2023 අප්‍රේල් 23 වන ඉරිදා

අලුත් අවුරුදු කාලේ අනතුරු පිරිලා රාළේ

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 209

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ගෙවී දින කිහිපයකි. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුටින් ගත කළ අය මෙන්ම සතුටින් ගත කරන්නට ගොස් ජීවිත කාලය පුරාවටම විඳවන්නට සිදුවුණ අයද වෙති. අලුත් අවුරුද්ද ගෙවී යද්දී සුපුරුදු පරිදි බොහෝ දෙනා තමන්ගේ එදිනෙදා දින චර්යාවේ නිරත වෙද්දී, දරුවන් පාසලට ගොස් අධ්‍යාපනය ලබද්දී, බොහෝ දෙනා තම රාජකාරිවල නිරත වෙද්දී රෝහල් ඇඳන් මත වේදනාවෙන් දුක් විඳින පිරිසද නැතිවාම නොවේ. මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී විවිධාකාර හදිසි අනතුරුවලට ලක්වීම හේතුවෙන් අදටත් සමහරු වේදනා විඳිති. මේ අතරින් ඇතැමුන් හදිසි අනතුරුවලට ලක්වීම හේතුවෙන් ජීවිතයෙන්ද වන්දි ගෙවා අවසන්ය. නොසැලකිලිමත්කම මෙන්ම මත්පැන් පානය කිරීම හේතුවෙන් සිදුවූ හදිසි අනතුරු නිසාවෙන් අද වනවිට ජීවත් වූවන්ට ඉතිරිව ඇත්තේ අලුත් අවුරුදු අමිහිරි මතකයන් පමණි.

''මේ සෑම වසරකදීම අලුත් අවුරුදු කාලය හදිසි අනතුරු ඉහළ යන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අලුත් අවුරුදු කාලයේදී පාසල් දරුවන්ට නිවාඩු ලැබෙනවා. දෙමව්පියන්ට රුකියාවේදීත් දින කිහිපයක් නිවාඩු ලැබෙනවා. ඒ නිසා ඒ කාලයේදී බොහෝ දෙනා සාප්පු සවාරි යනවා. ගෙදර උත්සවශ්‍රීයක් තිබෙනවා. නිවෙස්වලට නැදෑ හිතමිතුරන් පැමිණෙනවා. ඒ අතරේ බොහෝ වෙලාවට දෙමව්පියන්ටත් දරුවන් ගැන අවධානය යොමුකරන කාලය පොඩ්ඩක් ඈත් වෙනවා. එමඟින් හදිසි අනතුරු ඇතිවෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. මේ කාලයේදී සිදුවන හදිසි අනතුරුවලට බොහෝවිට සිදුවන්නේ මහාමාර්ගවල සිදුවන අනතුරුයි. ඒ වාගේම නිවසේදී සිදුවන අනතුරු හඟවන ක්‍රියා මෙන්ම ක්‍රීඩා අනතුරුත් ඇතිවන්නට පුළුවන්. මේ වසරේදීත් එවැනි අනතුරු කිහිපයක්ම වාර්තා වුණා.'' යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

අවුරුදු සමයේදී බොහෝදෙනා මත්පැන් පානය කොට තම අවුරුද්ද සමරන්නට උත්සාහ ගනිති. සෑම වසරකදීම මෙන්ම මේ වසරේදීත් අවුරුදු සමයේදී මත්පැන් අලෙවියේ යම් ඉහළ යාමක් වාර්තා වී ඇත. තම නෑ හිතමිතුරන් සමඟ සතුටු සාමීචියේ ආහාර ගනිමින්, මත්පැන් පානය කරමින් විනෝද වන සමහරුන්ගේ සතුට අවසන් වන්නේ මත්පැන් පානයෙන් සිහිවිකල් වී ගහ මරා ගැනීමත් සමඟය. මේ බොහෝ බහින්බස් වීමට හේතු සාධකය වනුයේ ඇතැම්විට නොවැදගත් මාතෘකාවක් වන්නට ඇත. අවසානයේදී සිදුවන්නේ පිහි ඇනුමකින් ජීවිතයක් කෙළවර වීමෙනි. මේ වසරේදීද එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණි.

අවුරුදු සමයේදී නෑගම් යාම සාමාන්‍ය සිරිතකි. එවැනි ගමන් යාමේදී සිදුවුණ රිය අනතුරු පමණක් නොව දරුවන් කෙරෙහි දෙමව්පියන්ට තිබූ සොයාබැලීමේ ඉඩකඩ දෙමව්පියන් විසින්ම මඟහැරීම හේතුවෙන් අකාලයේ කුඩා දරුවන්ගේ ජීවිත නැතිවීම මෙන්ම අදටත් රෝහල් ඇඳක නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවෝද සිටිති. මේ අවුරුදු සමයේදීද එවැනි හදිසි අනතුරුවලින් අකාලයේ මියගිය කුඩා මල්කැකුළු පිළිබඳවද වාර්තා වී තිබුණි.

''බොහෝ දෙනා මේ උත්සව සමයේදී මාසික වැටුප සියල්ලම එක දවසකින් දෙකකින් වියදම් කොට මුළු පවුලම ආර්ථික පසුබෑමකට ලක්කරනවා. ඇතැමුන් අවුරුදු සමයේදී වැඩි වශයෙන් වියදම් කරන්නේ මත්පැන්, ගිනිකෙළි වැනි අනවශ්‍ය දේවල්වලටයි. මේ වසරේදී ගිනිකෙළිවලින් සිදුවුණ අනතුරුවල යම් අඩුවක් වාර්තා වුවද අනාරක්ෂිතව ගිනිකෙළි දැල්වීමෙන් හදිසි අනතුරුවලට ලක්වුණ කිහිප දෙනෙකු රෝහල්ගත කෙරුණා. මේ හදිසි අනතුරුවලින් කෙටිකාලීන ආබාධිතවීම් මෙන්ම දීර්ඝකාලීනව ආබාධිත වන්නටත් පුළුවන්. ඔවුන් බොහෝදෙනකුට කාලයක් තිස්සේ ඇඳට පමණක් සීමාවී සිටීමට සිදුවෙනවා.'' යැයිද පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

''මේ අනුව කිසිම මොහොතක ගිනිකෙළි දැල්වීමට කුඩා දරුවන්ට නොදිය යුතු අතර ගිනිකෙළි දැල්වීමේදී කුඩා දරුවන් ඒ අසලට ළං කර ගැනීමත් ගිනිකෙළි අතේ තබා දැල්වීමත් නොකළ යුතු බව පුෂ්පා රම්‍යානි ද සොයිසා කියයි. නමුත් මේ සම්බන්ධයෙන් සෑම වසරකදීම දැනුවත් කළද ඇතැමුන් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වා ගිනිකෙළිවලින් සෙල්ලම් කිරීමත්, අහළ පහළ හිතවතුන් සමඟ ගිනිකෙළි සංදර්ශන පවත්වන්නටත් උත්සාහ ගනිති. අවසානයේදී සිදුවන්නේ දෑත් දෙපා මෙන්ම දෑස්වලට දැඩි හානි සිදුවීමයි.

මෙවැනි හදිසි අනතුරුවලින් අවසානයේදී ජීවිතවලට හානි මෙන්ම රුකීරක්ෂා අහිමිවීම්, පවුල් ජීවිත අහිමිවීම් වැනි අහිමිවීම් සිදුවන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක්. ඒ වගේම මේ හදිසි අනතුරුවලින් විශාල මුදලක් නිස්කාරණයේ අපතේ යනවා. බීමත් රියැදුරකුගේ නොසැලකිලිමත්කමින් රිය අනතුරක් සිදුවීමෙන් කෙනෙකුගේ හිස අනතුරකට ලක්වූවා යැයි සිතන්න. ඒ අනතුර වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට මෙන්ම හදිසි සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශයට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. මේ වසරේදීත් හදිසි අනතුරු නිසා ප්‍රතිකාර ලැබීමට පැමිණි රෝගීන් වෙනුවෙන් විශාල මුදලක් මෙන්ම ශ්‍රමයක් වැයවුණා. ඒ බොහෝ හදිසි අනතුරු සිදුවූයේ නොසැලකිලිමත්කම නිසායි.

ඒ නිසා මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී අනවශ්‍ය, නොසැලකිලිමත්කම නිසා මුදල් සහ ශ්‍රමයද අහිමිවුණා. මිනිසුන්ගේ ජීවිත නැතිවුණා. මිනිසුන්ගේ ජීවිත රෝහල් ඇඳකට සීමා වුණා. ඒ නිසා මේ අවුරුදු කාලයේදී, උත්සව සමයේදී පමණක් නොව සෑම දිනකම සැලකිලිමත්කමින්, අනවශ්‍ය දෑ සිදු නොකරමින් ජීවත් වුවහොත් ජීවිතයට ලොකු වෙනසක් සිදුකරන්නට හැකිවේවි. සැමවිටම තම ජීවිතය ගැන මෙන්ම අන් ජීවිත ගැනත් සිතන්න.''

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය සඳහන් කළාය.

I දිශානි ජයමාලි කරුණාරත්න