2023 අප්‍රේල් 23 වන ඉරිදා

ආර්ථිකයේ නොනගතය ඉවරවෙන දවස!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 41

අලුත් අවුරුද්දක් අවසන්ය. අවුරුදු උදාව සමරන උත්සව අවසන් කර පුරුදු ජීවන රටාවට ඇතුළුවීමට ශ‍්‍රී ලාංකික ජන කොටස් සූදානම්ව සිටින අවස්ථාවකි. සතියකට පසු මැයි දිනය එළැඹේ. ඊළඟ සතියේ වෙසක් සමරනු ඇත. මැයි දිනය දේශපාලන වේදිකාව උණුසුම් කරන අතර වෙසක් සතිය සුපරුදු පරිදි බෞද්ධ වතාවත් අනුව සංවිධානය වනු ඇත. ඉකුත් වසරේ සරුසාරවත්ව නොතිබුණු අවුරුදු පසුගිය දිනවල සමරන ලද ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණි. වෙළෙඳපොළ කලඑළි වූ අතර නගර ගම්දනව්වල උත්සව පැවැති බව සඳහන්ය. ආර්ථික අර්බුදයක පසුවෙන ශ‍්‍රී ලංකාවට එහි විපාක දැනෙන අවස්ථාවකි. 2022 වසරේ ඍණ ආර්ථික තත්ත්වය සහ මෙම වසරේද ඍණ අගයකින් ආර්ථිකය පහතට වැටෙන බව කියැවෙන වාර්තා ද අනුව ගත කරන කාලය එපමණ සතුටුදායක එකක් විය නොහැක.

ජාතික හා ආගමික සංස්කෘතිය අනුව පෙළගැසී ඇති ලාංකික සමාජය අතමිට හිඟ නමුත් ආහාර වේලකට දනට පිනට නොනැමෙන පිරිසක් නොවේ. ජන සමාජය සංස්කෘතික අංශවලදී පැරණි වාද භේද අත්හැර අලුතින් සමගි වී ඇති බව පෙනේ. අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අලුත් සූදානමක බව දැක්වේ. ඉතාම දුෂ්කර ව්‍යායාමයකට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය ලබාගැනීමෙන් පසු අස්වැසිල්ලක් ලබා ඇති ශ‍්‍රී ලංකාව අනාගතයට අලුත් මුහුණුවරකින් සූදානම් විය යුතුව ඇත.

බෙදාගත යුතු බව හඳුන්වා දෙන පළමු කාර්තුව

හුවමාරු කර ගැනීම නොඑසේනම් ගනුදෙනුව අවුරුදු සහ වෙසක් සංස්කෘතියේ ප‍්‍රධාන අනන්‍යතාවයකි. අතරමැදට වෘත්තිය සමිති සටන් පාඨයක් එන අතර මැයි දිනය එය  සංකේතවත් කරයි. අවුරුද්දටත් වෙසක් උත්සවයටත් බෙදාගන්නටත්, අත්හරින්නටත් සමත් සමාජය මැයි දිනයේදී &දියව් - දියව් අපට දියව්* යන සටන් පාඨයට හැරෙන්නේ කෙසේදැයි අවධානයට ලක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ආදායම් විෂමතාවලට ගොදුරුව මහත් පීඩාවක සිටින අවස්ථාවක් බව අමතක කළ යුතු නැත. උත්පාදනය කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. අවුරුදු උදාව නිෂ්පාදනය සනිටුහන් කරන උත්සවයකි. අටුකොටු පුරවාගෙන ඉදිරි කන්නයටත් වගා කරන ලාංකිකයන් අවුරුදු සමරන බව ප‍්‍රකටය. වෙසක් දිනයේදී බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව උපයන ධනය කොටස් හතරකට බෙදා පරිහරණය කළ යුතු බව දක්වයි. එහිදී එක කොටසක් නැවත ආයෝජනය කළ යුතු බව සඳහන්ය. මෙම ආයෝජනය කළ යුත්තේ ඉදිරියේදී තවත් වැඩිපුර නිපදවීම සඳහා වන අතර එහිදී ප‍්‍රශ්න මතුවුවහොත් කොටස් හතරෙන් තවත් එකක් ඉතිරි කරන හෙයින් එය ප‍්‍රයෝජනයට ගත හැකි බව බුද්ධ දේශනාවේ දැක්වේ.

ශ‍්‍රී ලාංකිකයන් අතරින් 40% ක් දුප්පත්භාවයට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල දක්වයි. මෙය සමාජයේ හරස්කඩක් ඇසුරෙන් කරන ලද නිරීක්ෂණයක් බව පැහැදිලිය. සාමාන්‍යයෙන් මිලියන නමයක පමණ ජනගහනයක් දුප්පත්භාවයට පත්ව සිටිති. ආර්ථික පීඩනය එයට බලපා ඇති බව නිසැකය. විනිමය අනුපාතිකය, බදු, පොලී ඉහළ නැගීම, විදුලිය හා ඉන්ධන ගාස්තු යනාදී වශයෙන් කරුණු ගණනාවක් බඩු මිල ඉහළ යන්නට බලපා ඇත. අතට ලැබෙන ආදායම පහත වැටී ඇති අතර ලැබෙන මුදලින් මිලදී ගත හැකි ප‍්‍රමාණය සීමා වී තිබේ. මුදල් හිඟ සමාජයක, දුප්පත්භාවය වැඩි වූ පරිසරයක ''අපට මොන අවුරුදුද?'' යන්න පහසුවෙන් කියැවෙන වචනයක් වී ඇත. ඊළඟට එළැඹෙන මැයි දිනයේදී පාලකයන්ට විරුද්ධව පාරට බහින වැඩ කරන ජනතාව වැඩිපුර ගෙවන සේ බල කර සිටිති. නැවත වතාවක් බුදු දහම අනුව වෙසක් මාසයේදී ඉගෙන ගන්නේ ආයෝජනය හා ඉතිරි කිරීම හා ලද දෙයින් සතුටට පත්වන පිළිවෙළය.

අතමිට හිඟ නමුත් අලුත් අවුරුද්ද යහමින් ගත කළ වැඩ කරන ජනතාව අතර විදුලිය බිල පවා ගෙවාගත නොහැකි කොටසක් සිටින බව නැවත මතක් කරන්නේ දේශපාලනඥයන්ය. මැයි දිනයට රොද වැටෙන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, ආර්ථිකයේ සිදුවිය යුතු පරිවර්තනය පසෙක තබා ජනතාව නැවතත් ව්‍යාකූල කරවනු ඇත. මෙය එක් පක්ෂයක නොව, සමස්ත දේශපාලනයේ හරස්කඩකි. 

නාගරික දුප්පත්කම වැඩි වී ඇති තරම

පසුගිය සති කිහිපය තුළ ගෘහස්ථ ගෑස් මිල අඩු කරන ලද අතර ඉන්ධන මිල තරමක් අඩු කර තිබේ. බස් ගාස්තු අඩු කිරීම සහ එළවළු මිල ගණන් තරමක් අඩු වූ පමණින් අපහසුවට පත්ව ඇති ජනතාවට අවුරුදු උදා වෙන්නේ නැත. විශේෂයෙන් නාගරික ජනතාව හෙම්බත් වී සිටිති. එදිනෙදා ආදායමක් සොයා ගන්නා පිරිසට වැටෙන්නට තැනක් නැත. වියදම ඉහළ ගොස් ඇති තරම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උද්ධමන අනුපාතිකය දක්වයි. මාර්තු මාසයේ උද්ධමනය 50.3% කි. ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම 47.6% ක් බව දැක්වේ. නාගරික ප‍්‍රදේශවල ජීවත් වන ජනතාවට පිළිසරණක් තිබේද? ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අනුව ආදායම හා වියදම පාලනය කරගත නොහැක. විශාල ප‍්‍රතිශතයකින් බදු නංවන්නට සිදුවූ අතර රජයේ වියදමට අවශ්‍ය තරමට ආදායම නොමැතිවීම හේතුවෙන් වහාම ගත යුතු පියවරක් වශයෙන් මූල්‍ය අරමුදල යෝජනා කරන ලද පිළියමකි. එදිනෙදා ජීවත් විය නොහැකි ජන කොටසට බදු වැඩි නොකර ආදායම නංවා ගැනීමට උවමනා තරම් ක‍්‍රියාමාර්ග ඇත. ලෝකයේ අනෙක් රටවල් ඒවා අනුගමනය කර තිබේ. ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, ආදී රටවල් උදාහරණ කොට දැක්විය හැකිය. මෙම රටවල ව්‍යාපාර ආණ්ඩුව කරන්නේ නැත. කරන්නට හැකි පිරිස්වලට ඉඩ දෙන අතර එමගින් විශාල ආදායමක් උත්පාදනය කර ගනියි. එහි ප‍්‍රතිලාභ සමාජයට අත්පත් වේ. 

2022 වසරේ 7.8% කින් ඍණ අගයක් ගත් ආර්ථිකය 2023 මෙම වසරේ තවත් 4% කින් පමණ පහතට වැටෙන බව විශේෂඥ වාර්තා අනතුරු අඟවයි. මෙම පිරිහීම වළකා ගැනීම සඳහා අනුගමනය කරන ප‍්‍රතිසංස්කරණ මාලාවක් ඇත. වෘත්තීය සමිතිවලට අනුව මෙම යෝජනාවලින් වැඩ කරන ජනතාවගේ ගෙල සිර කර ඇත. එහෙත් තාක්ෂණය, නවීන ක‍්‍රම අනුව වෙනස් කළ හැකි පැති ගැන අවධානයට යොමුවන්නේ නැත. සමාජය දුප්පත්ව තබාගන්නා අතර ප‍්‍රකාශයට පත් කරන සහනවලින් යැපෙන තරමට පවත්වා ගැනීම දේශපාලනඥයන්ගේ උපාය වී තිබේ. නිදහසට පසු ගත වූ කාලය සහන හා ඒවාට ගෙවන ණය ශ‍්‍රී ලංකාව බිලිගෙන ඇත. මෙම අවසාන අවස්ථාවේදී පනවන ලද අලුත් බදුවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට විශාල බලපෑමක් එල්ල වී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ අංශය මෙරට ආර්ථික උත්පාදනයේ 50% කට වැඩි බලපෑමක් සහිත කොටස වන අතර පෞද්ගලික අංශයේ රුකියාවලින් සෑහෙන ප‍්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ අංශයෙන් ආවරණය වන බවද සඳහන් කළ යුතු කරුණකි. මේවා ගැන හදාරන්නට සමාජයට ශක්තියක් අවශ්‍ය කෙරේ. ජාතික ආර්ථිකය වර්ධනය වීමකින් තොරව පැවැත්මක් නැත.

ණය සංස්කෘතිය තර කරන සමාජ පැවැත්ම

ශ‍්‍රී ලංකාවේ භාවිත වන ක්‍රෙඩිට් කාඩ්වල ණය භාවිතය වැඩි වී ඇත. රන් උකස් කිරීමටත්, කලින් උකස් කළ රන් භාණ්ඩවලට පොලිය ගෙවීමටත් බැංකුවට එන පිරිස ඉහළ ගොස් ඇත. පාර්ලිමේන්තුවේදී වාර්තා වූ පරිදි 3.6% ක ආර්ථිකය ඍණ අගයක් ගත් 2020 වසරේදී මුල් මාස හත ඇතුළත රන් උකස් කරන ලද ප‍්‍රමාණය රු. බිලියන 257 කි. කලින් වසරට වඩා බිලියන 27කින් රන් උකස් ණය වැඩි වී ඇත. මහජනතාව තමන්ගේ අත ඇති අන්තිම වටිනා දෙය උකස් කරමින් සිටිති. පවතින දුෂ්කරතා හමුවේ දුප්පත් ජනතාව රත්රන් උකස් කරන ලද ප‍්‍රමාණය හා එසේ කරන්නට හේතු වූ කරුණු දේශපාලනඥයන් දැන සිටිය යුතුය. 

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ද දරුණු ලෙස වැඩි වී ඇත. පසුගිය අවුරුද්දේ සැප්තැම්බර්වල මහ බැංකුව නිකුත් කළ වාර්තා අනුව කාඩ්පත් හිමියන් නොගෙවූ ණය ප‍්‍රමාණය රු. බිලියන 146.6 කි. එය ද 11.6% කින් වර්ධනය වී තිබේ. ආර්ථිකය හැකිලෙන විට ජනතාව නීත්‍යානුකූල මාර්ගවලින් ගන්නා ණය ප‍්‍රමාණය මෙයින් දැක්වේ. උකස් පොලිය 20% කට ආසන්නය. ක්‍රෙඩිට් කාඩ් පොලිය 36% ක් වන අතර භාවිත කිරීමේදී බදු ගෙවන්නට ද සිදුවේ. මහජනතාව උත්සව සිරිය භුක්ති විඳින අසිරිමත් ආකාරය නිරීක්ෂණය කළ යුතු අතර සමාජ හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඉක්මනින් ඇතිකර අලුත් යුගයකට ඇතුළු විය යුතු බව මතක් කිරීම වැදගත්ය. 

ආර්ථිකය ගොඩනගන්නට ලැබී ඇති අන්තර්කාල පරිච්ඡේදය නොනගතය එනම් නැකැත් නැති කාලය සේ සැලකෙයි. අවුරුද්දේ නොනගතය අවසන්ය. බුදු දහම පෙන්වා දී පරිදි අලුතින් යමක් උපද්දවන්නට, නිෂ්පාදනයක් කර වෑයම් නොකළහොත් අනතුර නැවතත් ළඟා වනු ඇත. මුහුණ පා ඇති ඉරණම පහසුවෙන් ගැලවිය හැකි අවස්ථාවක් නොවේ. විශේෂඥයන් දක්වන පරිදි නැවත රට සාමාන්‍යකරණයක් සඳහා වසර දහයක් පමණ ගත විය හැක. සංස්කෘතික උත්සවවලින් අනතුරුව නැවතත් දේශපාලනයට ප‍්‍රවේශ වන මෙම මොහොත ශ‍්‍රී ලංකාවට තීරණාත්මක අවස්ථාවක් බව සඳහන් කළ යුතුය.

I සාරා කන්දෙගොඩ