2023 අප්‍රේල් 23 වන ඉරිදා

කොළඹ ප්‍රධාන නගරයත් භූ කම්පන අවදානමෙන් මිදී නෑ

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 41

පසුගිය කාල වකවානුව තුළ භුකම්පන ගැන තදබද කතාබහක් ඇතිවිය. මෑතකදී හටගත් තූර්කි භූ කම්පනය ඇති කළ මාධ්‍ය කම්පනය හේතුවෙනි. මේ නිසාම ලංකාවටත් භූ කම්පන අනතුරක් ළඟාවේද යන සැකය නැවතත් සාකච්ඡාවකට මඟපැදුවේය. ඉකුත් සතියේ එහි නවතම අර්ථ දැක්වීම ඉදිරිපත්වූයේ ලංකාවේ කොළඹ ප්‍රධාන නගරයද කම්පන අවදානමෙන් මිදී නැති බවට තර්කයක් මතුවීමත් සමගිනි.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු ඇඟවූයේ කොළඹට එපිටින් මුහුදේ ගැඹුරේ දක්නට ඇති අලුතෙන් හඳුනාගත් පැලුම් රටාවක් ගැනය. මේ පැලුම් ඔස්සේ භූකම්පන හට ගැනීමේ අවදානමක් මතුවිය හැකි බවට හෙතෙම සැකයක් මතුකර තිබේ. ඒ සැකය පැහැදිලි කරමින් මහාචාර්යවරයා වඩාත් තදින්ම අවධාරණය කළ කාරණාව වූයේ මේ අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පන මාන සහ වෙනත් සංවේදී විද්‍යාත්මක උපකරණ ඇටවීම මගින් මේවායේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදුවනවාද යන්න පිළිබඳව සමීප දිගුකාලින නිරීක්ෂණයකට දැන් කාලය එළැඹ ඇති බවටය.

ඉන්දියාව ආශ්‍රිතව සිදුවිය හැකි මහා භුකම්පනයක් ගැන ප්‍රබල ආන්දෝලනයක් පැතිර ඇති අතර ඒ කම්පනය ලංකාවටද බලපෑමේ හැකියාව පවතින බව විද්වතුනගේ වැඩි අදහසයි. 1600 ගණන්වල දරුණු භුකම්පනයකට කොළඹ නගරය මුහණ පෑ බවට වාර්තා ඇති අතර ඉන්පසුවද දිවයිනේ නන්දෙසින් වරින් වර භූ චලන ගැන වාර්තා වී තිබේ. 

මේ ආසන්න කාලයේද එබඳු කම්පන බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා විය. මේ නිසා භුකම්පන අවදානම අපට නැතැයි සිතා අනාරක්ෂිතව සිටිමට වඩා ඒ අනතුර සිදුවීමට ඇති ඉඩ ගැන සිතා පෙර සුදානම් වීම වඩාත් සුදුසු බව මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙයි. මධ්‍යම කඳුකරය සහ ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම ත්‍රිමලය සිට දකුණේ උස්සන්ගොඩ දක්වා කළින් හඳුනාගන ඇති භුතර්ජන සහිත කලාපය ආශ්‍රිතව වෙසෙන්නන් මේ ගැන දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම දැන් කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව භූ විපරියාස ගැන අධ්‍යයනයට වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව මහාචාර්ය අතුල සේනාරත්න කියයි.

නව තාක්ෂණය ඔස්සේ ලබාගත් පෘථිවි චුම්බකත්ව ප්‍රබලතා දක්වන සිතියම් සහ විශේෂයෙන් ගුරුත්වාකර්ෂණ ප්‍රබලතාව දක්වන සිතියම් අධ්‍යයනයේදී පැහැදිලිව දිස්වෙන අනතුරුදායක කලාපයක් තුළ කොළඹ පවතින බව සනාථ වන බව මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙයි. මේ කලාපය තුළ භූ-චුම්බකත්වය වෙනත් තැන්වලට සාපේක්ෂව ඉහළ බවත් එය එසේ වීමට පොළෝ අභ්‍යන්තරයේ සිදුවන වෙනසක් හෝ කැළඹීමක් හෝ හේතුවිය යුතු බවත් මහාචාර්යවරයා කියයි. 

නව සිතියමකට අනුව ලංකාවට පහළින් කොළඹ දෙසට වැටෙන භූ පැල්මක් දක්නට ලැබෙන බවත් ඊට අමතරව දකුණෙන් විහිදෙන මළ කොත් මුදුන් වැනි කඳු වැටි බඳු පිහිටීම් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. මේ සැකසහිත වූ පිහිටීම් මෙන්ම ඒවා නිසා සිදුවිය හැකි හානිකර බලපෑම කෙබඳුද යන්න නිශ්චිතවම තීරණය කළ හැක්කේ දීර්ඝකාලීනව මේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් අධ්‍යයනයෙන් පසු බවත් ඒ සඳහා දැන්ම මේ කලාප ආවරණය වන සේ විද්‍යාත්මක නිරීක්ෂණ සහ සංවේදක උපකරණ සවිකිරීම අත්‍යවශ්‍ය බවත් මහාචාර්ය අතුල සේනාරත්න බලධාරීන්ට අවධාරණය කරයි.

I සුගත් පී. කුලතුංගආරච්චි