2023 අප්‍රේල් 23 වන ඉරිදා

මසුරු වෙළෙන්දන් ලුහුබඳින අධිකාරියේ මහත්වරු!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 32

අද වන විට අප සැමට අවුරුදු සමයේ සතුට මිලදී ගැනීමට සිදුව තිබේ. කෙසේ වෙතත් අවුරුදු සතුට ලාභ නැත. එම නිසාම අවුරුදු සමයේ සතුට මිලදී ගන්නට ගොස් පාරිභෝගිකයන් ලෙස අපි විවිධ වංචාවලටද හසුවෙමු. එසේ හෙයින් අවුරුදු සතුටට වංචා කරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක විය යුතුය යන්න අප සැමගේ අපේක්ෂාවයි. 

එය එසේ සිදුවනවාද? වගකිවයුත්තන් සිදුකරන්නේ කුමක්ද? මෙම සටහන ඒ පිළිබඳවයි.

ඉකුත්දා අපට දැනගැනීමට ලැබුණු පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෙවී ගිය උත්සව සමය වෙනුවෙන් විශේෂිත වැටලීම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළේ මාර්තු 20 වැනිදා සිටය. පසුගියදා ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත හෙළි කරනු ලැබුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාය.

“වැටලීම් කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එක රාජකාරියක් විතරයි. ඊට වඩා වෙනත් විශාල රාජකාරියක් අපි සිදු කරනවා. වැටලීම් ගැන කතා කරද්දි, අපි උත්සව සමයේ විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මාර්තු 20 වැනිදා ඉඳලා ඒ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා."

ඒ මහතා සඳහන් කරන පරිදි ගෙවී ගිය උත්සව සමය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ ආදී දෑ අලෙවියේදී සිදුවන වංචා පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ අවධානයක් යොමුකොට තිබේ. එසේම මිල අඩුවීම සිදුවිය යුතුව ඇති නමුදු මිල අඩු නොකොට විකුණන භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය පිළිබඳ ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ අවධානයක් යොමුකොට ඇති බව කියැවේ.

උත්සව සමයේ සිදුවූ වැටලීම් අතර බිත්තර සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් ලැබුණු බවද පෙනී ගියේය.

“මිල ප්‍රදර්ශනය නොකිරීම තමයි, අපි සැලකිලිමත් වන පළවෙනිම කාරණාව. අසුරනයක තියෙන පාරිභෝගික භාණ්ඩවල විකුණුම් මිල සටහන් කර තිබිය යුතුය කියල නීතියක් තියෙනවා. ඒ වගේම නිෂ්පාදිත කාණ්ඩ අංකය, කල් ඉකුත්වීමේ දිනය, ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ තොරතුරු කියන සියලු තොරතුරු එහි සඳහන්ව තිබිය යුතුයි. ඒ හා සම්බන්ධවත් අපි වැඩි අවධානයක් යොමු කළා."

ඇසුරුම් නොකරන ලද ද්‍රව්‍යවල මිලද වෙළෙඳසල තුළ ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. එය හා සම්බන්ධවද පාරිභෝගික කටයුතු අධිකාරිය ගෙවී ගිය උත්සව සමයේ අවධානය යොමුකොට තිබේ. එසේම භාණ්ඩ සඟවා තබාගැනීම, අලෙවිය ප්‍රතික්ෂේප කිරීම ආදී සිදුවීම් පිළිබඳවද අධිකාරිය අවධානය යොමුකළ බව කියැවේ.

“ඇසුරුම් නොකළ දේවල් ගත්තම, අනිවාර්යෙන්ම වෙළෙඳසලේ භාණ්ඩයේ මිල ප්‍රදර්ශනය කළ යුතුයි. ඒසම්බන්ධවත් අපි වැඩි අවධානයක් යොමු කරල තියෙනවා. භාණ්ඩවල අදාළ තොරතුරු සහ මිල වෙනස් කරපු අවස්ථා පිළිබඳව අපි අවධානය යොමු කළා."

ගෙවී ගිය උත්සව සමය පුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළකටද අවතීර්ණ වී සිටිනු දැකගත හැකි විය. සමාජ මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ පෝස්ටර් බෙදාහැරීමට ඔවුන් කටයුතු කර තිබුණි. අප්‍රේල් මස මුල් සතිය අවසන් වන විට පමණක් වැටලීම් එක්දහස් පන්සියයක් පමණ සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේය.

පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතා උත්සව සමයේ සිදු කළ වෙනස්කම් පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණි.

“අපි විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමය මූලික කරගෙන අතිරේක වැටලීම් ඒකකය යොදවලා වෙළෙඳපොළ තීරණ අකර්මණ්‍යතාවයන්, විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් සොයා බැලීමට කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා වැඩිපුර ප්‍රචාරණයක් ලැබෙනවා. මහජනතාවගෙන් සහ පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවාම ඒක හොඳ තත්ත්වයක්."

ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමය තුළ රාජකාරින් සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. රජයේ නිවාඩු දිනවල සහ අවශ්‍ය අවස්ථාවන්හි රාත්‍රී කාලයේද අධිකාරියේ නිලධාරීන්  වැටලීම් කටයුතු සිදු කරනු දැකගත හැකිවීම සුවිශේෂී තත්ත්වයකි.

බිත්තර සම්බන්ධව නිර්මාණය වී ඇති විශේෂිත තත්ත්වය හේතු කොටගෙන බිත්තර මිල නියාමනය කිරීමට සහ වැඩි මිලට බිත්තර විකුණන වෙළෙඳුන් වැටලීමට උත්සව සමයේදී පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළේය. බිත්තර වෙළෙඳුන්ගෙන් දස ලක්ෂයකට අධික දඩ මුදල් අය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත් වූ බව දැනගැනීමට ලැබුණි. 

මීට අමතරව පිටකොටුව බස් නැවතුම්පොළ අසල විශාල මගී ජනතාවක් ගැවසෙන බැවින් ඒ අවට වෙළෙඳසල්වල පවතින අක්‍රමිකතා පිළිබඳ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකය විශේෂ විමර්ශනයක් දියත් කර තිබුණි. මෙම වැටලීම්වලදී සැලකිය යුතු පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට ද ඔවුනට හැකියාව ලැබිණි.  

මෙවර වැටලීම් සඳහා මාධ්‍ය සහයෝගය ද ලබාගැනීම කැපීපෙනෙන තත්ත්වයක් විය. ඒ සමඟම රට පුරා විවිධ වංචා සිදු කරමින් සිටින වෙළෙඳසල් තුළ යම් තැතිගැන්මක් නිර්මාණය කිරීමට ද හැකියාවක් ලැබුණි. මේ හා සම්බන්ධ විශාල සමාජ කතිකාවතක් පවා නිර්මාණය විය. පාරිභෝගිකයන්ටද වෙළෙඳුන්ට එරෙහිව නැගී සිටීමට යම් ශක්තියක් ලැබුණු බව සඳහන් කළ හැකිය.

කොළඹ වැටලීම්වලට අමතරව උත්සව සමය පදනම් කර ගනිමින් දුර ගමන් බස් නතර කරන ආපනශාලා සහ ප්‍රධාන බස් නැවතුම්පොළවල් ආශ්‍රිත ආපනශාලා සහ වෙළෙඳසල්වල  මිල ප්‍රදර්ශනය කිරීම මෙන්ම බීම බෝතල් සහ ජල බෝතල් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් රුසක් සිදු කර තිබේ. 

ඒ අනුව පිට පළාත්වල සිදුකරනු ලැබූ වැටලීම්වලදීද පීඩාකාරී වෙළෙඳුන් රුසකට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හැකිව තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද උත්සව සමයේ වෙළෙඳසල් වැටලීම් සඳහා එක්වූ බව සඳහන් කළ යුතුය.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්තාවල නවතම තත්ත්වය නම් බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමයි. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අදාළ මිල පාලන පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුවක් අප්‍රේල් 19 වැනිදා නිකුත් කර තිබුණි.

ඒ අනුව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම නිෂ්පාදකයකු, සැපයුම්කරුවකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්ඳකු විසින් සුදු බිත්තරයක් රු. 44/- කටත්, දුඹුරු බිත්තරයක් රු. 46/- කටත් යන උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, සැපයීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව සුදු බිත්තර එක් කිලෝවක් රු. 880/- ක් වන අතර දුඹුරු බිත්තර එක් කිලෝවක් රු. 920/- ක් වේ.

මෙම ගැසට්ටුව සමඟ මේ දිනවල පවතින බිත්තර මිල සම්බන්ධ ගැටලුවටද යම් විසඳුමක් ලැබෙතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ නමුත් අවසානයේ සඳහන් කළ යුත්තේ අන් කවරදාටත් වඩා ගෙවී ගිය උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්‍රියාකාරීත්වය කැපීපෙනුණු බවයි. කෙසේ වෙතත් මුළු රටම ආවරණය කිරීමට අධිකාරිය සතු ශක්‍යතාව අපට ගැටලුවකි. උත්සව සමයේ නොනැවතී අඛණ්ඩව ඉදිරියටත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

I චමිඳු නිසල් ද සිල්වා