තුළ ඔවුන්ගේ ජිවී ගහණය අවම වශයෙන් 50% කින් අඩුවන අතර එය බරපතළ පාරිසරික අසමතුලිතතාවයකට තුඩු දිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ ගනුදෙනුව පිළිබඳ නොයෙක් පැහැදිලි කිරීම් මේ වන විටද පෙරට විත් ඇති අතර රිළා ගහනය අධික වීම සහ ඔවුන් මිනිසුන් අතරට වැදීම යන කාරණාවට හේතු වී ඇත්තේ ද අයථා මිනිස් ක්‍රියාකාරකම් බව සත්ත්ව හා පාරිසරිකවේදීහු පෙන්වා දෙති.  

සංවර්ධන ව්‍යාපෘති නමින් වනාන්තර විනාශ කරන දේශපාලන පාලන තන්ත‍්‍ර හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළ මේ වන විටද විශාල වන විනාශයක් සිදුව ඇත. 2021 දී පමණක් එහි ස්වභාවික වනාන්තර හෙක්ටයාර 133000 අහිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස වනාන්තර වෙන්ව ඛණ්ඩනය වී ඇති අතර සියලු වඳුරන්ගේ වාසස්ථාන හැකිලී කුඩා වී ඇත. වඳුරන්, මුලින් ඔවුන්ගේ වාසභූමි වූ ප්‍රදේශ මෙලෙස මිනිසුන් ආක්‍රමණය කිරීමෙන් පසුවද ආහාර සොයා සුපුරුදු වනමං ඔස්සේ පැමිණීමත්, එහි ඇති බවභෝග ගිල දැමීමත් හේතුවෙන් වඳුරු - මිනිස් ගැටුමකට පාර කපා තිබේ. තවද ශ‍්‍රී ලංකාව තුළ රිළවුන් සහ වඳුරන් වන්දනාකරුවන් සහ සංචාරකයන්ගෙන් ආහාර ලබාගැනීමට ඉගෙනගෙන ඇති අතර පන්සල් සහ අනෙකුත් සංචාරක ස්ථාන අවට නිතර සංඛ්‍යාත්මකව බහුලව දැකිය හැකිය. මෙම සියලු අන්තර්ක්‍රියා නිසා මිනිසුන් රිළව් සහ   වඳුරන් පළිබෝධකයන් ලෙස වටහාගෙන ඇති අතර මේ රංචු ගැසී සිටින කල්ලි දැකීමෙන් ඔවුන් සංඛ්‍යාවෙන්ද වැඩි වී ඇති බවට ව්‍යාජ ලෙස උපකල්පනයකට එළැඹ ඇති බව විද්වත්හු පෙන්වා දෙති. මේ නිසා මේ සතුන් පිළිබඳ තීන්දු ගැනිමේදී ඔවුන් මුහුණ පා ඇති ගැටලුවද සැලකිය යුතු බව විද්වතුන්ගේ අදහසයි.

වඳුරන් ආනයනය අද ඊයේ ලෝකය තුළ සිදුවන්නක් නොවේ. නමුත් ඒ හැම සතකුම අවසාන වන්නේ සත්ත්වෝද්‍යානයකින්ද යන්න පැහැදිලිව තිර කර නැත. මස්, සුරතල් සතුන්, සත්වෝද්‍යාන සහ සර්කස් ඇතුළු විවිධ හේතු මත වඳුරන් ආනයනය කරනු ලැබුවද, වඳුරන් ආනයනය කිරීමට ප්‍රධාන හේතුව ඖෂධ, එන්නත්, බද්ධ කිරීම් සහ මොළයේ සහ අනෙකුත් අවයවවල බෝවන රෝග ඇතුළු වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පර් යේෂණ සඳහා සජීවී නිදර්ශක ලෙස යොදා ගැනීම බව ප්‍රසිද්ධ රහසකි. වඳුරන් වෙනත් සතුන්ට වඩා මෙ සඳහා තෝරාගනු ලබන්නේ ඔවුන්ගේ මිනිසුන් සමඟ ඇති ජානමය සහ වෙනත් සමානකම් හේතුවෙනි. වඳුරු ආනයනය යනු එක් අන්තයකින් නීත්‍යානුකූල ආනයනය සහ තවත් අන්තයකින් මහා පරිමාණයෙන් සිදුවන වඳුරන් ජාවාරම් දක්වා අපගේ පරිකල්පනයෙන් ඔබ්බට ක්‍රියාත්මක වන දැවැන්ත කර්මාන්තයකි. එක්සත් ජනපදය පමණක් 2000 සහ 2020 අතර දළ වශයෙන් වඳුරන් 482,000 ක් ආනයනය කර ඇත. වඳුරු විශේෂ අතරින් ප්‍රධාන වශයෙන් රිලවුන් ද අයත් මැකේක් සහ මාමොසෙට් විශේෂ සෑම වසරකම ලොව පුරා පර් යේෂණ සහ පරීක්ෂණ සඳහා බහුලව යොදා ගැනේ. 2021 දී COVID-19 අගුලු දැමීමේදී චීනය බරපතළ පර් යේෂණාත්මක වඳුරු හිඟයකට මුහුණ දුන් අතර විකුණුම් මිල අහස උසට නැගී තිබුණි. චීනය ඇතුළු රටවල් කිහිපයක අභිජනන මධ්‍යස්ථාන තිබුණද වනයෙන් අල්ලා ගැනීම වඩා ලාභදායී විකල්පයක් ලෙස සැලකේ. ලංකාව සමඟ සිදුවන මේ හදිසි වඳුරු ගනුදෙනුව ගැන සලකා බැලිය යුත්තේ මේ කරුණුද සිහියට නගා ගනිමිනි.

රිළා ගනුදෙනුව ගැන චීන තානාපති කාර්යාලයේ නිවේදනය

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මැකේක් වඳුරන් (රිළවුන්) 100,000ක් “පර්යේෂණාත්මක අරමුණක්” සඳහා චීන පෞද්ගලික සමාගමකට අපනයනය කිරීමක් සම්බන්ධව  ශ්‍රී ලංකාවේ කැබිනට් ප්‍රකාශක සහ කෘෂි ඇමැතිවරයා විසින් මෙන්ම ඉන් අනතුරුව ඒ පිළිබඳව දේශීය හා විදේශීය මාධ්‍යවල සඳහන් වූ මෑතකාලීන වැරදි තොරතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අවධානයට ලක්ව ඇත.

තානාපති කාර්යාලය බීජිං හි අදාළ බලධාරීන් සමඟද මේ ගනුදෙනුව පිළිබඳ පරීක්ෂා කර ඇත. වනසතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනය පැහැදිලිවම සඳහන් කර ඇත්තේ තමන් එවන් ඉල්ලීමක් පිළිබඳව නොදන්නා බවත් කිසිදු පාර්ශවයකින් එවැනි අයදුම්පතක් ලැබී නොමැති බවත්ය. 

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ කොන්ත්‍රාත් පාර්ශ්වයක් ලෙස චීනය 1988දී දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි. චීන රජය සෑමවිටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබාදෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරයි, එමඟින් වනජීවී ආරක්ෂණ නීති සම්පාදනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ලෝකයේ ඉහළම රටක් බවට පත්ව ඇති බව තානාපති කාර්යාල නිවේදනයේ දැක්වේ.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02